Api-Slide-56-1
Api-Slide-56-2
previous arrow
next arrow

3රැජිණගේ නික්මයාමෙන් පසු ලෝකය

වසර 70 ක් පුරා බ්‍රිතාන්‍යයේ රාජ්‍යත්වයේ කිරුළ දැරූ දෙවන එලිසබෙත් මහ රැජිණ පසුගිය සැප්තැම්බර් 8 වන දා අභාවප්‍රාප්ත වුනා. ඒ වන විට 96 වන වියෙහි පසුවූ එලිසබෙත් මහ රැජිණ මිය යාමට දින දෙකකට පෙරදීත් රාජ්‍යයේ ප්‍රධානියා ලෙස සිය වගකීම් ඉටුකරමින් එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරිය මුණගැසී නව රජයක් පිහිටුවන්නට ආරාධනා කලා. එක්සත් රාජධානියේදී සෑම විටකම තේරී පත්වන අග්‍රාමාත්‍යවරයාට රැජිණ හෝ රජු විසින් රජයක් පිහිටුවීමට ආරාධනා කල යුතු වෙනවා.

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය එක්සත් රාජධානියට පමණක් නොව මුළු ලෝකයටම බලපාන එමෙන්ම මුළු ලෝකයම කම්පාකරවන සිදුවීමක් උනා. එලිසබෙත් මහ රැජිණ එක්සත් රාජධානියට අමතරව තවත් රාජ්‍යයන් 15ක රාජ්‍යයේ ප්‍රධානියා හෙවත් රැජිණ ලෙස කටයුතු කල අතර ඊට අමතරව වසර 70 ක් පුරාවටම රටවල් 54කින් සැදි පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙසද කටයුතු කලා. ලොව පුරා ජනාධිපතිවරුන් අගමැතිවරුන් දහස් ගණනක් සිය පාලන කාලයන් තුල රැජිණ සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව ගණුදෙනු කර තිබුනා.

සැප්තැම්බර් 8 වෙනිදා ස්කොට්ලන්තයේ බැල්මරෝ මාලිගයේදී අභාවප්‍රාප්ත වූ රැජිණගේ අවසන් කටයතු සිදුකෙරුනේ පසුගිය සැප්තැම්බර් 19 වනදා එංගලන්තයේ වින්සර් හී පිහිටි වින්සර් මාලිගයේදී. රාජකීය පවුලේ සාමාජිකයන්ගේ භූමිදාන කටයුතු සිදුකෙරෙන රාජකීය සොහොන්ගැඹ පිහිටා ඇත්තේ වින්සර් මාලිගයේය. ඊට අමතරව දෙවන එලිසබෙත් මහ රැජිණ වඩාත් ප්‍රියකරන මෙන්ම අවසාන කාලයේදී ඇයගේ නිළ වාසස්ථානය ලෙස තෝරාගෙන තිබුනේද වින්සර් මාලිගය වේ.

වින්සර් හීදී අවසන් කටයුතු සිදුකිරීමට පෙර ස්කොට්ලන්තයේ සිට ලන්ඩන් නුවරට රැගෙන ආ රාජකීය දේහය දින 6කට අධික කාලයක් බකිංහැම් මාලිගයේත් ඉන්පසුව මහජන ගෞරවය සඳහා වෙස්මින්ස්ටර් ශාලාවේත් තැම්පත් කර තිබුනා. දින හතරහමාරක් පුරාවට රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ දෙකහමාරකට අධික පිරිසක් එකතුවී සිටි බව මාධ්‍ය වාර්තා කරා.

රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවීමට රජ පවුලේ ආරාධනයෙන් ලොව පුරා රටවල රාජ්‍ය නායකයන් හා රජ පවුල් වල සාමාජිකයන් 500 දෙනෙකු ලන්ඩන් නුවරට රැස්ව සිටියා. ශ්‍රි ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහද ඒ අතර උනා. දශක ගණනාවකට පසුව බ්‍රිතාන්‍යය සංවිධානය කරන ලද වැඩිම රාජ්‍ය නායකයන් ප්‍රමාණයක් සහභාගී වූ උත්සවය රැජිණගේ අවමංගල්‍ය නිසාවෙන් එම දින කිහිපය තුල ලන්ඩන් නුවරට පෙර නොවූ විරූ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා තිබුනා.

රැජිණගේ අභාවයත් සමඟම ඇයගේ පුත් චාලස් කුමරු තුන්වන චාල්ස් රජු නමින් රාජ්‍යත්වයට පත්වුනා. රැජිණගේ අභාවය සහ නව රජතුමාගේ පත්වීමත් සමඟ වසර 70ක් පුරා අප මෙතෙක් දැක තිබූ ලෝකයේ බොහෝ දේවල් වෙනස්වීමට නියමිතව තිබෙනවා. සමහර වෙනස්කම් එංගලන්තයට පමණක් බලපාන අතර සමහර වෙනස්කම් මුළු ලෝකයටම බලපානු ඇති.

සමහර වෙනස්කම් එක රැයකින් සිදුවූ අතර සමහර වෙනස්කම් සිදුවීමට දශක කිහිපයක් ගතවනු ඇති.

සිදුවීමට නියමිත වෙනස්කම් අතර රජ පවුලේ සේවකයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමේ සිට රැජිණගේ කිරීටය යටතේ පාළණය වූ සමහර රටවල් කිරීටයේ පාලනයෙන් ඉවත්ව ජනරජයක් බවට පත්වීම දක්වා පරාසයකට විසිර යනවා. මේ වන විටත් සිදුවූ වෙනස්කම් අතරට එක්සත් රාජධානියේ ජාතික ගීය වෙනස්වීම, ‘රැජිණගේ නීතිඥයන්’ යනුවෙන් හැඳින්වූ පිරිස ‘රජුගේ නීතිඥයන්’ යනුවෙන් හැඳින්වීම දැක්විය හැකියි.

කාලයක් ගතවන වෙනස්කම් අතරට රැජිණගේ රූපය සහිතව මුද්‍රණය වී ඇති එක්සත් රාජධානියේ මුදල් නෝට්ට, කාසි හා මුද්දර ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කර නව රජුගේ රූපය සහිතව මුද්‍රණය වීමට නියමිතයි. එහෙත් දැනට භාවිතයේ පවතින මුදල් කිසිවක් අවලංගු නොවන අතර නව නෝට්ටු හා කාසි පමණක් රජුගේ රූපය සහිතව මුද්‍රණය වනු ඇති.

රැජිණගේ කිරීටය යටතේ පාලනය වූ රටවල්‍ අතරට එක්සත් රාජධානියට අමතරව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව ඇතුළු රටවල් 15ක් ඇතුලත් උනා. මේ අතරින් සමහර රටවල් කිරීටයෙන් නිදහස් වීමට දැනටමත් තීරණය කර තිබුණද රැජිණට තිබූ ගෞරවය හේතුවෙන් එම තීරණ ක්‍රියාත්මක නොවී පැවතුනා. එහෙත් එම රටවල් තව දුරටත් චාල්ස් රජතුමා යටතේ පාළනය වීමට තීරණය නොකරනු ඇති.

ඕස්ට්‍රේලියාව මේ වන විටත් කිරීටයෙන් ඉවත්වීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කර අවසන්. ඊට අමතරව බහමාස්, පැපුවානිව්ගිනියාව, ජැමෙයිකාව ඇතුළු තවත් රටවල්‍ 6ක් පමණ කිරීටයෙන් නිදහස්ව ජනරජයන් බවට පත්වීමට තීරණය කර තිබෙනවා. මේ ආකාරයට වෙනස් වන ලෝකයත් සමඟ නව රජුගේ භූමිකාව මෙන්ම ඔහුගේ වගකීම් රාජකාරිද වෙනස්වනු ඇති. ඊට අමතරව එලැඹෙන ගිම්හානයේදී නව රජතුමාගේ රාජ්‍යත්වයට පත්වීමේ උත්සවයද සංවිධානය වීමට නියමිත අතර ඒ විස්තරත් සමඟින් ඉදිරි කලාපයකදී මුණගැසෙමු

මම තිලාන් ජයසේකර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට