Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
Api-Slide-56-4
previous arrow
next arrow

2024-07-17

සිනහවක සුව

හැම වෙලාවකම සිනහවකින් ඔබව පිළිගන්නා පුද්ගලයකු ගැන ඔබ පෙරළා සිහිපත් කරන්නේ මොනතරම් ආදරණීය හැඟීමකින්ද? අනිත් අතට ඔබත්,තවත් කෙනෙකුගේ නිර්ලෝභී ආදරය දිනාගෙන ඇති‍, ඔබ සංග්‍රහ කරන අව්‍යාජ සිනහව හේතුවෙන් .

ඔබ ඉදිරියට පැමිණෙන කවරහෝ පුද්ගලයකු තුළින් ඔබ දකින අවංක සිනහව තුළ ගැබ් වෙලා තියෙන්නේ ඉතා ප්‍රබල ශක්ති ප්‍රවාහයක්. ලබන්නා තුළ මෙන්ම තිළිණ කරන්නා තුළද සතුට උත්පාදනය කරවන්නට සමත් කදිම තිළිණයක් තමයි සිනහව කියන්නේ.

විද්‍යාත්මකව බැලූ කල සිනහව කියන්නේ සතුටක් දැනීමේ පණිවිඩයට මොළය විසින් දක්වන ප්‍රතිචාරයට. ඒක හැඟීම් ප්‍රකාශ කිරීමට යොදා ගන්නා මාධ්‍යයක්. ඒ තුළින් මාංශ පේශි ලිහිල් වීම ‍, කායිකව හා මානසිකව සැහැල්ලු බවක් දැනීම‍, මනා රුධිර සංසරණයක් සිරුර තුළ ක්‍රියාත්මක වීම‍, ආතතිය විශාදිය වැනි සංකූලතා අවම වීම‍ හෝ පාලනය වීම‍, දැකුම්කළු පෙනුමක් ලැබීම, දිගු ජීවන කාලයක් උරුම වීම, ප්‍රතිශක්තිකරණ වර්ධනය වීම වගේ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. 

හැබැයි ඉතින් මෙකී නොකී වාසි වලට ලොබින්  හෙට ඉඳලා බොරුවට හිනාවෙන්න නම් හිතන්න එපා. ඒක අසාර්ථක ප්‍රයත්නයක් වෙනවා නොඅනුමානයි.

සිනහව අවංකවම, නිරායාසයෙන්‍, හදවතින්ම උත්පාදනය වන පිරිසිදු සිතුවිල්ලක ප්‍රතිඵලයක් නොවනතාක් කල් සැබෑ සිනහවේ රස හඳුනා ගන්න හැකි වෙන්නේ නෑ. 

සිනහවකින් තවත් කෙනෙකුගේ විශ්වාසය හා ආත්මශක්තිය ඉහළ අහස කරා ඔසවා තබන්නට ඔබට ගත වෙන්නේ ඔබ හිතන්නේවත් නැති තරම් අංශුමාත්‍ර කාලයක්. කොහොම උනත් කටපුරා හිනාවෙන කෙනෙක් දකින්න අකමැති කවුද ? ඔබ විනෝදකාමී සැහැල්ලු ජීවන රටාවකට රුචියක් දක්වන බව සනාථ කරන කැඩපත ඔබේ සිනහවයි. ඒ තුළින් තවත් කෙනෙක් සුවපත් කිරීමට හැකිවීම ඔබ ලද භාග්‍යයක්. 

හැම කෙනෙක්ම අවස්ථා ගවේෂණය කරමින් හොඳම විකල්පය තෝරා ගැනීමේ ක්‍රියාවලියක යෙදෙනවා‍, දැන හෝ නොදැන. දිනාගැනීම්‍, අසාර්ථකවීම් අඩු වැඩි වශ⁣යෙන් අත්දකිමින් ඉදිරියට යන ගමනක තවත් කෙනෙක්ට උත්තේජනයක්‍, ශක්තියක් ලබාදිය හැකි විජ්ජාවක් සිනහව.

හැබැයි ඉතින් නොදන්නා කෙනෙක් එකක්  කටපුරා හිනාවෙනවට වඩා අපහසු වෙන්න පුලුවන් හොඳින්ම දන්න‍, ඒත් හිත රිදවපු කෙනෙක් එක්ක හිතට එකඟව හිනාවෙන එක. තමන්ට තියන අධ්‍යාත්මික පසුබිම එක්ක  ඒ ගනුදෙනුව කරන එක ඔයාට බාරයි. 

පුලුවන් හැම වෙලාවකම හිත පිරෙන්න හිනා වෙලා ඉමු.

දිමුතු සේනාදි

Sign up for our newsletter