Api-Slide-56-1
Api-Slide-56-2
previous arrow
next arrow

වින්සන්ට් වැන් ගෝ

ලෝකය නම් හිස් පිටුවේ ජීවිතය නම් පින්සලෙන් යථාර්ථය පින්තාරු කළ

වින්සන්ට් වැන් ගෝ

මානව පරිකල්පනය තුළට නිර්මාණශීලීත්වය මුසු වීම මගින් ගොඩ නැගෙන, ලොව ඇති අලංකාරතම

භාව ප්‍රකාශනය කලාව ලෙසින් හැඳින්වේ. එකී කලාව ලෝකයේ විවිධ තේමාවන් ඔස්සේ සැරිසරමින්

මිනිසුන් අතරම ගලා යයි. මේ ආකාරයට 19 වන සියවසේ මුල් භාගයේදී යුරෝපයේ බිහි වූ කලා

නිර්මාණ අතර වැජඹුන තවත් එක් ප්‍රධාන තේමාවක් වූයේ 'යථාර්ථවාදය' නම් ගැඹුරු සංකල්පය යි.

මෙම තේමාවේ ඇති සුවිශේෂත්වය වන්නේ එකී යථාර්ථය නිරූපණය කිරීම සඳහා එකල විසූ

කලාකරුවන් ආලෝකමය සහ අඳුරු පසුබිම් අතර දෝළනය වන, විවිධ හැඩතල උපයෝගී කර ගනිමින්

සිතුවම්කරනයේ නිරත වීමයි.

ඒ ආකාරයට ලෝකය දෙස අපට වඩා හාත්පසින්ම වෙනස් කෝණයකින් දුටු විරල කලාකරුවන් අතරට

වින්සන්ට් වැන් ගෝ ද එක් වන්නේ සුවහසක් වූ ඔහුගේ රසික රසිකාවියන්ගේ ආදරය සමගිනි.

වින්සන්ට්  වැන් ගෝ යනු බටහිර කලා ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් පුද්ගලයින් අතර සිටින 

ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පියෙකි.  මෙහෙදී වින්සන්ට් වැන් ගෝ සුවිශේෂී චරිතයක් බවට පත් වන්නේ

සිය මනෝ ලෝකයේ එහා මෙහා අතර ගැවසෙන සිතිවිලි, තෙලි තුඩක ආධාරයෙන් රූපකායකට

පරිවර්තනය කොට අපගේ ජීවිතයේ අප නොදකින පැතිකඩක් එයටම සුදුසු වර්ණ සුසංයෝජනයකින්

ඔහු එළි දැක්වීම නිසාය. චිත්‍ර ශිල්පියෙකු ලෙස සිය ආරම්භක අවධියේ පටන්, වින්සන්ට් වැන් ගෝ හට

අවශ්‍ය වූයේ අඳුර මුසු නිරූපණයන් තුළින් සමාජයේ වූ යථාර්ථවාදී අංගයන් සිතුවම් කිරීමට ය.

ඔහුගේ එම කාර්යය තම සිතුවම් මත ඇඳි තද වර්ණයන්, කැරකෙන බුරුසු පහරවල් මගින් මනාව

ගම්‍යමාන වේ.

අප කාටත් හුරු පුරුදු මෙම සිත්තරුවා  වැන් ගෝ නමින් ප්‍රසිද්ධියට පත් වුවත් ඔහුගේ සම්පූර්ණ නම

වින්සන්ට් විලියම් වැන් ගෝ ය. වර්ෂ 1853 ක් වූ මාර්තු 30 වන දින නෙදර්ලන්තයේ Zundert හි උපත

ලැබූ ඔහු දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා විය. ඔහුගේ පියා රෙපරමාදු පූජකයෙකු වූ

අතර ඔහුගේ මව ගෘහණියකි. දුෂ්කර ළමා කාලයක් ගත කළ ඔහු ඉතා ලැජ්ජාශීලී මෙන්ම තම පවුලේ

අයගෙන් සහ මිතුරන්ගෙන් හුදකලා වූ ජීවිතයක් ගත කළහ.

වැන් ගෝ සිය චිත්‍ර ඇඳීම සහ පින්තාරු කිරීම ආරම්භ කළේ ඔහුගේ යොවුන් වියේ දී ය. වැන් ගෝ

බොහෝ දුරට සිතුවම්කරණය පිළිබඳ තමාගේම වූ ස්වයං-අධ්‍යනයන් තුළින් පන්නරය ලබමින් තම

හැකියාවන් ඔප් නංවා ගත් සිත්තරුවෙක් විය. කලාව සඳහා ඔහු තුළ වූ දක්ෂතාවයන් හේතුවෙන්

පසුකාලීනව ප්‍රංශයේ පැරිස් නුවර වෙත සංක්‍රමණය වූ වැන් ගෝ, ජූලියන්‍‍‍‍‍‍‍‍‍හිදී චිත්‍ර කලාව

හදාරමින් ඔහුටම ආවේණික ශෛලියක් නිර්මාණය කර ගත්තේය. සිය හැදෑරීම් වලින් අනතුරුව 1888 දී

ඔහු ප්‍රංශයේ Arles වෙත පදිංචියට ගියේ කලාකරුවන්ගේ ජනපදයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙනි. 

ඒ සඳහා ඔහු සමඟ ඔහුගේ මිතුරෙකු වූ පෝල් ගෝගුයින් ද එක් වූ නමුත් ඔවුනතර වූ මත ගැටීම්

හේතුවෙන් එම අරමුණ නිෂ්ඵල විය.

1889 දී, ඔහුගේ මානසික තත්ත්වය පිරිහීම නිසා මානසික රෝගීන් රැකබලා ගන්නා

මධ්‍යස්ථානයකට ඇතුළත් කරන ලදී. නමුත් එහිදී ද සිය පින්තාරුකරණය ඔහු දිගටම කළේය.  මෙම

කාලය තුළ ඔහු "Starry Night" සහ "Sunflowers" ඇතුළු ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ චිත්‍ර කිහිපයක්

නිර්මාණය කළේය. 1890 දී, එම මධ්‍යස්ථානයෙන් නික්ම ගිය වැන්ගෝ පැරිසිය අසල පිහිටි Auvers-

sur-Oise නම් ගම්මානයට පිවිසියේය.  ඔහු එහි ජීවත් වූයේ කලාව කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූ

හෝමියෝපති වෛද්‍ය පෝල් ගැචෙට් සමඟ ය.

මෙම කාලය තුළ වැන් ගෝ ගේ මානසික සෞඛ්‍යය නැවත වරක් පිරිහී ගිය අතර ඔහු මානසික

බිඳවැටීම් මාලාවකට ගොදුරු විය. මානසික අර්බුදවල ප්‍රතිඵලයක් ලෙස වින්සන්ට් වැන් ගෝ කිහිප

වතාවක්ම රෝහල් ගත විය. ඔහුගේ මානසික තත්ත්වය ඉතා දුර්වල වූ අතර එය කෙතරම් ද යත් ඔහු

තම එක්  කණක් කපා එය අභිසුරු ලියක් වෙත යැවීමට කටයුතු කිරීමට තරම් මානසිකව බිඳ වැටිණි.

නමුත් ඒ කිසිවක් ඔහුගේ සිතුවම්කරනයට බාධාවක් නොවූ අතර තම පින්තාරුකරණය දිගටම සිදු

කරගෙන ගියහ. මෙහි ඇති තවත් එක්  විශේෂත්වයක් වන්නේ පසුකාලීනව ජනප්‍රිය වූ ඔහුගේ

විශිෂ්ඨතම සිතුවම් කිහිපයක්ම ඔහු මෙම කාලය තුළදී නිර්මාණය කොට තිබීමයි. 

ඔහුගේ සිතුවම් අතර Starry Night, Cafe Terrace at Night, Terrasse, Houses at Auvers,

Restaurant De La Sirene At Asnieres, Sunflowers යනු රසිකයන් අතර වඩාත්ම ප්‍රසිද්ධ සිතුවම්

වන අතර ඒවා බොහොමයක් ඔහුගේ ජීවිතයේ අවසාන වසර දෙක තුළ නිර්මාණය වීම සුවිශේෂීය. එම

සිතුවම් දෙස තියුණු අවධානයක් යොමු කළහොත් අපට දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂනයක් නම්

ආලෝකය සහ අඳුර අතර සංකලනයන්ගෙන් ඔහු තම අවට වටපිටාව විස්තර කොට එතුළින්

“සංකේතාත්මක පණිවිඩයක්” සිය ප්‍රේක්ෂකයන්ට ලබා දීමට කටයුතු කර ඇති අයුරුය. ඒ පිළිබඳව

තවදුරටත් සොයා බැලීමේ දී හඳුනාගත හැක්කේ වැන් ගෝගේ චිත්තවේගීය තත්වයන් ද ඔහුගේ

කලාත්මක කාර්යයට බෙහෙවින් බලපෑ බවත් එතුළින් ඔහු තුළ වූ අවිඥානක මනස තම සිතුවම් මගින්

නරඹන්නාට ගැඹුරු පණිවිඩයක් ලබා දීමට සමත් වන බවයි.

වැන් ගෝ සංකීර්ණ මානසික රෝගවලින් පීඩා වින්දේය. ඔහුව පීඩාවට පත් කළ මානසික රෝග

ඔහුගේ කලා කටයුතුවලට ද බලපෑවේය. වැන් ගෝ  ඔහුගේ වේදනාව සහ බලාපොරොත්තු සුන්වීම

කැන්වසය මත පින්තාරු කළේය. කැපී පෙනෙන සහ බොර පැහැ ගැන්වූ වර්ණ, තෙල් සායමින්

නැහැවුන බුරුසු පහරවල් සහ විකෘති හැඩතල ඔහුගේ කැළඹුණු මනස විද්‍යමාන කරයි. එළෙස ඔහු

මානසික අවපීඩනයෙන් විඳී පීඩාව ඔහුගේ කලා නිර්මාණ තුළින් නිරූපණය කළහ. පසුකාලීනව ඔහුගේ

"බොහෝ විටෙක මා දුක්ඛිත වූ ගැඹුරක සිටියත්, මා තුළ තවමත් සන්සුන්කම, පිරිසිදුවන් සමගිය සහ

සංගීතවත් ස්වරූපයකින් රැඳී පවතියි.." වැනි ප්‍රකාශ තුළින් ද එවැන්නක් අපට තහවුරු කර ගත

හැක. ඒ අනුව බැලූ බැල්මට පෙනී යන්නේ ඔහුගේ කලා කටයුතු සඳහා මෙම මනෝ ගතික සාධකයන් ද

තදින්ම බලපාන්නට ඇති බවයි.

සුප්‍රසිද්ධ ජර්මානු නාට්‍ය රචකයෙක් වන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කලාව යන්න සැලකුවේ යථාර්ථය

විදාරණය කෙරෙන තවත් එක් දර්පණ තලයකකට වඩා යථාර්ථය නිර්මාණය කරන සහ එය

හැඩගන්වන මිටියක් ලෙස ය. මෙම සන්දර්භය තුළ වැන් ගෝ ගේ කලා නිර්මාණ තුළින් ද අපට

නිරූපණය කරන්නේ සිය මනස සමග ඇතිකර ගත් ගැඹුරු මනෝවිද්‍යාත්මක සටනක තවත් එක්

ස්වරූපයක් ලෙසයි. මෙලෙස ජීවිතයේ ඉරා අඳුරු පට අතර සක්මන් කරමින්,  ඔහුගේ කටුක ජීවිතය තළ

වූ සිය ආත්මය සෙවීමේ කර්තව්‍යය, සිය කලා නිර්මාණ වල ඉතිරි කර ඇති බව අපට දක්නට ලැබේ.

වැන් ගෝ ඔහුගේ ජීවිත කාලය තුළම කලාකරුවෙකු ලෙස සිය අනන්‍යතාව තහවුරු කරගෙන ඇතත්

බැලූ බැල්මට පෙනී යන්නේ ඔහු බොහෝ විට දරිද්‍රතාවයෙන් ද බැට කමින් ජීවත් වූ බවයි. ඔහුගේ

ප්‍රසිද්ධ තෙල් සායම් සිතුවමක් වන "The Potato Eaters" මගින් සිත්තරුවෙකු අත්විඳින එම

දුප්පත්කම සහ අසරණකම ඉතා මැනවින් නිරූපණය කරයි. ඔහු ගෙවූ ඛේදනීය ජීවිතය සාරාංශගත

කළහොත් අපට ඉන්  දැක ගත හැකි ප්‍රධාන හැරවුම් ලක්ෂයන් අතර විධිමත් අධ්‍යාපනයෙන් ඔහු

ඉක්මනින්ම ඉවත්වීම, සිය ජීවිත කාලය තුළ වාණිජමය වශයෙන් සාර්ථක වූ කලාකරුවෙකු නොවීම,

පුද්ගලික දිවිය සහ පවුල් සබඳතා වල ඇති වූ දුර්වලතා, සහ අධික ලෙස මත්පැන්  සහ දුම් පානයට ඔහු

නැඹුරු වීම මගින් ඔහුගේ සෞඛ්‍යය අයහපත් අතට හැරී තිබූ අයුරු දක්නට ලැබේ.

වැන් ගෝ ගේ මෙම ව්‍යක්තික කලාව එහි වූ බලගතුමය සහ චිත්තවේගීය ශෛලිය මගින් නිර්වචනය

කල හැකිය. වැන්ගෝ වරක් මෙසේ පැවසීය: "අපි අපගේ මුළු ජීවිතයම ගත කරන්නේ අපගේ සිතුවිලි

වචන ආධාරයෙන් ප්‍රකාශ කිරීමේ කලාවේ අවිඥානික අභ්‍යාසවල ය." ඔහු මිනිසා සහ මිනිස්

ස්වභාවය අතර ඇති අරගලය, යථාර්ථය සහ ඔහුගේ අවිඥානික මානසික ගැටුම්  තම නිර්මාණ හරහා

නිරූපනය කිරීමට සමත් විය. 

ඔහු තම අභ්‍යන්තර මනස සමඟ නිතරම සටන් කළේය. මෙම ස්වභාවය ඔහුගේ චිත්‍ර හරහා ද

නිරීක්ෂණය විය. විටෙක ඔහුගේ වර්ණවල වූ තීව්‍රතාවය නැති වී ගොස් ඇත. තවත් විටෙක ඔහුගේ

රේඛා නොසන්සුන් විය. ඔහු ඝන ස්ථර අතර වඩාත් ප්‍රචණ්ඩ ලෙස සායම් ගැල්වීය. ඒ අතර වැන් ගෝ

පෙළුන දැඩි ආතතිය හේතුවෙන් නිර්මාණකරණයේ දී ඔහු නිරායාසයෙන්ම සොබාදහමේ වස්තූන් වෙත

ඇදී ගියේය. භ්‍රමණය වන හිරු, ඇඹරී ගිය සයිප්‍රස් ගස් සහ උල් වූ කඳු මුදුන් ආදී රූපක  වැන් ගෝ ගේ

මානසික ගැටුම්වලින් පිරී තිබුණ ඔහුගේ ජීවිතය නිරූපනය කරමින් වඩාත් ප්‍රචණ්ඩ ලෙස මතු විය.

එතුළින් The Reaper, Cypresses, The Red Vineyard සහ ඔහුගේ සුප්‍රසිද්ධ Starry Night වැනි

විශිෂ්ට ගණයේ නිර්මාණයන් බිහි විය.

Starry Night (1889) සිතුවම ගත් කල එහි මුළු ලෝකයම වෘත්තාකාර චලනයන් මගින් ගිලී ගොස් ඇති

බව පෙනේ.  ඊටත් වඩා Starry Night යනු වැන් ගෝ ගේ ජීවිතය මැනවින්ම විදහා දක්වන චිත්‍රය

බවට සැකයක් නැත. එය ඔහුගේ වඩාත්ම ජනප්‍රිය නිර්මාණය සහ ඉතිහාසයේ වඩාත් බලපෑම් ඇති

කළ  චිත්‍රයක් ලෙස ද නම් කළ හැක. අහසේ කැරකෙන රේඛා ඔහුගේ මානසික තත්වයේ නිරූපණයකි.

එය ඔහුගේ ආත්මීය ප්‍රකාශනය ප්‍රතිමූර්තිමත් කරයි. වින්සන්ට් වැන් ගෝ වරක් මෙසේ පවසයි "මා

සෑම විටකම පාපොච්චාරණය කරන්නේ ඇයිදැයි මම නොදනිමි, නමුත් තරු දෙස බැලීමට මම සැමවිටම

සිහින දකිමි." දුක්ඛිත මෙන්ම ඉතාමත් පාළු ජීවිතයක් ගත කළ ඔහු මෙම දුක් වේදනාවන් කලාත්මක

ලෙස පින්තාරු කරන ලදී. එය කෙතරම්ද යත් වින්සන්ට්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රයත්නයන් පවා

ඔහුගේ අවසන් සිතුවම්වල නිරූපණය කර තිබේ. ඔහු අඳුරු සහ කුණාටු සහිත අහස යට විශාල තිරිඟු

කෙත්වල පින්තාරු කරමින් “මාගේ සම්පූර්ණ දුක සහ අධික තනිකම මෙහි ප්‍රකාශ කිරීම අපහසු

නැත”  කියා කීවේය.  ඔහුගේ අවසන් චිත්‍රවලින් එකක් වන Wheat Field With Crows, කළු

කුරුල්ලෝ තරු නැති අහසක පියාසර කරති. එමගින් ඔහුගේ හදවතේ පැවති හිස් බව මනා ලෙස අර්ථ

දැක්විය හැකිය

නිවහනක් නොමැතිව ගෙවූ රස්තියාදු ජීවන රටාව, කාන්තාවන් සමඟ පැවැත්වූ සබඳතාවල

අසාර්ථකත්වය, මනෝ ව්‍යාකූලතාවන්, සිය මිත්‍රයා සමග වූ අමනාපනම් සහ බංකොළොත් භාවයට

පත්වීම වැනි තත්වයන් වැන් ගෝ සියදිවි නසාගැනීමට පෙළඹවූ මානසිකත්වය තව තවත් තියුණු

කළේය. කෙසේ වෙතත්, ඔහු දිගටම මානසික ආබාධයකින් පෙළුණි.  1890 ජූලි 27 වන දින වැන්ගෝ සිය

පපුවට වෙඩි තබා ගත්තේය.  ඉන් දින දෙකකට පසු, එනම් තම වයස අවුරුදු 37 දී ඔහු මිය ගියේය.

කෙසේ වෙතත්, ඔහුගේ සිතුවම් නිර්මාණ එතැන් පටන් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය හා වටිනා ඒවා

බවට පත් විය. අද වන විට, වැන්ගෝ යනු  යුගයේ විසූ විශිෂ්ටතම කලාකරුවන්ගෙන් කෙනෙකු ලෙස

සැලකේ.

මානසික ආබාධයකට ගොදුරු වුවද වින්සන්ට් මිය යන තුරුම අතිශය නිර්මාණශීලී විය. ඔහු ජීවත් වූයේ

කෙටි කාලයක් වුවද ඔහුගේ සිතුවම් නිර්මාණ පසුකාලීන පරම්පරාවේ කලාකරුවන් කෙරෙහි ද ප්‍රබල

බලපෑමක් ඇති කර ඇති අතර, එය අදටත් මිනිසුන්ව විශ්මයට පත් කරයි.  ඇම්ස්ටර්ඩෑම් හි වැන්ගෝ

කෞතුකාගාරය ලෝකයේ වඩාත්ම ජනප්‍රිය කෞතුකාගාරවලින් එකක් වන අතර වැන්ගෝගේ

විශාලතම සිතුවම් සහ චිත්‍ර එකතුව එහි ප්‍රදර්ශනය කර ඇත.

සුප්‍රසිද්ධ ලන්දේසි චිත්‍ර ශිල්පියෙකු වන වින්සන්ට් වැන් ගෝ ගේ ජීවිත කතාව ඇසුරින් Irving Stone

විසින් 1934 දී ‘Lust for life’ නමින් චරිතපදාන නවකථාවක් රචනා කර ඇත. තවද Don McLean ගේ

ජනප්‍රිය ගීතයක් වන Vincent (Starry, Starry Night) හි ගී පද  වැන් ගෝ  ගේ සැබෑ කතාන්දරය

නැවත නැවතත් රසිකයන්ගේ හදවත් අතර ජීවත්  කරවයි. ඔහු චිත්‍ර කලාවට ප්‍රිය කළත් ඔහු

ඔහුගේ සිතුවම්වලට නම්  කිසිදා ආදරය නොකළ බවක් පෙනී යයි. වැන් ගෝ  අකාලයේ මිය ගියද

වැන්ගෝ යුරෝපයේ විසූ  විශිෂ්ටතම කලාකරුවෙකු ලෙස නමක් දිනාගෙන තිබේ. එහෙත් තම ජීවිත

කාලය තුළ ඒවායේ සාර්ථකත්වය දැක ගැනීමට ඔහුට නොහැකි විය. ඇතැම් කලාකරුවන්ගේ ජීවිත සේම

එය වැන් ගෝ ගේ ජීවිතයේ ද සිදු වූ විශාලතම ඛේදවාචකයයි.

මොහොමඩ් මිනාස්