සැබෑ සතුට සොයා ..
සතුට පැහැදිලිවම තෝරා ගැනීමක් මට අනුව නම්. එහෙම කියන්න පෞද්ගලික අත්දැකීම් වගේම එදිනෙදා ඇස ගැටුණු, කන වැකුණු යම් යම් සිදුවීමුත් හේතු කාරණා වෙනවා.
සතුට මිලදී ගතයුතු දෙයක්ම නෙමෙයි නේද? ඇත්තටම හිතලා බැලුවොත්?? අපි යම් යම් දේවල් මිලදීගෙනත් සතුටු වෙනවා තමයි. ඇත්ත. එතනින් ටිකක් එහාට ගිහින් බැලුවොත්??
නිදාගන්න ඇඳට අලුත් ඇතිරිලි, කොට්ට උර ටික දමලා ලස්සනට පිළිසකර කරලා ලබන සතුට,කටට රසට කෑම ටිකක් හදලා ආදරණීයයන්ට ඒක පිළිගන්වලා ලබන සතුට, ලස්සන කුරුල්ලෙක්, ගහක්, කොලක් දැකලා ලබන සතුට, ගීතයකින්, පින්තාරුවකින්, ඩිජිටල් සිත්තමකින් ලබන සතුට, කරදර, ප්‍රශ්න එක දෙක එක්ක උනත් තවත් කෙනෙක්ගේ සතුටට හේතුවක් වීමේ සතුට, තාමත් මම ජීවත් වෙනවා කියන සතුට….
ඇත්තටම හිතලා බැලුවොත් කිසියම් රෝගයකින් පෙළෙන කෙනෙකුට උනත් මේ කියන විදියට සතුටින් ඉන්න හේතුවක් හොයා ගන්න පුලුවන් නේද? අඩුම තරමේ මේ දුක අදක හෙටක ඉවරයක් වෙයි කියලා හරි?
කියන තරම් නම් ලේසි නෑ. ඇත්ත. මේ මොහොතේ ජීවත් වෙලා ඊළඟ මොහොතට යමු. ගෙනියන්න උවමනා නෑ මුකුත්. එහෙම ගෙනියන්නත් බෑනෙ. පැහැදිලි හෝ අපහැදිලි හිත තමයි මට දැනෙන විදියට නම්, මාව පාලනය කරන්නේ. ඉතින් ඒ සිතිවිලි තුළින් සතුටක පණිවිඩය , සංවේදනය, මගේ පංචස්කන්ධයට මොළය හරහා සංඥා මගින් ලබා දීමට වග බලාගත යුත්තේ මමමයි කියලයි දැනෙන්නේ.
කෙනෙක්ට හිතෙන්න පුලුවන්, වේගයෙන් වැඩිවන වියදම් වලට අමාරුවෙන් ගලපගන්න හදන ආදායමක්, ගෙවා නිමකල යුතු ණය බරක්, දරුවන්, දෙමව්පියන්, සහෝදරයන් වෙනුවෙන් ඉටුකල යුතු යුතුකම් ගොන්නක් හමුවේ හැම මොහොතකම සතුටින් ඉන්න එක ඇත්තටම කරන්න පුලුවන්ද කියලා.. ඒක තීරණය වෙන්නේ තමන් ඒ දේවල් වලට මොනතරම් අවංකව, පෙර සූදානමක් ඇතිව සහ ආදරණීයව මුහුණ දෙන්නට සූදානම්ද යන කාරණාවන් මත නොවේද? අභියෝග අපි හැමෝටම තියනවා, අඩු වැඩි වශයෙන්. සතුටින් ඒ දේවල් බාර ගමු. සාර්ථක වෙමු.
එහෙම බැලුවහම ගත වෙන හැම තත්පරයකම සතුටට හේතුවක් හොයා ගන්න පුලුවන් නේද? අනවශ්‍ය බන්ධන වලින් ඈත් උන, නිවැරැදි තෝරා ගැනීම තමයි කළ යුත්තේ.. බාහිර පරිසරය මගේ පාලනයෙන් එහාට ගිය දෙයක් තමයි. ඒත් මගේ හිත මට නතු කරගන්න පුලුවන් නම්, සතුටේ අංකුර මම හොඳින් හඳුනා ගන්නේ නම්, මට දැන් විඳින්න තියෙන සතුටෙත්, හෙට දවසේ මගේ සිනහවෙත් තීරකයා වෙන්නේ මමම තමයි.
සතුටින් ඉමු
දිමුතු සේනාදි