මැදහත්බව කෙනෙකුගේ පෞරුෂය ඔප නන්වන ජීවිතයට ආලෝකය ගෙනෙන උතුම් ප්රතිපත්තියකි. මෙය බෞද්ධ පාරිභාෂික වචනයෙන් ‘මජ්ඣිමා පටිපදා,’ ‘මැදුම් පිළිවෙත,’ ‘middle way,’ ‘middle path’ ලෙස හැඳින්වේ.
ලෞකික මෙන්ම ආධ්‍යාත්මික ජීවිතය තුළ ද මැදහත්බව අවශ්‍ය ය. මැදහත්බව යන්නෙන් අන්ත (extremes) ඇතිබව ගම්‍ය වේ. සිද්ධාර්ථ කුමරුන් ඉපදෙන විට ආගමික අන්තවාද දෙකක් පැවතින. එනම් ‘කාමසුඛල්ලිකානුයෝගය’ (self-indulgence) හෙවත් ශරීරයට උපරිමයෙන් සැප දීමෙන් එනිසාම ශරීරයෙන් දුක ඉවත්වීමෙන් විමුක්තිය (salvation) ලැබේ ය යන විශ්වාසයත් ‘අත්තකිලමථානුයෝගය’ (self-mortification) හෙවත් ශරීරයට උපරිමයෙන් දුක් දීමෙන් දුකටම එපාවී ශරීරයෙන් ඉවත්වීම තුළින් විමුක්තිය ලැබේය යන විශ්වාසය යි. රජ කුමරෙකු වූ සිද්ධාර්ථට මුල් අන්තය පෙනුනේ මහා විහිළුවක් ලෙසටය. ඒ රජ සැප උපරිමයෙන් විඳි කෙනෙක් නිසාය. දෙවැනි අන්තය පිළිබඳව අත්දැකීමක් නොතිබුන සිද්ධාර්ථ බෝධිසත්ත්වයන්වහන්සේ එය ද අත් හදා බැලූහ. ඒ වසර හයක් තරම් වූ දිගු කලකි.
අවසානයේ උන්වහන්සේ එයද දුටුවේ වැඩකට නැති දෙයක් ලෙසය. එනිසා මැදහත්බව තෝරාගෙන එයින් බුදුබව ලබාගෙන මුල්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රයේදී දේශනා කළේ එම අන්ත දෙක මඟ හරින (avoidance of the two extremes) ලෙසට ය.
එදිනෙදා ජීවිතය තුළ අපේ ආහාර රටාව තුළින් මෙය ඉතා පහසුවෙන් තේරුම්ගත හැකිය. ඔබට අතිශයින්ම බඩගිනි වූ විට දැනෙන්නේ මහත් අපහසුවකි. අනතුරුව ඔබට බොහෝ ආහාර ලැබී බොහෝ කෑ විට ද දැනෙන්නේ මහත් අපහසුවකි. එහෙත් ඔබේ ආහාර රටාව මැදහත් නම් අපහසුවක් නොවේ. යමකට ඇබ්බැහි වන්නේ නම් එය අන්තයකි. එය ආගමික රටාවටද පොදු ය. ආගම් පිස්සුව (religious craze) පුද්ගල ජීවිතයට සමාජයට සහ මුළු ලොවටම හානියකි. සුඛ විහරණ පිස්සුව (craze of debauchery) ද එබඳුය. අන්ත දුප්පත් අය ද අතිශයින්ම ධනවත් අය ද ආගමික උම්මත්තකයෝ ද සිය දිවි හානිකර ගන්නා සිදුවීම් නිතර අසන්නට ලැබේ.
නරක දේ මෙන්ම හොඳ දේ ද අසීමිත වූ විට එතන විනාශයකට මඟ පෑදේ. සෑම දෙයක දී ම මැදහත්බව අගනේය. බුදුබව ලබන්නේ ද මැදහත්බව තුළිනි.
ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි