ලක් මෑණිට ජය ගෙනෙන්න වරෙන් ගුරා
අණසක පතුරවමු අපි දෙන්නා පිටිය පුරා
මේ පිත්තෙන් නෙළනවා අද වගකීම දරා
පර සුද්දනි තොපි දැනගව් මමයි අරා
1996 මාර්තු 17 කියන්නේ ලංකාවට නිදහස ලැබුණ දිනය වගේ මතකයේ රැඳුණ තවත් දිනයක්.. මේක ලියන මම එතකොට හිටියේ හයේ පංතියේ..දැන් වගේ නෙවෙයි ඉස්සර දකින දකින තැන කතා කළේ ක්‍රිකට් ගැන. ඒ කාලේ අද වගේ තාක්ෂණය දියුණු නැති නිසා score එක බලන්නවත් ජංගම දුරකථනයක් අතේ තිබුනේ නෑ. නමුත් එසේ කියා ගැටලුවක් නොවූයේ මැච් එකක් තියෙන දවසට පාරට බැස්ස වෙලේ ඉඳලා අඩියෙන් අඩියට score එක දැනගන්න පුළුවන් වුණ නිසා. ඒ Singer, Abans showrooms වලට සහ ස්වීප් ටිකට් විකුණපු මහත්තුරුන්ට පිං සිද්ධ වෙන්නටය. අපේ ගෙදර..ඒක වෙනමම ආතල් එකක්..තාත්තා මුලසුන හොබවන එහි ක්‍රිකට් විස්තර විචාරක අට්ටාලයක සිට මැච් එක බලන අත්දැකීමක් හා සමය. තාත්තාට ක්‍රිකට් කිව්වොත් ඉතින් වෙන දෙයක් අවැසි නැත.
” මාගේ මතකය දිව යනවා එදා පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංඟනයේ අරවින්ද ද සිල්වා දියත් කළ මනරම් පිතිහරඹය වෙත..” 1996 න් පසුව පැවති සෑම මැච් එකකම පාහේ පේමසර ඈපාසිංහ නම් වූ අද්විතීය නිවේදක මහතාගෙන් ඇසුණ සුන්දර වාක්‍ය කොටසක් තමයි ඒ.. කොහොමෙන් කොහොමහරි 96 ලෝක කුසලානය දිනන එක තමයි අපිට තිබුන ලොකුම දේ..කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස්හී ඉන්දියාවත් එක්ක ගහපු සෙමියේ ආතල් එක පස්සේ කාලෙක ලැබුණා නම් ලැබුනේ 2014 T20 ලෝක කුසලානයේ නවසීලන්ත මැච් එකේදී විතරයි. ඊඩ්න් ගාඩ්න්ස් මැච් එකේ අරවින්දගේ ඉනිම දියත් කරන්න ඔහු පිටියට ආවේ හරියට මහා යෝධයෙක් විලසටය. ජවගල් ශ්‍රීනාත්ටයි, වෙන්කටේෂ් ප්‍රසාද්ටයි අනිල් කුම්ලෙටයි පහර පිට පහර ගැහුවේ උන් හිටි තැන් අමතක වෙන්නටය. විකට් දෙකක් වැටිලා තියෙන වෙලාවක බෝල 47කින් ගහපු ඒ ලකුණු 66 ඇත්තටම අමතක කරන්නම බැරි වුණේ බලන් ඉන්න අපිට හිතුනේ අරවින්ද ගහන්නේ නිකං හරියට ” දාපන් ඕන බෝලයක් මම ගහනවා පැලෙන්න ” වගේ හින්ඳා. ගෙදර රූප පෙට්ටියේ එක බෝලයක්වත් මිස් නොකර බලන් ඉන්න අපිට ඒ ගැහිල්ල තව තවත් ආශ්වාදජනකව දැනුනේ මේ ගහන්නේ ඉන්දියාවටනේ කියලා මතක්වෙද්දි. ඒ ලකුණු 66 ඇතුලේ විල්ස් ලෝක කුසලානයේ බලාපොරොත්තුව රැඳුනා. අමන්දානන්දයට පත්වෙලා හිටපු ඉන්දීය ප්‍රේක්ෂකයෝ ඉකි ගගහා අඬන තත්ත්වයටත්, විනෝද් කම්බ්ලිලාගේ ගෙවල් උමතු වූ ප්‍රේක්ෂකයන් ගිනි තියන තත්ත්වයකටත් පත් කරන්න අරවින්දගේ ඒ ඉනිම දැඩි බලපෑමක් කළා කිව්වොත් නිවැරදියි.
ඔන්න පුතේ ලක් ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන අවසන් මහා තරඟයකට අපි එනවා. අස්සක් මුල්ලක් නෑර සියලුම ශ්‍රී ලාංකිකයෝ එකම බලාපොරොත්තුවකට රොඳ බැඳ ගත්තේ හිත් වල මරණ බයත් තියාගෙන. ඒ කාලේ යුද්ධයකින් බැට කන අපිට ක්‍රිකට් කියන්නේ හිත නිවන භාවනාවක් වගේ. හිතේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න අමතක කරන්න පුළුවන් අමුතුම දෙයක් ඒ කාලේ ක්‍රිකට් වල තිබුණා. මහා ප්‍රතාපවත් නායකයෙක් එක්ක ගඩාෆි පිටියට බැස්ස අපේ කොල්ලෝ සුද්දන්ව හොල්මන් කරනවා.
තම්බපු කඩල ටිකකුයි, උලුප්පපු පොල් කෑලි ටිකකුයි සූදානම් කරගෙන අපේ ගෙදර ඔක්කොම ටීවි එක ඉස්සරහින් වාඩි වුණේ කිසිදා ජීවිතයේ දෙවරක් දකින්න නොලැබෙන අත්දැකීමකට සාක්ෂිකරුවන් වීමේ අටියෙනි. විටින් විට අම්මාගෙන් ලද තේ පැන් සංග්‍රහයෙන් නව ජීවයක් ලද තාත්තා සහ මම අපේ කොල්ලන්ට චියර් එක දුන්නේ මහ හයියෙන් කෑ ගසමින් සහ අත්පුඩි තලමින් ය. තම්බාගත් කඩල ඇටයක් කටට දාගන්නටත් පෙරාතුව නොසිතූ ලෙස සනා සහ කලූගේ දැවීයාම් තුලින් බලාපොරොත්තු සුන් වූ අපි අරවින්දගේ පැමිණීම ගැන දැඩි අවධානයෙන් බලාසිටියේ අප සතුව සිටි එකම ගැලවුම්කාරයා ඔහු වූ බැවිනි. මේ දිනවල සමාජජාලාවල ඇති අරවින්දගේ පහත සඳහන් ඡායාරූපය දුටු විගස මෙකී මතකයන් යළි ආවර්ජනය වූ බව කිව යුතුමය. මුළු කණ්ඩායමේම බර තම දෙඋර මතට ගත් අරවින්ද ගුරාද කැටුව සුද්දන්ට එළව එළවා ගැහුවේ එවකට ක්‍රිකට් පිටියේ රඟ දැක්වූ ශේන් වෝන්ලාට, ග්ලෙන් මැග්‍රාත්ලාට, ඩේමියන් ෆ්ලෙමින්ලාට අම්මා මුත්තා සිහිගැන්වෙන ආකාරයටය. නිරන්තරව ක්‍රීඩා කරන්නට මැච් ලැබුන සචින්ලාව ගවස්කාර්ලාව ඉන්දියානුවන් දේවත්වයෙන් සැලකූ නමුදු එවකට ඉන්දියානු කණ්ඩායමට අරවින්ද ක්‍රීඩා කළා නම් සචින්ලා ගවස්කාර්ලා යනු සිප්පි කටු බඳුය. අතිශය දුෂ්කර කාලපරිච්ඡේදයන් පසුකරමින් අද තිබෙන තත්ත්වයට ක්‍රිකට් ගෙන ඒමට වෙන කවුරුත් නොව අරවින්දලාගේ දායකත්වයම අතිවිශාලය.
1996 ලෝක කුසලානය ජයගත් පසු අරවින්ද අයියා සහ හෂාන් අයියා පිලිගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පිලිගැනීමේ උත්සවයක් සංවිධානය වුණා. එහිදී අප පාසලේ නිර්මාතෘ දිවංගත ආර්. අයි. ටී. අලස් ගුරුපියාණන් හරිම රසවත් තොරතුරක් හෙළි කරනවා. සර් මෙහෙම කියනවා. එදා මාර්තු 17 රෑ ඕස්ට්‍රේලියා ඉනිම ඉවර වුණාට පසුව මම අරවින්ද පුතාට දුරකථනයෙන් කතා කළා.
පුතා අරවින්ද.. උඹ තමයි අපේ බලාපොරොත්තුව..උඹ තමයි ලෝක කුසලානේ අරගෙන එන්න ඕන. උඹේ උරහිසේ තමයි වගකීම තියෙන්නේ..
සර්..සර් බයවෙන්න එපා.. මම මගේ රටට කුසලානය ගේනවා.. අද මම හොඳට සෙල්ලම් කරලා මගේ වගකීම මම අකුරටම ඉටු කරනවා සර්..
එතෙක් වේලා ගිනි අව්වේ පිට්ටනිය මැද්දෙ දූවිලි කකා උත්සව කටයුතු දෙස බලාගෙන හිටපු මා ඇතුළු දහස් ගණනක් ඩී. එස් කොල්ලෝ සර්ගේ ඒ වචන ටිකෙන් ප්‍රිතියෙන් ඉපිලව ඔල්වරසන් දෙන්නට වූහ. අරවින්ද කියන්නේ ලෝක ක්‍රිකට් වංශකතාවේ පතාක යෝධයෙක් කියලා මට එදා හිතුණා.
ක්‍රීඩාව වෙනුවෙන් අසීමිත කැපවීම, අධිෂ්ඨානය සහ තමන් කරන කාර්ය පිළිබඳ විශ්වාසය අරවින්දගෙන් සහ එවකට සිටි සෙසු ක්‍රීඩකයන්ගෙන් පිළිබිඹු වූහ. මේ තොරතුරු සමාජගත කරන්නේ හුදෙක්ම වත්මන් දරුවෝ, තරුණයෝ මේ ඉතිහාසය ගැන දැන සිටිය යුතුම බැවිනි. අරවින්ද වැනි ක්‍රිකට් වංශකතාවේ පතාක යෝධයෙක් ක්‍රීඩා කරන සැටි සියැසින් දැකබලා ගැනීමට තරම් අපි වාසනාවන්ත විය.
චරිත් විජේමාන්න – චරියාගේ පන්හිඳ