කෘතිය ගැන
පුංචි දඟකාර කෙල්ලෙක් අම්මගෙයි අප්පච්චිගෙයි තුරුලෙන් මිදිලා ජීවිතේ අනාගතය ගොඩ නගා ගන්න තමන් දැකපු ලස්සනම හීනය වෙච්චි සරසවියට පා තියන්න මග බලා ගෙන හිටියා. ඒ හීනය හැබෑවක් වෙලා ඇය මහ ගොඩක් සතුටින් සරසවි ජීවිතේට පිවිසෙනවා. සරසවිය රසවිය සවිය විය කියන කියමන ඇත්තක් කරමින් ඇගේ ජීවිතේ සරසවිය ඇතුලේ හරි අපූරුවට ගලා ගෙන යනවා. ඇගේ කතාව වන්නි අහසක අකීකරු සුළඟක පා වෙලා කොහොම ගෙතේවිද කියලා ඇයවත් දැනගෙන හිටියේ නෑ. ඉතින් මේ ඇයවත් නොදැන සිටි ඇගේ කතාවයි. මේ ලෝරාගේ කතාවයි.
සිංහල, දෙමළ, මුස්ලිම් විදියට ජාති භේද වලට බෙදිලා හිත්වල තරහව වෛරය පුරවගෙන සමහර තැන්වලදී රණ්ඩු සරුවල් වෙන්න සමාජයෙ බොහෝ අය උත්සහ කරනවා. ඒත් ඇත්තටම විවිධ සංස්කෘතික ජාතීන් අතර තියෙන වෛර්ණ සුන්දර සංස්කෘතිය රසවිඳින්න පුළුවන් මානසික මට්ටමක් අපිට තියෙන්න ඕන නේද? මේ අපි හැමෝගෙම ඇග ඇතුලේ තියෙන්නේ එකම පාටක රුධිරය මිස වෙනස් පාටක රුධිරය නෙවෙයි නේද? මනුෂ්‍යත්වය මිසක අපි හැමෝටම අවශ්‍ය වෙන කිසිවක් නොමැති බව ලෝරාට වැටහෙන්න ඇය දැකපු සිදුවීම් බොහොමයක් හේතු වෙනවා.
ආදරය, කරුණාව, සෙනෙහස, විස්වාසය කියන දේවල් පවුලක් ඇතුලේ ගොඩ නැගෙන එක හරිම වැදගත් දෙයක්. ඒ ගොඩනැගීම් අඹුසැමි සබඳතවලට වගේම දරුවන්ගේ මානසික කායික අධ්‍යාත්මික සුවය උදෙසා මූලික වෙනවා. දරුවෝ කොච්චර උස්මහත් වෙලා වයසින් වැඩුනත් අම්මගෙයි තාත්තගෙයි ප්‍රශ්න මැද දරුවෙක්ට මැදි වෙන්න වුනොත් කොහොම වෙයිද කියලා ලෝරාටවත් හිතා ගන්න ඇත්තටම නොහැකි වෙන්න ඇති.
කැම්පස් එකක් ඇතුලේ සරසවි සහෝදරකම ගැන හරියටම තේරුම් ගන්න සතුටකට වඩා කරදරයක්ම වෙන්න ඔන. හැමෝම එකා වගෙ තව කෙනෙක් වෙනුවෙන් කරදරේකදී දුකකදි ළඟ ඉන්නෙ හරියට එකම අම්මා තාත්තගේ දරුවෝ වගේ.
කාලය ගෙවෙන කොට ලෝරාට ඇගේම කියලා ආදර කතාවක් සමාජ මාධ්‍යයකින් ගොඩ නැගෙනවා. ඇත්තටම ඒක කොහොම කතාවක් වෙයිද? මේ ආදරයට ලෝරාගේ වගේම ඔහුගේ ගෙදරින් කැමැති වෙයිද ? ඒ ගැන දැන ගන්න ලෝරා කියවන්නම වෙනවා.
සමාජෙ සිදුවෙන මෙවැනි බොහොමයක් සිදුවීම් වලට මුහුණ දෙන්න වගේම අහන්න දකින්නත් ලෝරාට සිද්ද වෙනවා.
ඒ සිදුවීම් නිසාවෙන් ඇය ජීවිතේ ගැන හිතන්න පටන් ගන්නෙ මනුෂ්‍යත්වය හදවතේ තියාගෙනයි.
………………………………………………….
කතෘ ගැන
මගේ නම ලක්මි දිනූෂා ද කාංචනා. මේ වෙන කොට මම යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ සිව් වන වසරේ ශිෂ්‍යාවක් විදියට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගෞරව උපාධියක් හදාරමින් ඉන්නවා. කුලියාපිටිය සුරදුත බාලිකා විදුහලෙන් හා කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබුවා. Institute of Media and Performing Arts – IMPAS ආයතනයෙන් “රූපවාහිනි සහ ගුවන්විදුලි නිවේදන” පාඨමාලාවක් හදාරනවා.
මාධ්‍යවේදී ප්‍රේමසිරි වැවේගෙදර ගුරුපියාගේ සහ චන්ද්‍රසිරි විජේසිංහ ගුරුපියාගේ මග පෙන්වීමත් සමඟ මුද්‍රිත ලේඛනයට පිවිසෙනවා. ඒ හරහා අඟහරු ජීවියා, මුව පැටියා, සෙල්ලම් ගෙදර වැනි ළමා කතා මුද්‍රණය කිරීමට හැකි වෙනවා.
එසේම කිවිඳියක් ලෙස දක්ෂතා ඔප මට්ටම් කර ගත්තෙ රැස , නවලිය , රැජිණ රාවය වගේම ලංකාදීප , දිවයින , මව්බිම වගේ පුවත්පත්වලින් .