Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

කව්ද මේ හිස්බුල්ලා

හිස්බුල්ලා යනු මැද පෙරදිග කලාපය තුළ ලෙබනනය පදනම් කරගත් ෂියා මුස්ලිම් දේශපාලන පක්ෂයක් සහ සටන්කාමී කණ්ඩායමක් වන අතර එය “රාජ්‍යයක් තුළ රාජ්‍යයක්” ලෙස කීර්තියක් ගොඩනගා ගෙන ඇත. හිස්බුල්ලා “දෙවියන්ගේ පක්ෂය” ලෙසද හැදින්වේ. ඉරානයේ පිටුබලය ලබන ලෙබනන් ෂියා මිලීෂියාව සහ එක්සත් ජනපදය විසින් නම් කරන ලද විදේශ ත්‍රස්තවාදී සංවිධානය ලෙස මෙය හැදින්වේ. 

ලෙබනන් සිවිල් යුද්ධයේ (1975-1990) අවුල් සහගත කාලය තුළ ආරම්භ කරන ලද ඉරානයේ පිටුබලය ලබන මෙම කණ්ඩායම ඊශ්‍රායලයට එහි ප්‍රචණ්ඩ විරෝධය සහ මැද පෙරදිග බටහිර බලපෑමට ඇති ප්‍රතිරෝධය මගින් මෙහෙයවනු ලබයි. 

හිස්බුල්ලා සංවිධානය එක්සත් ජනපදය සහ තවත් බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකනු ලබන අතර ඉරානයේ සහ සිරියාව තුළ ඊශ්‍රායල විරෝධී පාලන තන්ත්‍රයන් සමඟ ගැඹුරින් සන්ධාන ගතව ගණුදෙනු කරනු ලබයි. විශේෂයෙන්ම ගාසා තීරයේ හමාස් සංවිධානය ඊශ්‍රායලය සමග පවතින යුධමය වාථාවරණය මධ්‍යයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර දේශසීමා ගැටුම් උත්සන්න විමෙන් පෙනී යන්නේ පොදු සතුරාගේ අවධානය වෙනස් කිරීමට ඔවුන් දරණ ප්‍රයත්නයයි.

නායකත්වය, ව්‍යුහය සහ ප්‍රමාණය-

1982 ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කිරීමෙන් පසුව පිහිටුවන ලද මෙම කණ්ඩායම ඊශ්‍රායල සහ බටහිර ඉලක්ක වෙත ප්‍රහාර ගණනාවක් සිදු කර ඇත. හසන් හසරල්ලා හිස්බුල්ලා සංවිධානයේ නායකයා වන්නේ 1992 දී ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් ඔහුගේ පූර්වගාමියා වූ අබ්බාස් අල්-මුසාවි ඊශ්‍රායල හෙලිකොප්ටර් ප්‍රහාරයකින් ඝාතනය කිරීමෙන් පසුවයි. ඒ වන විට ඔහු සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත. ලෙබනනයේ ප්‍රදේශ අල්ලාගෙන සිටි ඊශ්‍රායල් හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා පිහිටුවන ලද සන්නද්ධ කණ්ඩායමක සිට ලෙබනන් රාජ්‍ය හමුදාවට වඩා ශක්තිමත් යුධ හමුදාවක් දක්වා ඔහු හිස්බුල්ලා සංවිධානය පරිණාමය සඳහා මෙහෙයවීය. වර්ථමාන හිස්බුල්ලා සහ ඊශ්‍රායලය අතර ගැටුම් උත්සන්නවීමත් සමග ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනයේ අගනුවර වන බේරූට්හිදී හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කර ඇත. හසන් නසරල්ලා මිය යාමෙන් අනතුරුව හිස් වූ ධුරය වෙනුවෙන් අනුප්‍රාප්තිකයෙකු ලෙස හෂෙම් සෆීඩීන් තෝරාගෙන ඇති බව වාර්තා වේ.

හිස්බුල්ලා  සටන්කාමීන් 100,000 ක් වන බව එම සංවිධානයේ නායක හසන් නස්රල්ලා 2021 දී පවසා තිබුණා. 

එම සංඛ්‍යාවට විශේෂ මෙහෙයුම් සිදු කිරීම සඳහා පුහුණු කරන ලද ප්‍රභූ ඒකකයක් වන රඩ්වාන් බලකාය ඇතුළත් වේ. හිස්බුල්ලාගේ රොකට්, මිසයිල සහ ඩ්‍රෝන අවි ගබඩාව 150,000කට අධික බව ගණන් බලා ඇත. ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය ගාසා තීරයේ හමාස් සංවිධානය මෙන් දස ගුණයක් ශක්තිමත් බව ඊශ්‍රායල ආරක්ෂක ඇමති යොව් ගලන් පවා ප්‍රකාශ කර ඇත. 

අරමුණ, මෙහෙයුම් සහ දේශපාලනය – 

මොවුන්ගේ ප්‍රධාන අරමුණු අතර බටහිර බලපෑම් නෙරපා හැරීම, ඊශ්‍රායලය විනාශ කිරීම, ඉරානයේ උත්තරීතර නායකයාට පක්ෂපාතී වීම සහ ඉරානයේ බලපෑමෙන් යුත් ඉස්ලාමීය රජයක් පිහිටුවීම හදුන්වාදිය හැක. දශක දෙකකට ආසන්න කාලයක් හිස්බුල්ලාගේ ප්‍රකාශිත අරමුණ වූයේ දකුණු ලෙබනනයෙන් IDF හමුදා පලවා හැරීමයි. 2000 දී ඊශ්‍රායලය ඉවත් වූ දා සිට හිස්බුල්ලා සංවිධානය ඉරානයේ දෘෂ්ටිවාදය සමඟ පෙලගැසී ඇති අතර ඉරාන රජයේ මූලෝපායික අරමුණු ශක්තිමත් කරයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදය පිළිබඳ 2022 වාර්තාව පවසන්නේ ඉරානය හිස්බුල්ලා සංවිධානයට අරමුදල්, පුහුණුව, ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, රාජ්‍යතාන්ත්‍රික, මූල්‍ය සහ සංවිධානාත්මක ආධාර සපයන බවයි.

එක්සත් ජනපද බුද්ධි අංශයේ 2024 වාර්ෂික තර්ජන තක්සේරුව (The 2024 Annual Threat Assessment of the U.S. Intelligence – ATA) ප්‍රකාශ කරන්නේ “හිස්බුල්ලා සංවිධානය සහ පුළුල් මැද පෙරදිග විසින් එක්සත් ජනපදයේ බලපෑම සීමා කිරීමට උත්සාහ කරයි” එය ඉරාන රජය සමඟ බෙදා ගන්නා ඉලක්ක බවයි. හිස්බුල්ලා ගෝලීය අපරාධ-මූල්‍ය ජාලයක් ක්‍රියාත්මක වන බවද අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ වාර්තා වූ කේන්ද්‍රස්ථාන ඇති බවද සනාථ කරයි. 2022 යුරෝපෝල් වාර්තාවට අනුව හිස්බුල්ලා සංවිධානය විසින් ගොඩනඟන ලද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය යුරෝපා සංගමයට ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම, කළමනාකරණය කිරීම, ගිනි අවි ජාවාරම සහ මුදල් විශුද්ධිකරණ කටයුතු සම්බන්ධයෙන් සැක කරන බවයි. 

හිස්බුල්ලා සංවිධානය 1992 සිට ලෙබනන් මැතිවරණවලට සහභාගී වී ඇති අතර පාසල්, සායන, තරුණ වැඩසටහන් සහ අනෙකුත් සමාජ සේවා ජාලයන් ගෙන් මහජන සහයෝගය ලබා ගෙන ඇත. 1992 මැතිවරණයෙන් එහි සාමාජිකයින් අට දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, පක්ෂය 2005 සිට කැබිනට් තනතුරු හොබවා ඇත. ඔවුන් 2009 වසරේදී ප්‍රධාන ධාරාවේ දේශපාලනයට ඒකාබද්ධ වීම සලකුණු කළේ අඩු ඉස්ලාම්වාදී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමඟිනි. 2022 දී පැවති වඩාත්ම මෑත ජාතික මැතිවරණයේදී හිස්බුල්ලා ලෙබනනයේ මන්ත්‍රීවරුන් 128 කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 13 ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. 

වත්මන් යුධ තත්ත්වය ( ඊශ්‍රායලය සහ හිස්බුල්ලා ) – 

ඊශ්‍රායලයේ අඛණ්ඩ ගුවන් ප්‍රහාර හේතුවෙන් දැනටමත් ලෙබනනයේ මිලියනයකට අධික ජනතාවකට සිය නිවෙස්වලින් ඉවත් වීමට සිදු වී ඇත. එරට අගමැති නජීබ් මිකාටි ප්‍රකාශ කර සිටියේ “රට තුළ සිදුවූ විශාලතම අවතැන්වීම මෙයයි.”  තවදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ ගුවන් ප්‍රහාර රැල්ල නිසා මිනිසුන්ට බේරූට් අගනුවරින් සහ දකුණු දේශසීමා ප්‍රදේශවලින් පලා යාමට සිදු වූ බවයි. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඉහළ හමුදා අණදෙන නිලධාරී Ali Karaki සහ ජ්‍යෙෂ්ඨ පූජකයකු වන Sheikh Nabil Qaouk ද මියගිය බව හිස්බුල්ලා සංවිධානය තහවුරු කරඇත. 

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පවසන්නේ වැඩි විස්තර ලබා නොදී ලෙබනනයේ බේරූට් අගනුවර ඉලක්ක කරන බවයි. ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානී හර්සි හැලෙව් පැවසුවේ “අපි හිස්බුල්ලාට දැඩි ලෙස පහර දිය යුතුයි.” යනුවෙනුයි. ඒ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර සිටියේ “ඉරානය සතුරන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තම රටේ ඇති අධිෂ්ඨානය තේරෙන්නේ නැති බවයි.” තවදුරටත් ඔහු කියා සිටියේ “කවුරුන් අපට පහර දුන්නත් අපි ඔවුන්ට පහර දෙනවා” යනුවෙනුයි. 

ලෙබනනයේ අගනුවර සහ විශාලතම නගරය වන බේරූට් වසර 5,000 කට වැඩි කාලයක් තිස්සේ ජනාවාස වී ඇති අතර එය ලෝකයේ පැරණිතම නගරවලින් එකකි. මිලියන 2.5 ක ජනගහනයක් ජීවත්වන අරාබි ලෝකයේ දහතුන්වන විශාලතම නගරය වන මෙය පිහිටා ඇත්තේ ලෙබනනයේ මධ්‍යධරණී වෙරළ තීරයේ මැද භාගයේ අර්ධද්වීපයකය. 

ඊශ්‍රායල් ප්‍රහාරයන්ට ගොදුරු වන ලෙබනනයේ ප්‍රධාන ඉලක්කය වී ඇති බේරූට් අතහැර යෑමට බොහෝ මිනිසුන්ට සිදුවී ඇත. 34 හැවිරිදි මාධ්‍යවේදියෙකු වන සාරා ටොමාස් BBC පුවත් සේවයට පැවසුවේ පසුගිය සිකුරාදා ඇය සිය මව සහ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු සමඟ බේරූට් අගනුවර පිහිටි නිවසින් පිටත් වූ බවයි. සිරියාව හරහා ජෝර්දානයට පැනගත් ඇය කියා සිටියේ “ඊළඟට කුමක් සිදුවේදැයි අපි නොදනිමු, අපි නැවත පැමිණෙන්නේ කවදාදැයි නොදනිමු,” යනුවෙනි. 

තුෂාර පෙරේරා

Sign up for our newsletter