Api-Slide-69
Api-Slide-69-1
Api-Slide-69-2
Api-Slide-69-3
previous arrow
next arrow

Pareidolia

මෙහෙම වෙනවද බලන්න ඔයාටත්..බිම වතුර ටිකක් වැටිලා තියෙනවා දකිනකොට, අහසේ වළාකුළු දකිනකොට, ගස් අතරින් බිමට හෝ බිත්තියකට වැටිලා තියෙන සෙවණැලි දකිනකොට, සමහර ගස්වල අතු විහිදී ඇති අයුරු දකිනකොට යම් අර්ථාන්විත රූප පේනවද ? ඔව් මට පේනවා..දකිනකොටම පේනවා..රූප විතරක් නෙවෙයි නොකඩවා ඇසෙන ශබ්ද වලින් යම් රටාවකට තාලයක් සිතෙන් ගොඩනැගීමත් එක් අංගයක්.

ඔන්න එක දවසක් මරු වැඩක් වුණා.. අපේ ගෙදර කුස්සියට යාබදව තබා තිබෙන මේසය අසල මම ඉඳගෙන ඉන්නකොට අම්මා ඇවිල්ලා දුන්නා මට කිරි තේ එකක්. ඒක ගන්නකොටම පොඩි අත්වැරදීමකින් කිරි තේ මේසය මත ඉහිරුණා. අම්මා වහාම එය පිසදාන්න රෙදි කැබැල්ලක් ගේන්න එන්න ගිය පොඩි වෙලාවට ඔන්න මට පේන්න ගන්නවා මේ ඉහිරුණු කිරි තේ ටිකෙන් මිනිස් රූපයක්..තව පොඩ්ඩක් ඇඟිල්ලෙන් කිරි තේ රේඛා යා කළා නම් අතිශය තාත්ත්වික රූපයක් ගොඩනගන්න පුළුවන් වගත් මට එකවරම පේන්න ගන්නවා. ඒත් එක්කම අම්මා ආවා.

” ඔය මොනවද කරන්නෙ පොඩි එකෙක් වගේ ? කෝ අත ගන්න ඕක පිහිදාලා දාන්න..” 

“පොඩ්ඩක් ඉන්න අම්මේ..මේක ඉවර කරනකම්..අම්මට මේකෙන් මුකුත් පේන්නේ නැද්ද ?”

” පේනවා..තේ හැලිලා කියලා..”

” නෑ නෑ අම්මේ..රූපයක් “

ඔල්මාදෙද කොල්ලෝ ?..ඕන එකක් කරගන්නවා..විකාර..”

ඇත්තටම මේක පිස්සුවක්ද ? මම හෙව්වා තොරතුරු.. මේකට කියන්නේ “Pareidolia” කියලා..සෑහෙන පිරිසකගෙන් බොහොම ටික දෙනෙකුට මේක පිහිටනවා. කිසිදු සම්බන්ධයක් නොමැති දේ වලින් අර්ථාන්විත චිත්ත රූප නිර්මාණය වීමයි. මුල් කාලයේදී Pareidoilia තත්ත්වය පාකින්සන් සහ විශාදය ඇති පුද්ගලයන්ට ඇතිබව කියැවුණත් පසුව එම පරීක්ෂණවලට යොදාගත් නියැඳි පරීක්ෂාවේ අඩුපාඩුවක් නිසා ඒ නිගමනයට ආ බව තහවුරු වී තිබෙනවා. නවීන වෛද්‍ය විද්‍යාව මෙය රෝගී තත්ත්වයක් නොවන වගත් මොළයේ ඉතා ඉහළ නිර්මාණශීලීත්වයක ලක්ෂණ වගත් තහවුරු වී තිබෙනවා. 

මේ පිළිබඳව ලෝක තොරතුරු සෙවීම අතිශය රසවත් අත්දැකීමක් වුණා. අතිශය විශාල තොරතුරු ප්‍රමාණයකින් මගේ සිත් ඇද බැඳ තබාගත් තොරුතුරු දෙකක් කියන්නම්. 

ඔන්න කැනඩාවේ 1954 දි නිකුත්වුණ මුදල් නෝට්ටුවල දෙවන එළිසබෙත් රැජිනගේ රුව යොදාගෙන මුද්‍රණය කර තිබුණා. එම නෝට්ටු මාලාව මුදල් නෝට්ටු එකතු කරන්නන් අතර ඉතා ජනප්‍රිය වුණා. හේතුව සොයා බලනවිට එම නෝට්ටුවල එළිසබෙත් රැජිනගේ හිසේ කෙස් කළඹෙ යක්ෂයකුගේ රුවක් ” Devil’s Head ” ලෙස දිස්වීමයි. පසුව මෙම නෝට්ටු මාලාව වෙනුවට අලුත් නෝට්ටු මාලාවක් මුද්‍රණය කිරීමට පවා කැනේඩියානු රජයට සිදුවිය. 

එවැනිම රසවත් තොරතුරක් තමයි ” හිට්ලර්ගේ තේ පෝච්චිය “. මෙම කේතලයට සමාජ මාධ්‍ය තුළින් ලැබුණ අවධානයද “Pareidolia” තත්ත්වයකට නිදසුනක් ලෙස ප්‍රචලිතය.

මෙම Pareidolia තත්ත්වය ඇති පුද්ගලයන්ට අනෙකාගේ චිත්ත වේගය, ඔවුන්ගේ ඊලඟ හැසිරීම ක්ෂණයෙන් හඳුනාගත හැකි විශේෂිත හැකියාවන්ද ඇති අතර මෙම තත්ත්වය විවිධ වෛද්‍ය විද්‍යා පරීක්ෂණයන් වලට උපකාර කරගැනීම දක්වා දියුණු වී ඇත. 

මේක දැක්කම ඔබටත් මේ හැකියාව ඇති කියලා හිතේවි. ඒත් ඇත්තටම ඔබට මේ අත්දැකීම තිබුණද කියලා හිතලා බලන්න..☺

Charith Wijemanna

චරියාගේ පන්හිඳ