ජාති කුල ආගම් දුප්පත් පොහොසත් ආදී භේද පසෙක තබා බැලීමේදි කවුරුත් තම ජීවිතයේ අතීතයේ තිබුණු ශාන්ත, නිවුනු දවස් ගැන කතා කරති. එම දවස් නැවත නොඑන බව සිතා දුක් වෙති. එහෙත් බුද්ධ දේශනාව අනුව එම දවස් අතීතයේ කොටසක් ලෙස සැළකීම නොකළ යුතුය. අතීතය බවට පත්වන්නේ වර්තමානය සහ අනාගතයම ය. හැල්සියන් දවස් නැවතත් අත්දැකීමට ඔබට හැකිය. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ආකල්පමය ප්‍රයෝගයක් හෙවත් attitudinal shift ය.
ධම්මපදයේ 76 වෙනි ගාථාවෙන් බුදුරජාණන්වහන්සේ විසින් පෙන්වාදෙනු ලබන්නේ ඒ සඳහා ගුණාංග තුනකින් යුතු පුද්ගලයන් ඇසුරු කළයුතු බවය. එම ගුණාංග මෙසේය:
1. නිධානයක් ඇති තැනක් පෙන්වාදෙන කෙනෙකු මෙන් ජීවිතයට මග පෙන්වීම (නිධීනං’ව පවත්තාරං)
2. ඔබේ වරද දුටු තැන පෙන්වා දිම (යං පස්සේ වජ්ජ දස්සිනං)
3. ඔබව ධනාත්මකව විවේචනය කිරීම (නිග්ගය්ය වාදීං මේධාවිං)
ඔබට කුඩා කල මව්පියන් ගුරුවරුන් මනා ජීවිතයට මඟ පෙන්නූවිට ඔබ ඔවුන් සමඟ අමනාපයට පත් වන්නට ඇත. එහෙත් ඔබ අද ඒ ළමා කාලය දකින්නේ සොඳුරු නිවුනු දවස් ලෙසය. ඒ ජීවිතයේ හැල්සියන් දවස් ය. ඔබව ආර්ථිකව සහ සදාචාරයෙන් වල පල්ලට ගෙන යන ඊනියා මිතුරන් සහ නෑයන්ගෙන් ඉවත්වීමෙන් නැවතත් හැල්සියන් දවස් උදාකර ගත හැකිය. ඔබ සුන්දර යැයි සිතන අය ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් ඔබව පාවිච්චි කරනවා විය හැකිය. සැබෑ නිදන් පෙන්නන්නා අමාරුවෙන් උපයාගත් මුදල විනාශ කිරීමට මඟ පෙන්වන්නා නොව මුදල් විනාශය වළක්වා ගැනීමට මග පෙන්වන්නා ය.
බොහෝ අය තමන්ට වරද පෙන්වා දෙන අය සමඟ අමනාප වෙති. එහෙත් ඔබේ වරද සාධාරණීකරණය කරන අය මී පැණි ලෙස ඔබ සිතන්නට පෙළඹීම විය හැක්කකි. ඔබ ගරු කළ යුත්තේ එබඳු මාරයන්ට නොව ආදරය නිසා අවංකව රළු වචනයෙන් හෝ ඔබේ වැරදි පෙන්වාදෙන අයට ය.
බොහෝ අය ධනාත්මක විවේචනය (constructive criticism) නුරුස්සති. එහෙත් බොරුවට වර්ණනා කරන අයට ආදරය කරති. Constructive criticism අපේ ජීවිතයට අවශ්‍ය ය.
ඉහත ගුණාංගත්‍රයයෙන් යුතු අය ඇසුරු කිරීමෙන් ඔබට නැවතත් හැල්සියන් දවස් නැවතත් උදාකර ගැනීමට හැකිය. ඒ සඳහා නව වසරේ මුල් දිනයේ සිටම ඉහළ ගුණාංගත්‍රයෙන් යුතු අය ඇසුරු කරමින් ජීවන රටාවේ වෙනසක් (lifestyle change) සඳහා අවතීර්ණ වෙන්න.
-ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි