Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
Api-Slide-56-4
previous arrow
next arrow

2024-07-07

බර්මින්හැම් පුරවරය බොදු බැතියෙන් සුවඳවත් කළ මහා උපසම්පදා මංගල්‍යය…….

බර්මින්හැම් පුරවරයේ සුන්දර පෙදෙසක පිහිටි වට් මහතත් කිංග්ස් බ්‍රොම්ලි (Wat Mahatat Kings Bromley) විහාරයේ දී පසුගිය ජූනි 16 වෙනිදා ඉරිදා පැවැත්වුණු ඉතාමත් ශාන්ත එමෙන්ම අතිශය උත්කර්ෂවත් උපසම්පදා විනය කර්මෝත්සවයේ දී ලන්ඩන් බෞද්ධ විහාරවාසී පූජ්‍ය සුඛිතමනෝ හිමියන්ගේ අධ්‍යාත්මික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් උන්වහන්සේ තම පැවිදි උපසම්පදාව ලබා  ගන්නට යෙදුණි.

මේ උතුම් වූ උපසම්පදා උත්සවය එක්සත් රාජධානිය පුරා විසිර සිටින ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායට අයත් ශ්‍රී ලාංකික සහ තායි භික්ෂූන් වහන්සේලා විසි නමක්  ඇතුළු සියයකට අධික සැදැහැවත් ශ්‍රී ලාංකික, තායිසහ බ්‍රිතාන්‍ය ගිහි ප්‍රජාවක් සහභාගි වූ අතිශය දුර්ලභ හා පුණ්‍යවන්ත අවස්ථාවක් විය. 

බෞද්ධ ඉගැන්වීම් සහ පිළිවෙත් මනාව පිළිබිඹු කරන චරිතයකින් යුක්ත පූජ්‍ය සුඛිතමනෝ හිමියන්ගේ මේ උපසම්පදා විනය කර්මෝත්සවය පැවැත්වුණේ  මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමිපාණන්ගේ සහ ලන්ඩන් නුවර බුද්ධපදීප විහාරාධිපති සහ බර්මින්හැම්හි වට් මහතත් කිංග්ස් බ්‍රොම්ලි විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය ෆ්‍රමහා ලෝව් පඤ්ඤාසිරි නාහිමිපාණන් වහන්සේ යන දෙපළගේ ප්‍රධානත්වයෙනි. 

එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ බැංකු යන ක්ෂේත්‍රවල සාර්ථක වෘත්තීය ජීවිතයක් නිම කරමින් පැවිදි දිවිය ඇරඹූ පූජ්‍ය සුඛිතමනෝ හිමියන්, කාඩිෆ්හි කීර්තිමත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත්උපාධිධාරියෙකු මෙන්ම බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සාමාජිකයෙකු ද වෙයි. පැවිදි බිමට ඇතුළත් වීමට උන්වහන්සේ ගත් තීරණය සත්‍ය ගවේෂණය හා විමුක්තිය මුල් කර ගත් අතිශය ගැඹුරු හා අධ්‍යාත්මික තොරා ගැනීමකි.

2022 වසරේ සිට සුඛිතමනෝ හිමියන් ලන්ඩන් බෞද්ධ විහාරයේ වාසය කරමින් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම සූත්‍ර සාකච්ඡා පන්ති සහ භාවනා වැඩසටහන් පැවැත්වීමේ කාර්යයෙහි ප්‍රමුඛව මෙන්ම සක්‍රීයව නියැලී සිටින සේක. මෙලෙස උන්වහන්සේගේ ආගමනයත් උන්වහන්සේටම ආවේනික ඉගැන්වීම් රටාවත් එක්සත් රාජධානියේ බෞද්ධ ප්‍රජාවට තම අධ්‍යාත්මක ජීවිතය ත්‍රිපිටක සූත්‍ර දේශනා සහ භාවනාව ඇසුරෙන් සකස් කර ගැනීමට ඉමහත් රුකුලක් වී ඇති බව ඔවුන්ගේ අදහසයි. 

2023 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියාවේ Bhavana Society සහ නිව් යෝර්ක්හි Chuang Yen Monastery යන ආරමවලට වැඩම කරමින් අතිපූජ්‍ය හේනේපොල ගුණරතන සහ භික්ඛුබෝධි යන අතිගෞරවනීය ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ දෙනමගේ මඟපෙන්වීම යටතේ වැඩිදුර පුහුණුව ලබා ගැනීමේ අතිශය දුර්ලභ අවස්ථව සුඛිතමනෝ හිමියන්ට ලැබිණි.

පූජ්‍ය සුඛිතමනෝ හිමියන් පූර්ණ ලෙස පැවිදි වූ භික්ෂු සංඝයට විධිමත්ව ප්‍රවේශය වීම සංකේතවත් කරන මේ අතිශය උත්කර්ෂවත්ව චාරිත්‍රානුකූලව පැවැත්වුණු මේ උපසම්පදා උත්සවයට සහභාගි වූ භික්ෂූන් වහන්සේලාට අටපිරිකර දහවල් දානය සහ අටපිරිකර පූජා කිරීම් ආදී කටයුතුවල ගිහි බැතිමත්හු නිරත වූහ.

එමෙන්ම මෙම උපසම්පදා උත්සවයට එක්සත් රාජධානියේ නන් දෙසින් වැඩමවා වදාල ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලාගේ සහ ගිහි බැතිමතුන්ගේ උද්‍යෝගිමත් සහභාගිත්වය එක්සත් රාජධානියේ ථෙරවාදී බෞද්ධ ප්‍රජාවේ ශක්තිය හා ප්‍රබෝධය මනාව පිළිඹිබු කළ අවස්ථාවක් විය.

-ආචාර්ය දුලිප් හේරත්, බ්‍රිස්බේන්, ඔස්ට්‍රේලියාවේ සිට

Sign up for our newsletter