මෙවර ලිපිය වෙන්වන්නේ රස්තියාදුව පිළිබඳව ධර්මානුකූල විග්රහයක් සඳහාය. රස්තියාදුව ඉංග්රීසියෙන් loitering, hanging out හෝ idling ය. ඒ සඳහා වන පාලි බෞද්ධ වචනය සමජ්ජාභිචරණයයි. සමජ්ජ යනු විනෝදය ගෙනෙන විවිධ අවස්ථා හෙවත් festive events ය. අභිචරණ යනු එවන් දේ තුළ බොහෝ, අනවශ්‍ය ලෙස යෙදීමයි. බුදුරජාණන්වහන්සේ විසින් අනවශ්‍ය වේලාවේදී අනවශ්‍ය තැන්වල ගැවසීම නිසා කිසිදා වරදක් නොකළ අය නිකරුණේ කරදරේ වැටෙන අයුරු දේශනා කර තිබේ.
වයස් භේදයකින් තොරව බොහෝ අය සමජ්ජාභිචරණය නිසා කරදරේ වැටෙන අවස්ථාව බොහෝය. මෙහිදී මා අවධානය යොමු කරන්නේ යොවුන් ප්රජාව කෙරෙහිය. ඉන්ද්රියයන් පිණවීමේදී හෙවත් කාමච්ඡන්දයේදී කෙනෙකු කරදරයට පත්වීමට ගතවන්නේ මොහොතකි. අමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක යොවුන් වරදකරුවන් සඳහා වන මනෝඋපදේශන සැසිවලදී නිකරුණේ නීතිය ඉදිරියේ වරදකරුවන් වී ජීවිතය අඳුරු කරගත් ළමයින් සහ තරුණ තරුණියන් හමුවී තිබේ. ඔවුන්ගෙන් කවුරුත් හැඬූ කඳුළින් පැවසුවේ සුළු සතුටක් නිසා ජීවිතය අඳුරු කරගත් අයුරුය. සමවයස්කාරයන්ගෙන් එන පීඩනය (peer pressure) ඔවුන්ගේ සමජ්ජාභිචරණ අවුලට ප්රධාන හේතුවකි. වැරදි දේට පොළඹවන යාළුවන් ධර්මයෙහි හැඳින්වෙන්නේ අපායසහාය හෙවත් hellbent යාළුවන් ලෙසය.
පෙර කී පරිදි සමාජ මාධ්‍ය හෙවත් මාර්ගගත සමජ්ජාභිචරණය යොවුන් ජනතාව බිලිගත් පිළිකාවකි. භෞතිකව මෙන්ම මාර්ගගතව (online) සමජ්ජාභිචරණය නිසා සියදිවි නසාගත් යොවුන් අය වෙති. වික්ඛිත්ත චිත්ත හෙවත් distracted state of mind නිසා ඕනෑම කෙනෙකු තම විනාශය ළඟා කරගන්නා අයුරු සංයුත්ත නිකායේදී බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබේ. ඒ තුළින් වරදට පෙළඹෙන අය ගෙවන මානසික වන්දිය හෙවත් psychological toll ගැන අනතුරු අඟවා තිබේ.
යෞවන යෞවනියන් අසාමාන්‍ය ආත්ම විශ්වාසයෙන් යුතු වීම (overly self-confident) සහ මාන්නය නිසා තම පිරිහීම ළඟාකර ගැනීමේ ගතිය (hubristic) ඔවුන්ගේ පොදු ලක්ෂණ වන අතර එය යොබ්බන මද හෙවත් youthful infatuation ලෙස ධර්මයේ සඳහන් වේ. ළමා තරුණ වයසේ විනෝදය තිබියයුතු දෙයකි. මහළු වී දත් හැලුනු පසු මොන විනෝදයක් ද! එහෙත් සීමාව දැනගත යුතුය. සමජ්ජ සහ එහි ක්රමානුකූලව යෙදීම හෙවත් චරණය විය යුතුය. ප්රශ්න ඇතිවන්නේ අභිචරණය හෙවත් සීමාව වේලාව සුදුසු නුසුදුසුබව තේරුම් නොගෙන එහි යෙදීමයි, රස්තියාදුවයි. බොහෝ වැඩිහිටියන්ද මාර්ගගත සමජ්ජාභිචරණයට ඇබ්බැහි සිටින යුගයක දරුවන් කෙරෙහි මහත් අවධානයෙන් සිටීම වැඩිහිටියන්ගේ වගකීමයි.
ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි
සාකල්‍ය මනෝවිද්යා උපදේශක