කොන්දේ සිට දිවෙන පාදයේ වේදනාවක් ඔබටත් තිබේද
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අසූවක් වූ, වාත දෝෂය ජනිත රෝගයන් අතුරෙන් ‘ගෘධ්‍රැසි’ නම් වූ වාත රෝගය වර්තමාන සමාජයේ බහුලව දැකිය හැකි රෝගී අවස්ථාවකි.
බටහිර වෛද්‍ය විද්‍යාවේ Sciatica / Sciatic neuritis ලෙසට හඳුන්වනු ලබන මෙම රෝගී තත්ත්ව ප්‍රධාන ලෙසම කටී ප්‍රදේශය ආශ්‍රිත ස්නායූන්ගේ තෙරපීම නිසා හටගනු ලබන වේදනාත්මක රෝගී අවස්ථාවකි.
ආයුර්වේද මූලග්‍රන්ථයන්ට අනුව කුපිත වූ වාත දෝෂය ගුධ්‍රැසිය නම් වූ සිරුරේ පවතින විශාලතම වාත නාඩිය ඇසුරු කරමින් හටගනු ලබන මෙම වාත රෝගය ‘ගෘධ්‍රැසි’ ලෙසට හඳුන්වා දී ඇත.
කොන්දේ සිට තට්ටම් ප්‍රදේශය මූලික කොටගෙන කෝපවූ වාතය පිළිවෙලින් උකුළ, පිට, කලවා, දණහිස්, බත්කෙණ්ඩ, පාද තෙක් තදගතිය, අනින්නාක් බඳු වේදනාව, කැක්කුම ඇති කරමින්, වරින් වර පාදය වෙව්ලීමට පවා භාජනය කරන බව ගෘධ්‍රැසි රෝග නිරුක්තිය පිළිබඳ ආයුර්වේද මූලග්‍රන්ථයක් වන ‘චරක සංහිතා’ ග්‍රන්ථයෙහි සඳහන් වේ.
රෝග ප්‍රබේද
ගෘධ්‍රැසි රෝග ප්‍රබේද 2කි. එනම්,
• වාත දෝෂය ප්‍රමුඛ ප්‍රබේදය- තීව්‍ර වේදනාව, හිරිය ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස ප්‍රකට වේ.
• වාත-කඵ ජනිත ප්‍රබේදය- වේදනාවට අමතරව, තෙමැරිය, අවයවයන්හි බරබව, ආහාර අරුචිය, කුසගිනි නොදැනීම, ඛේට ස්‍රාවයන් වැගිරවීම යන ලක්ෂණයන්ගෙන් ද යුක්ත වේ.
කොන්දේ පහළ තුනටිය ප්‍රදේශයේ සිට තට්ටම් හා පාදයේ පිටුපසින්, පාදය දිගේ පහළට පතුල තෙක් දිවයන සිරුරේ පිහිටි දීර්ඝතම ස්නායුව වන Sciatic ස්නායුව තෙරපීමට හෝ ආතතියකට ලක්වීමෙන් බොහෝ විට මෙම රෝගී තත්තවය හටගැනීම සිදුවේ. පසුකාලීනව ස්නායුව ප්‍රදාහයට පත්වී ඉදිමීමට බඳුන් වේ. එමඟින් මෙම රෝගී අවස්ථාව හටගන්නා බව බටහිර වෛද්‍ය විද්‍යාත්මක පිලිගැනීමයි.
කොඳු ඇටපෙළෙහි පවතින කශේරුකාවන්ගේ පිහිටීමේ වෙනස්කම්, අන්තර් කශේරුක මඬල් පිටුපසට නෙරා ඒම, තට්ටම් ප්‍රදේශයේ මාංශපේශීන්ගේ තද බව, herniated disc, bone spurs, lumbar spinal stenosis( narrowing), degenerative disc disease, spondylolisthesis (කශේරුකා එක මත ලිස්සා යාම), tumors යනාදී රෝග අවස්ථාවන් හේතුවෙන් Sciatic ස්නායුව මත පීඩනයක් ඇතිවීමෙන් ස්නායුව තෙරපීම හා ඉදිමීම හේතුවෙන් ස්නායුව දිගේ වේදනාව දැනීම සිදුවේ.
පුද්ගලයකු යම් හදිසි අනතුරකට මුහුණ දීමෙන් අනතුරුව ක්ෂණිකව ගෘධ්‍රැසි රෝගී තත්ත්වය හටගැනීමේ අවධානමක් පවතිනවා සේම, කටී ප්‍රදේශයේ වේදනාව දීර්ඝ කාලයක් පැවතීමෙන් පසුව ක්‍රමයෙන් රෝග ලක්ෂණ පහළ වීමෙන් කාලයක් ගතවූ පසු රෝගය හටගැනීමද ඇතැම්විට සිදුවේ.
රෝග ලක්ෂණ අතර කටී ප්‍රදේශයේ හා පාදය පිටුපසින් දැනෙන වේදනාව විශේෂිත වේ. එකවර ඇතිවූ වේදනාවක් ලෙසට හෝ ක්‍රමයෙන් වර්ධනය වූ වේදනාවක් ලෙසට ගෘධ්‍රැසි රෝගයේ රෝග ලක්ෂණ ප්‍රකට වේ. එමෙන්ම වේදනාව ඇතැම්විට සුළු වේදනාවක් ලෙස හෝ, දරාගත නොහැකි තීව්‍ර වේදනාවක් ලෙස විය හැකිය. මුල් අවස්ථාවේදී කොන්දේ පහළ තුනටිය, තට්ටම්, කලවා, බත්කෙණ්ඩ යනාදී එක් එක් ප්‍රදේශයන්හි ස්ථානික වේදනාවක් පමණක් ඇතිවුවද පසු කාලීනව රෝග ලක්ෂණ තීව්‍ර වීම සිදුවේ.
මෙම වේදනාව තුනටියේ සිට කකුලේ පිටුපස ඔස්සේ පාදය දිගේ ක්ෂණිකව ‘විදුලියක් සේ’ දිව යන්නාක් බඳු වේදනාවකි.
එක් පාදයක් පමණක් ආශ්‍රය කොටගෙන ගෘධ්‍රැසි රෝගය හටගත්තද ඇතැම් විට පාදයන් දෙකෙහිම රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවන්ද සුලබව දක්නට ඇත. එවැනි රොගීන්හට ඇවිදීම ඉතාම වේදනාකාරීය. ගෘධ්‍රැසි රෝගීන්, ගිජුලිහිණියක සේ පාද දෙපසට තබමින් ඇවිද යන ගමන්විලාශයක් සහිත බැවින් මෙම රෝගයට ගෘධ්‍රැසි යන සංස්කෘත නම් ලැබූ බවද එක්තරා මතයකි.
මාංශපේශීන් නිසි පරිදි ක්‍රියා නොකිරීම හේතුවෙන් කල් යත්ම පේශී ක්ෂය වී පාදය කෙට්ටු වීම පවා පසුකාලීනව දක්නට ලැබේ.
බොහෝ විට අවුරුදු 30-55 අතර මැදිවියේ පුද්ගලයන් අතර සුලබ රෝගී අවස්ථාවක් ලෙස ප්‍රකට වුවද වැරදි ඉරියව් භාවිතය (බර එසවීමේදී දණහිස් වලින් පහත්වී බර එසවීම සිදු නොකට කොන්දෙන් නැවී බර ඉහළට එසවීම, වැඩි වේලාවක් රළු පෘෂ්ඨ මත හිඳගෙන සිටීම, බොහෝවේලා සිටගෙන සිටීම, ගැස්සෙන වාහන වල වාඩිවී දුරගමන් යාම, අතිශය සිනිඳු මතුපිට පෘෂ්ඨ සහිත තදගතියෙන් තොර මෙට්ට මත නිදාගැනීම, උස් අඩි පාවහන් නිතර පැළඳීම, නිවැරදි ව්‍යායාම අනුගමනය නොකිරීම වැනි), අති ස්තෞල්‍යබව, ගර්භණීභාවය, ව්‍යායාම අවම වීම, Scoliosis (කොඳුඇට පෙළෙහි ඇදවීම), අස්ථි සම්බන්ධ පෝෂණ ඌනතාවන් වැනි විවිධ හේතු කාරණා රෝගය හට ගැන්මට හේතුවිය හැකි බැවින් වර්තමානයේ වයස් භේදයකින් තොරව රෝගය ප්‍රකට වන අවස්ථාවන් බහුලව දක්නට ලැබේ.
දිගු වේලාවක් එකම ඉරියව්වකින් ඉඳගෙන හෝ සිටගෙන සිටීමේදී වේදනාව වැඩිවන බවත්, කැස්ස/ කිවිසුම් යාම/ තැටමීම/ බරක් එසවීම/ එක පැත්තකට හැරීම වැනි ක්‍රියාවන්හිදී වේදනාව වැඩි වශයෙන් දැනෙන බව රෝගීන් විසින් බහුලව පැමිණිලි කරන්නකි. තවද සිසිල් ජල ස්නානය හා ශීත ආහාර පාන භාවිතයෙන් රෝගය උත්සන්න වීම සිදුවේ. වර්ෂා කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේදී වේදනාව ප්‍රමුඛ රෝග ලක්ෂණයන්ගේ වර්ධනයක් දක්නට ලැබේ.
ඇවිදීමේදී මෙන්ම කකුල දණහිස් සංධියෙන් නැවීමේදී වේදනාව තීව්‍ර වන බව ද ගෘධ්‍රැසි රෝගීන් විසින් බහුලව පැමිණිලි කරන තවත් කාරණයකි.
රෝගියා සයනයක උඩු අතට නිදි කරවා දණහිසෙන් පාදය නැවීම සිදු නොකොට සම්පූර්ණ පාදය ඇඳ මට්ටමේ සිට ඇඳට සමාන්තරව තබා ගනිමින්, පසුව ඉහළට හෙමි හෙමින් එසවීමේදී වේදනාව පැමිණේදැයි පරීක්ෂා කිරීම රෝගී පරීක්ෂාවේදී වෛද්‍යවරුන් විසින් අනුගමනය කරන සරල පරීක්ෂාවකි.
ගෘධ්‍රැසි රෝගීන්හට පාදය ක්‍රමයෙන් එසවීමේදී උකුල් සංධිය, කොන්ද හා තට්ටම් ප්‍රදේශයෙන් හටගන්නා තීව්‍ර වේදනාව හේතුවෙන් අංශක 45° ක් පමණ කෝණයක පිහිටුම තෙක් ඉහළට එසවීමට හැකියාවක් නොමැත. මෙම ලක්ෂණය හේතුවෙන් වෛද්‍යවරුන් විසින් මෙම රෝගී තත්ත්වය පහසුවෙන් හඳුනා ගනු ලබන අතර රෝග නිර්ණය තහවුරු කරගැනීමට නවීන වෛකෘත පරීක්ෂණ ද යොදාගනු ලැබේ.
X-ray/ CT scan/ MRI scan යනාදී රෝග නිර්ණ පරීක්ෂණ මගින් (අස්ථීන්ගේ නෙරීම්) bone spurs/ herniated disc පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාව පවතින අතර EMG (electromyography) නම් වූ නවීන පරීක්ෂණ මගින් තෙරපීමට ලක්ව ඇති ස්නායු පවා පහසුවෙන් හඳුනා ගැනීමට හැකි බැවින් රෝග නිර්ණය කිරීම අපහසු නොවේ.
• ප්‍රතිකාර :-
ආයුර්වේද චිකිත්සා මූලධර්මානුකූලව රෝග නිදානාදී කාරණා, රෝග ප්‍රකෘතිය, පුද්ගල ප්‍රකෘතිය, රෝගියාගේ වයස හා බලාබලත්වය සහ රෝගියාට වැළඳී ඇති අනෙකුත් රෝග අවස්ථා සැලකිල්ලට ගෙන පුද්ගලානුබන්ධ චිකිත්සා පද්ධතියක් රෝග ප්‍රතිකාරයේදී භාවිතා වේ.
ඖෂධීය තෛල අභ්‍යංග, තැවිලි පොට්ටනි මගින් ස්වේද දීම, පත්තු ආලේපය, ඒකාංග ධාරා, කටී වස්ති මගින් ඖෂධීය තෛල කොඳු ඇටපෙළ ආශ්‍රිතව රඳවා තබා ගැනීම වැනි විශේෂිත ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම බාහිර ප්‍රතිකාර ලෙසටත්, අභ්‍යන්තර ඖෂධ ලෙස කෂාය, ගුලි, කල්ක, ක්වාත, චූර්ණ, ගුග්ගුලු වර්ග ලබාදීමත් සිදු කරනු ලැබේ. මීට අමතරව පංච කර්ම චිකිත්සා ක්‍රම ගෘධ්‍රැසි රෝගය සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබාදේ.
නිසි ප්‍රතිකාර සිදු නොකර සිටීමෙන් ගෘධ්‍රැසි රෝගය ක්‍රමයෙන් වර්ධනය වී රෝග උපද්‍රව හටගැනීමෙන් ඇවිදීමට පවා බාධා ගෙනදිය හැකි රෝගී තත්ත්වයකි. එබැවින් රෝගය පිළිබඳ හොඳින් දැනුවත් වී, රෝග ලක්ෂණ හටගත් මුල් අවස්ථාවේදීම නිසි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත නොපමාව ගොස් ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමෙන් පහසුවෙන් සුව කර ගැනීමේ හැකියාව පවතින සුඛ සාධ්‍ය රෝගී තත්ත්වයකි.
ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS (Colombo -SL)