සිනමාව ප්‍රේක්ෂක හදවත සියුම් ලෙස ස්පර්ශ කිරීමට සමත් කලාවකි. සිනමා නිර්මාණ අතර ඉන්දීය සිනමා නිර්මාණයන් සුවිශේෂී වන්නේ ඊටම අනන්‍ය වූ අපූර්වත්වය හේතුවෙනි. පසුගිය දීපවාලී දිනයේ රිදී තිරයට පැමිණි Amaran චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂක හදවත් සංවේදී කෙරූ එවැනි අපූරු නිර්මාණයකි.
Amaran චිත්‍රපටයට පාදක වන්නේ ‘මුකුන්ද් වරදරාජ්’ නම් ඉන්දීය මේජර්වරයාගේ සත්‍ය කතාවයි .ඔහු ඉන්දු කාශ්මීර යුද සමයේ ජීවිත පරිත්‍යාගයෙන් රට රැකගත් උදාර මිනිසෙකි.මෙය රාජ්කුමාර් පෙරියසාමී විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර කමල් හසන් විසින් නිෂ්පාදනය කර ඇත.කතාවේ ප්‍රධාන චරිත දෙක මේජර් මුකුන්ද් වරදරාජ් සහ ඔහුගේ බිරිඳ වන ඉන්දු රෙබේකා වර්ගීස් වේ.
මුකුන්ද් වරදරාජ් 1983 කරේ ද්‍රවිඩ යුවළවකට දාව උපත ලබයි.කුඩා කල සිටම ඔහුගේ සිහිනය වන්නේ හමුදා සෙබළෙකු වීමයි.උසස් අධ්‍යාපනයට පිවිසෙන මුකුන්ද් සහ ඉන්දු රෙබේකා වර්ගීස් ආදරයෙන් බැදෙන අතර ඉන්දු තම පෙම්වතාට ඔහුගේ සිහිනය හඹා යාමට දිරි දෙයි.නමුත් රෙබේකාගේ මවුපියන් හමුදා නිලධාරියෙකු සමග සිය එකම දියණිය විවාහ කර දීමට අකමැති වන නිසා ඔවුන්ගේ ආදර කතාව හැල හැප්පීම් හමුවේ ගලායයි.පසුව මෙම බාධක මැඩ ගෙන සියල්ලන්ගේම ආශිර්වාදය සමග විවාහ වන ඔවුන් දෙදෙනාගේ සතුට දෙගුණ කරමින් නොබෝ කලකින් කැදැල්ලට ආදරණීය දියණියක් එක්වේ.2006 වසරේ හමුදාවට බැදෙන මුකුන්ද් එතැන් සිය ජීවිතය රට වෙනුවෙන් පරිත්‍යාග කරයි.ඔහුගේ එම උදාර පරිත්‍යාගයට ප්‍රාණ සම බිරිඳගෙන් ලැබෙන්නෙ අප්‍රමාණ කැපකිරීමකි.සහයකි.
“මේ මුහුදයි අහසයි අතට දුර එයාටයි මටයි.මං ඉන්නෙ මගේ ආදරය එක්ක සදාකාලික දුරස්ථ ප්‍රේමයක”
-රෙබේකා-
දේශසීමාවලින් වෙන් වූ ඔවුන්ගේ ආදර කතාවේ ඉරණම කුමක්ද දැනගැනීමට අමරන් නරඹන මෙන් ඉල්ලා සිටිමි.
චිත්‍රපටයේ මුකුන්ද් ලෙස චරිත නිරූපණය කරන ශිවකාර්තිකේයන්ගේ රංගන ජීවිතයේ අද්විතීයම චරිත නිරූපනය ලෙස මෙය දැක්විය හැකිය.වරෙක යුද නිලධාරියකු සතු වීරත්වය ද,තවත් වරෙක පියෙකු,සැමියෙකු සහ පුතෙකු ලෙස සිය පවුලට නොඅඩුව යුතුකම් ඉටු කරන මුකුන්ද් නම් ආදරණීය සහ මානුෂීය මිනිසාව ඔහු නොමැකෙන ලෙස තිරයෙහි ප්‍රතිනිර්මාණය කර ඇත.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ සිට විරෝධාර මේජර්වරයෙකු දක්වා මුකුන්ද් ගේ පරිවර්තනය අපූරුව ලෙස ඉදිරිපත් කිරීමට ඔහු සමත් ය.එමෙන්ම ඔහුගේ බිරිඳගේ චරිතයට පණ පොවන සායි පල්ලවි ප්‍රේක්ෂක දෑස් කඳුළින් තෙමීමට සමත් සංවේදී සහ සියුම් රංගනයක නියැලෙයි.හමුදා බිරිඳක සතු එම අසහාය දරා ගැනීම සහ කැප කිරීම සිය අනර්ඝ සතර අභිනයන් තුළින් මනාව නිරූපණය කිරීමට ඇය දක්වා ඇති දක්ෂතාවය ප්‍රශංසනීය වේ.
චිත්‍රපටයේ සංගීතය ද එහි භාවයන් ප්‍රේක්ෂකයාට වඩාත් දැනවීමට රැකුල් වේ.ජී.වී ප්‍රකාශ් කුමාර් විසින් මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත.සුන්දර කාශ්මීරයේ දසුන් සමග එම සංගීතය මුසු වූ විට සිනමාපටයට ලැබෙන්නෙ කදිම මිහිරියාවකි.
කාශ්මීරයේ සුන්දරත්වය ද,යුද බිමේ භීතිය ද සිය කැමරාකාචයට හසුකර ගැනීමට කැමරාකරු දක්වා ඇති දක්ෂතාවය මෙන්ම නළු නිළි කැල මනා ලෙස හසුරවමින් යුද සිදුවීමක් සාර්ථකව ප්‍රතිනිර්මාණය කිරීමට අධ්යක්ෂවරයා දැක්වූ හැකියාව ද අගය කල යුතුය.
අමරණීය ආදර කතාවක රසය විද ගැනීමටත්, යුද විරුවන් සතු අප්‍රමාණ කැපකිරීමට මොහොතකට උපහාර කිරීමටත් අමරන් නරඹන ලෙසට ප්‍රේක්ෂක ඔබට ඇරයුම් කරමි.
-පියුමි නෙළුමිකා –
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය