පූජ්‍ය ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද ස්වාමීන්වහන්ස
මෙවර සංවාදය අපි Magazine හි මුල් පිටුව වෙනුවෙන් දායක වෙමින් ඉතාමත් වටිනා ලිපි මාලාවක් සෑම මසකම පාඨක ඔබ වෙත ගෙන එන අස්ගිරි පාර්ශ්වයේ උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක සාකල්‍ය මනෝවිද්‍යා උපදේශක පූජ්‍ය ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද ස්වාමීන්වහන්සේ සමඟය.
ප්‍ර: ඔබවහන්සේ පැවිද්ද ගැන කෙටියෙන් කිවහොත්?
උ: මම පැවිදිවුනේ වයස දහතුන හමාරෙදි. අම්මා පවුලේ අය කැමති වුනේ නෑ මං පැවිදි වෙනවට. දවස් තුනක් උපවාස කරලා කොහොමහරි අම්මගෙන් අවසර සහ ආශිර්වාද ගත්තා. මට පුදුම සතුටක් තියෙන්නේ පැවිද්ද ගැන. මේ ආත්මභාවයේ විතරක් නෙවෙයි අනාගත සසර පුරාම මං පතන්නේ පැවිද්ද. මාත් සසරින් ගැලවිලා තවත් අයටත් උදව් කරන්න පුළුවන් ඒ නිසා.
ප්‍ර: ඔබවහන්සේ විදේශීය ධර්මදූත සේවයේ නියුතු ප්‍රවීණ භික්ෂූන්වහන්සේනමක්. එම ක්ෂේත්‍රයේ තත්ත්වය සහ ප්‍රවණතා ගැන අදහස් දැනගන්න කැමතියි.
උ: ඒ පිළිබඳව කිව යුතු දේ බොහෝයි. වෙනත් රටවලින් බටහිරට වැඩම කරන භික්ෂූන්වහන්සේ සමඟ සැසඳීමේදී ශ්‍රී ලාංකේය භික්ෂූන්ට විශේෂ තැනක් තියෙනවා. කෙසේවුනත් අපේ රටෙන් වඩින භික්ෂූන්ට තව පුහුණුව අවශ්‍යයි. තථාගත ශ්‍රී සද්ධර්මය අකාලික හෙවත් timeless. හැබැයි ඒ අකාලිකබව ප්‍රබුද්ධ ජනයාට පසක් වෙන්නේ ශ්‍රී සද්ධර්මය සංස්කෘති ප්‍රවේශය හෙවත් cultural approach එකෙන් නොව මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයෙන් හෙවත් psychoanalytic approach එකෙන් ඉදිරිපත් කරනකොටයි. අපේ රටෙන් ඇවිත් බටහිර පදිංචිව සිටින අයට සංස්කෘතික ප්‍රවේශය සාමාන්‍යයෙන් අවශ්‍යයි. නමුත් බටහිර ඉපදී හැදී වැඩෙන ඔවුන්ගේ දරුවන් පවා පොදු බටහිර ජනයාගේ ආධ්‍යාත්මික රසය හෙවත් spiritual taste එක වන්නේ මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයයි. තුන් ආකාර බෞද්ධ ප්‍රතිපදාව වන දාන සීල භාවනා අතරින් බටහිර ජනතාව ආකර්ෂණය වන්නේ භාවනාවටයි. ක්ෂේත්‍රයේ පවතින විශාලතම සහ ජනප්‍රියම ප්‍රවණතාව සති සම්පජඤ්ඤ හෙවත් mindfulness තමයි. සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය විශේෂ අවධානය යොමු කරනවා mindfulnessවලට.
ප්‍ර: එතකොට බටහිර ජාතිකයන් අපේ සංස්කෘතික ප්‍රවේශයට කැමැත්තක් නැද්ද?
උ: අකමැත්තක් නෑ. ශ්‍රී ලාංකිකයන්ගේ දානය පරිත්‍යාගය ඔවුන් අගය කරනවා. නමුත් පංසලක් ඔවුන්ට තැනක් නොදෙනකොට ඔවුන් හිතන්නේ එය ethnic හෙවත් එක් ජන වර්ගයකට සීමා වුන තැනක් කියලා.
ප්‍ර: සංක්‍රමණික මව්පියන්ට දාව බටහිර ඉපදී හැදෙන වැඩෙන දරුවන්ගේ ආධ්‍යාත්මික නැඹුරුව ගැන ඔබවහන්සේගේ මතය කුමක්ද? එහෙම ඇහුවේ ඔබවහන්සේ බටහිර ලෝකයේ ළමයින් සහ යෞවන ප්‍රජාව සඳහා මනෝවිද්‍යා උපදේශකවරයකු ලෙස කටයුතු කරන නිසා.
උ: මව්පියන් මහත් වෙහෙසකින් සහ උනන්දුවකින් ළමයින්ව දහම් පාසලට ගේනවා. එහෙත් ඔවුන් දහම්පාසල් අවසාන විභාගය අවසන් කළ පසු පංසලේ රඳවාගැනීම සඳහා mechanism නෑ. ඒක කනගාටුවට කරුණක්. ආගම් සංකෘතික භේදයකින් තොරව ළමයින් සහ යෞවන ප්‍රජාව ජීවන දර්ශනයක් වන බුදුදහමට කැමතියි. ඔවුන් රඳවාගැනීම පංසලේ වගකීමයි.
ප්‍ර: ධර්මදූත සේවයේ නියැලි ජ්‍යේෂ්ඨ භික්ෂූන්වහන්සේ නමක් විධියට තරුණ භික්ෂූන්වහන්සේට දෙන අවවාදය කුමක්ද?
උ: මේ සමාජ මාධ්‍ය යුගයේ භික්ෂූන්වහන්සේ ලෞකික විෂයයන් ගැන දැනුම ලබාගත යුතුයි. නමුත් පාලි භාෂාව සහ නිවැරදි ධර්ම විවරණය පිළිබදව පුහුණුව සහ ගැඹුරු අවබෝධය උන්වහන්සේට තිබිය යුතුය. ධර්ම විකෘතිය අද ධර්ම දේහයේ පිළිකාවක් වෙලා. ඒ ගැන මට ගොඩක් සංවේගයි.
ප්‍ර: ඔබවහන්සේ ලිවීමට කැමතිබව පේනවා වගේම එම ලිපි වෙනස් ආකාරයකින් පාඨකයා වෙත ගෙන එනවා අපි ඒ ගැනත් දැන ගන්නට කැමතියි.
උ: මා උපාධි පර්‍යේෂණ නිබන්ධන හැර දැනට පොත් ලියලා නෑ. මම වඩා කැමති කෙටියෙන් ලියන්නට. යම් වස්තු බීජයක කෙටියෙන් ගැඹුරින් සහ thought-provoking ඒ කියන්න සිතුවිලි දනවන විදියට ලියන්න කැමතියි. ඒ මගින් පාඨකයාට ස්වයං විමර්ශනයකට අවස්ථාවත් ලැබෙනවා. ඒ වගේම සියල්ල අතරින් ධර්ම දානය තමයි උතුම් දානය.
මේක භාවනාවක් සිත සමාධි ගතවන.
ප්‍ර: අපි Magazine ගැනත් ඔබවහන්සේගෙන් අදහසක් දැන ගන්න කැමතියි
උ: අපි මැගසින් සඟරාව මට කෙටි ලිපි මාලාවක් ලියන්න පුළුවන් ද කියලා ඇහුවාම මම ඒක සතුටින් බාර ගත්තේ එම සඟරාවේ ආරට මම කැමති නිසා. ඒ වෙනුවෙන් වගේම මෙවැනි වගකීම් සහිත කාර්‍යක් වෙනුවෙන් කැපවී කටයුතු කරන ගයාන් කරුණාරත්න මහත්මයා ඇතුළු අපි Magazine කණ්ඩායමට මම ආශිර්වාද කරනවා ඔවුන්ගේ සියළු යහපත් කටයුතු සාර්ථක වේවා කියලා.
සැම දෙනාටම තෙරුවන්සරණයි!
සංවාදය මෙහෙයවීම : ඉරේෂා තිලකරත්න