(Thalapoorna School of SriLankan Dance)
නර්ථනය වූ කලී ශරීරය මූලික කොට, ශරීරය මාධ්‍යය කොටගනිමින්, ශාරීරික, මානසික, ශක්ති විභවයන්ගේ ඒකමතික සුසංයෝගයෙන් ශරීරයෙන් හටගන්නා කලාවයි. සන්නිවේදනය සදහා ශරීරය උපයෝගීකොට ගැනීම නර්තනය ලෙස දැක්විය හැකිය.
කාළගුණික දේශගුණික තත්වයන් අනුව ලෝකයේ සෑම රටකම පාහේ ඒ ඒ පරිසර තත්වයනට අනුකූලවන පරිදි ගොඩනගා ගත් විවිධ නර්තන සංස්කෘතීන් දැකිය හැකිය. ඒවා ඒ ඒ එක් එක් රටවල සංස්කෘතික හැඩය ගනී.
වසර 2500 කටත් එපිට ඉතිහාසයකට උරුම ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකාව එම භූමියටම ආවේණික විචිත්‍රවත්වූ සංස්කෘතික විවිධත්වයෙන් අපූරු දේශීය නර්තන කලාවක නිජබිමකි.
උඩරට,පහතරට,සබරගමු වශයෙන් දේශීය නර්තන කලාවන් ත්‍රයක් ඈත අතීතයේ සිටම පෝෂණය වෙමින් පැවත එන අතර එය ලෝකය හමුවේ දිගහැරෙන්නේ ප්‍රේක්ශකයන් අමන්දානන්දයට පත්කරවමිනි.
රටක සංස්කෘතිය මනාව ගෙනහැරපාන්නේ ඒ රටේ පවතින කලාවන්ගෙනි. සංස්කෘතිය කෙරෙහි ලොබ බදින්නන් කලාව ඇසුරු කරන්නට අමතක නොකරති.
තම මාතෘ භූමියෙන් පිටතට පැමිණියත් තම භූමියට, සංස්කෘතියට ලොබ බදින හෙළ දරුවන් අපේ කලාවන් රැකීමටත් ඒවා ඇසුරු කිරීමටත් නොපසුබසිති. ශාරීරික, මානසික, නිදහස්බව, ලිහිල්බව නිරායසයෙන්ම ලගා කරගැනීමට එකී කලාවන් ඇසුරු කිරීමෙන් හැකිවනු ඇත.
දේශීයත්වය තව තවත් ඔසවා තබන්නටත්, අපේ කලාවන් අගය ලොව වෙත ගෙනයාමටත්, දරුවන්ගේ ශාරීරික, මානසික, චිත්තවේගීය නිව්‍යාජ නිදහස උදාකරලීමටත් අදිටන් ඇතිව 2025 අප්‍රේල් 05 වන දින තාලපූරණ නර්තන පාසල මගින් Alder Hey ළමා රෝහලට ආධාර පිණිස මහා සංස්කෘතික සංදර්ශනයක්/ නර්තන පෙළහරක් පෑමට ලහි ලහියේ මේ දිනවල සූදානම් වෙමින් පවතී.
40 කට ආසන්න සිසු පිරිසක් ඒකරාශී කරගනිමින්, ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරයේ වසර දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ, නොමිළයේ පවත්වාගෙන යනු ලැබූ තාලපූර්ණ නර්තන පාසල (Thalapoorna School of SriLankan Dance) ඇකඩමියෙහි පළමු නර්තන සංදර්ශනය 2025 අප්‍රේල් මස 05 වන දින ලිවර්පූල් Light House හීදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලාංකේය පරිසරය තුළ දේශීය නර්තනය හදාරන දරුවෙකුත්, බ්‍රිතාන්‍ය පරිසරය තුල ශ්‍රී ලාංකේය නර්තනය හදාරන දරුවෙකුත් ඉදුරාම වෙනස් වේ. එහිදී අරමුණෙහි පටන් බොහෝ විවිධතා හටගනී. බොහෝවිට බ්‍රිතාන්‍ය පරිසරය තුල හැදී වැඩෙන දරුවෙකුට සම්විටෙක තම මව්බස කතාකිරීමට පවා අපහසු අවස්ථා ඇත. සම්විටෙක සංස්කෘතිය පිළිබද කිසිදු අල්පමාත්‍රයක දැනුවත්බාවයක් නොමැතිබවද වියහැකිය. නමුත් තම දේශයට මෙන්ම එකී කලාවන්ට ඇති ආදරය, ඇල්ම, එකී අපහසුතා අභිබවා නැගී සිටින්නේය.
එලෙස තම දේශයට ඇති ලැදියාව හා සෙනෙහස පෙරදැරි කරගනිමින් ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන කලාව හා නිර්මාණාත්මක නර්තන කලාවන් තාලපූර්ණ නර්තන පාසලේ දරුවන් විසින් හදාරනු ලබයි.
නර්තනය වූ කලී සුසමාහිත පෞර්ෂයෙන් හෙබි දරුවකු නිර්මාණය කිරීමෙහි ලා ඇති අනගි අවස්තාවකි. දරුවා තුළ කායික,මානසික ශක්තිමත් භාවයක් හා ස්ථීරබාවයක් නර්තනය ඉගෙනුමෙන් හටගනී.
ඉගැන්වීමට වඩා ඉගෙනුම ප්‍රශස්ථය. දරුවාට ඉගැන්වීම නොව ඉගෙනුමට අවස්ථා ඇතිකරලිය යුතුය. ඉගෙනුම තුළින් දරුවා සොයා යන්නටත්, තම අවශ්‍යතා නිවැරදිව හදුනාගන්නටත්, ඒවාට අවශ්‍ය පිළියම් සොයාගන්නටත් පෙළඹේ. වැඩිහිටියන් ලෙස අප කල යුත්තේ දරුවන් ඉගෙනුමට පෙළඹවීමය. ඉගෙනීමේ ආස්වාදජනක බව දරුවා විසින්ම පසක් කරගත් පසු දරුවා ඉගෙනීමට පෙළඹවේ. පෙළඹවීම හඹා යාමට මග පාදයි. අධ්‍යාපන හඹායන දරුවා තම ඉලක්ක වෙත පහසුවෙන් ලගා වේ. එහිදී දරුවන් ජීවත්වෙමින් උගනී. මිනිසා ජීවත්වීමට ඉගෙනීම මිසක, ඉගෙනීම සදහා ජීවත් නොවේ.
දරුවනට තම සාමාජීය, අධ්‍යාපනික කටයුතුවලදී දැනෙන විඩාබර බව ලිහිල් කිරීම සදහා උචිතම පියවර වන්නේ දරුවන් සෞන්දර්‍යාත්මක හෝ ක්‍රීඩාමය කටයුතු සදහා යොමු කිරීමය. එහිදී දරුවන් එකී විශයන් තම කැමැත්තෙන් අධ්‍යනය කිරීම තුළ, දරුවන් ශාරීරික, මානසික තෘප්තිමත්බාවයට පත්වේ. සෞන්දර්‍යාත්මක විශයන් හැදෑරීමෙන් වින්දනාත්මක් ක්ෂේත්‍රය දරුවන් තුළ වඩාත් හොදින් වර්ධනය වන අතර එමගින් ජීවිතයේ බොහෝ අවස්තාවලදී එය සිසිලසක් ගෙනදෙන්නක් බවට පත්වේ.
නර්තනය යන විශය බොහෝ විශයයන්වල එකතුවෙන් සකස් කෙරුණකී. නර්තනය කරනු ලබන්නේ පිරිසක් හමුවේය. එබැවින් තමා තුළ තමා වෙනුවෙන් නැගී සිටීමට මානසික, ශාරීරික ස්ථීර ශක්තියක් අවශ්‍යය. ශරීරය එකවර නිසිලෙස හැසිරවිය යුතුය. සුන්දර, අසුන්දර බව පිළිබද මිනුමක් තිබිය යුතුය. ශාරීරික නිරෝගි බව, මානසික නිරවුල් බව, ප්‍රියමනාප බව, නිවැරදි හැගීම් ප්‍රකාශන ශක්තිය, එඩිතර බව, නිසිබව, විවිධත්වය, ඇගැයීම, තර්කනය, කඩිසර බව, දරාසිටීම, වැනි බොහෝ ශක්තීන් නර්තනය හදාරන දරුවකු තුළ ක්‍රමයෙන් මෝරා වැඩෙයි. එබැවින්ම නර්තනය හැදෑරිය යුත්තේ නැට්ටුවෙකු වන්නටම පමණක් නොව එය එක් පැතිකඩක් පමණී. එය සෑම කෙනෙකුම හැදෑරිය යුත්තේ එමගින් එම විෂය තුළ පවතින විපුලතා හදුනාගෙන එය ජීවිතයට ලගා කරගනිමින් ජීවිත ජයග්‍රහණයට උරදීමටය.
තාල පූර්ණ නර්තන පාසලේ පුංචි දරු දැරියන් අවුරුදු 3 සිට මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දරු දැරියන්ද අධ්‍යාපනය ලබන අතර අපගේ එකම අරමුණ නර්තකයන් බිහිකිරීමම පමණක් නොව, තම සංස්කෘතිය හා කලාවන් පිළිබද දරුවන්ගේ දැනුම වර්ධනය හා දරුවන්ගේ කුසලතා සංවර්ධනය කරමින් නිවැරදි ආකල්ප වලින් පිරිපුන්, කායික හා මානසික වශයෙන් සුවපත් දරුවකු බිහිකිරීමය. කායික හා මානසික ශක්තීන්ගේ එකමුතුවෙන් උපදින නර්තනය ජීවන ගමනට ශක්තිමත් අඩිතාලමක් ලෙස එක්කර දීමය.
2025 “Little Hands – Big Hearts” සංකල්පය පෙරදැරිව තාල පූර්ණ නර්තන ප්‍රසංගය Alder Hey ළමා රෝහලට ආධාර පිණිස පවත්වනු ලබනුයේ ආකල්පමය වශයෙන් දරුවන්ට තවත් පියවරක් ඉදිරියට තබන්නට අත්වැල් සපයමිනි. 2025 අප්‍රේල් 05 වන දිනට යෙදෙන ප්‍රසංගයට පෙරාතුව මාර්තු මස 30 වන දිනට යෙදී තිබෙන ලාංකේය උඩරට නර්තන කලාවේ හිසවෙස් තැබීමේ මංගල්‍යය හා පායිම්පත් තැබීමේ මංගල්‍යය ලාංකේය නර්තන කලාවේ ප්‍රථම මහාචාර්‍යවරයා, මහාචාර්‍ය මුදියන්සේ දිසානායකයන්ගේ සහභාගීවීමෙන් සුභ මොහොතින් සිදු කිරීමට නියමිතය.
ඒ සදහා ඔබ සැමට ගෞරවනීයව ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරය වෙත අරාධනා කෙරේ.
සාම්ප්‍රදායික හිසවෙස් හා පායිම්පත් තැබීමේ මංගල්‍යයක් නැරඹීමට ඔබ සැමට ආරාධනා!!!