Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

නදින් නන්දෙස කිතුගොස පතුරන හිරුෂි

චිත්‍ර ශිල්පය, ගායනය, නර්තනය, නිරූපණය, රූපණය, නිවේදනය, පූරකත්වය හා

ලේඛණය ආදී වූ කලාත්මක කෞශල්‍යයන් රැසක් උපතින්ම ධායාදකොටගනිමින් සංගීත

සංද්වනියේ නව්‍ය රස නිෂ්පත්තීන් සිසාරමින් මව්භිමේ කිතුගොස ජාත්‍යන්තර සංගීත

කරළිය අභිමුව රැව්පිළි රැව් නැංවීමට වෙරදරන තරුණ වෘත්තීමය ගායන ශිල්පිණී හිරුෂි

ජයසේන නම් ඇයගේ ආද්‍යාත්මයේ, දේශපාලනික ආක්‍යානයෙහි හා වෘත්තීත්වයේ ප්‍රථූල

හරසකඩක් සම්මුඛ කරවීමට ලත් වෑයමකි මේ.

Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව දකින්නෙ කුමන අයුරකින්ද යන්න පිළිබඳව සඳහනක්

කරමු.

A). මම කලාවට බෙහෙවින් ආදරේ කරන මා ඇසුරු කරන තවත් නිර්මාණශීලී කලාශිල්පීන්

සමඟින් එකතුවෙලා විවිදාකාරයේ නිර්මාණයන් බිහිකිරීමට කැමති කෙනෙක්.

Q). ඔබ ජීවිතය යන්න දකින්නෙ කුමන අයුරින්ද යන්න පිළිබඳව හැඳින්වීමක් කරමු.

A). තමන්ගෙ අනන්‍යතාවය පිළිබඳවත් ඒ වගේම තමන් ජීවත්වෙන පරිසරය වෙතින්

පංචේන්ද්‍රියයන් හරහා සංවේදනය වන අත්දැකීම් සමුදාය දෙසත් සිදුකරන නිරීක්ෂණයක්

ලෙසින් මම ජීවිතය කියවගන්න කැමතියි. මම මේ සංකීර්ණ ලෝකය තුළ සරළ දේවල්

ඇසුරුකොටගෙන ජීවත් වෙන්න කැමති කෙනෙක්.

Q). ඔබේ ආගම හෝ දර්ශනය යන්න කුමක්ද යන්න සඳහන්කොට ඔබ අවබෝධකොටගත්

ආකාරයට එම ආගමේ හෝ දර්ශනයේ මූලික හර පද්ධතිය පිළිබඳව සෛද්දාන්තික විග්‍රහයක්

ඉදිරිපත්කරමින් ඒ තුළින් ජීවිතයට ලබාගත් වටිනාම දේ හෝ දේවල් මොනවාද යන්න

පිළිබඳවද විග්‍රහයක් සිදුකරමු.

A). බෞද්ධාගම හා බුදුදහම යන සංදර්භයන් ද්විත්වය ජීවිතය තුළට යොදවාගනු

ලැබෙන්නේ දෙවිදිහකට. මම බුදුදහම ඇසුරුකොටගෙන ජීවත්වෙන්න කැමති කෙනෙක්.

අනිත්‍ය ආදී වූ තිලකුණු පිළිබඳව අවධාරණයෙන් හදාරද්දි පෙනීයන්නෙ මිනිසුන් වශයෙන්

පුද්ගලික අනන්‍යතාවය පදනම්කොටගෙන විශාල විවිධත්වයක් පවතින්නාක් මෙන්

පෙනීගියත් සත්‍යයාකාරයෙන් අප සැවොම සුවිසල් විශ්වීය ගොඩනැගීමක කුඩා

සංරචකයන් සමූහයක් පමණක් යන්නයි.

බුදුදහම ඇසුරුකිරීම ඔස්සේ ලැබුණු පුහුණුව නිසා මිනිසුන් ඇසුරේ පවතින සියළු ආකාරයේ

විශ්වාසයන් හා ඒවා පදනනම්කොටගෙන ගොඩනැගුණු සියළු මාදිලියේ සංස්කෘතික

සංරචකයන් හා ඒවා විහිදීගොස් ගොඩනැගුණු දැනුම් පද්ධතීන් සියල්ල පිළිබඳවත් වඩාත්

පුළුල්ව කියවාගන්න මෙන්ම අවංකවම ඒ සියල්ලටම ගරු කරන්න මම පුරුදු උනා.

පරිසරය තුළ ජීවත්වෙද්දි ස්වකීය පාලනයෙන් ගිලිහුණු තත්ත්වයන් හමුවේ පුද්ගලත්වයේ

හෙවත් මමත්වයේ හැසිරීම හෙවත් තීරණ ගැනීම හා ප්‍රතිචාර දැක්වීම ඵලදායි අයුරින්

කළමනාකරණය කොටගැනීමට පහසුකම්ද එතුළින් සැලසුණා.

ජීවියෙක් විදිහට සියල්ල දෙස අවධාරණයෙන් සිහියෙන් නිරීක්ෂණය කිරීම පමණක්

සිදුකිරීමත් තමන් තුළට අවශෝෂණය නොකොටගෙන විනිශ්චයකට නොඑල්බී සිටීමත්

තමයි බුදුදහම තුළින් උකහාගත් සුවිශේෂීම දෙය විදිහට සළකන්න පුළුවන්.

මගේ අවබෝධයේ හැටියට ඇත්තෙන්ම ජීවිතය කියන්නෙ හරිම සරළ මෙන්ම හරිම සුන්දර

දෙයක් පුද්ගලත්වය හෙවත් මමත්වය විසින් සකස්කෙරෙන මායාත්මක වටිනාකම් වලින්

තොර වූ විටදී. ජීවිතය පිළිබඳව මම ලබාගත් මේ කියවාගැනීම සම්බන්ධයෙන් මම

අවංකවම ගොඩක් සන්තෝෂයට පත්වෙනවා.

Q). ඔබේ වැටහීමේ පරිද්දෙන් මනුශ්‍යත්වය අරුත්ගන්වාගන්නේ කෙසේද හා ඒ හට ඉහළම

වටිනාකමක් හිමිකරදෙන්නේ කෙසේද යන්න පිළිබඳව විස්තරයක් සිදුකරමු.

A). ඇත්තෙන්ම මම තවමත් මේ ලෝකයේ ජීවත්වෙලා තියෙන්නෙ දශක දෙකකට මඳක් වැඩි

කාලයක්. මම විශ්වාස කරන විදිහට ජීවිතය කියන්නෙ අඛණ්ඩ දීර්ඝ හැදැරීමක්. "

සංවේදනාව ", " කරුණාව " හා " පරෝපකාරය " යනු මනුශ්‍යත්වයේ ප්‍රදානම ගුණයන්

ලෙස මම සළකණවා.

ලෝකය තුළ විවිධාකාර සාධකයන් පදනම්කොටගෙන විවිධාකාර වර්ගීකරණයන්

පවතිනවා. ඒ ඇතැම් වර්ගීකරණයන් තුළින් සුවිසල් ලෙස මුදල් ඉපයීම හෙවත් ව්‍යාපාරයන්

සිදුකෙරෙනවා. උදාහරණ ලෙස රූපශ්‍රිය පදනම්කොටගෙන සිදුකෙරෙන වර්ගීකරණයන්

තුළින් විනෝදාස්වාදය සපයන කර්මාන්තයන් තුළත් ජාතීන් හෝ ආගම ආදී සංස්කෘතික

මූලාශ්‍රයන් පදනම්කොටගෙන සිදුකෙරෙන වර්ගීකරණයන් තුළින් යුධගැටුම් නිර්මාණය

කිරීමත් ඒවාට අවැසි ආයුධ නිපදවා අලෙවිකරණයත් දක්වන්න පුළුවන්.

පුද්ගලිකව අපට මුහුණදීමට සිදුවන ගැටළුන්හි ආක්‍යානයන් එකිනෙකට වෙනස් වූවත්

ප්‍රජාවක් ලෙස සැළකූවිටදී එම ආක්‍යානයන්ගේ මූලික ගොඩනැංවීම පොදුයි.

උදාහරණයක් ලෙස දුක, සතුට, භය, කුසගින්න ආදී වූ භාවාත්මික ප්‍රකාශනයන් හා

අවශ්‍යතාවයන් දක්වන්න පුළුවන්.

මේ යථාර්ථය අවබෝධකොටගෙන කවුරුන් හෝ සහය අවැසි කෙනෙකු හඳුනාගෙන

තමන්ගේ සීමාවන්ද ආරක්ෂාකොටගනිමින් අවංකව ඔහු හට කරුණාව පාමින් හැකි අයුරින්

උපකාර කිරීමට හැකිනම් ඒ තුළින් මනුශ්‍යත්වයට වඩාත් සංවේදී වටිනාකමක්

එකතුකරන්න පුළුවන්.

ගායනශිල්පිණියක් ලෙස මම ඉදිරියේදී උත්සාහ කරනවා විධිමත් හැදෑරීමකින් අනතුරුව

විවිධාකාර වූ මිනිසුන්ගෙ විවිධාකාර වූ අත්දැකීම් පිළිබඳව කථිකාවතක් මගේ නිර්මාණයන්

තුළින් ගොඩනංවන්න. මම තරයේ විශ්වාස කරනවා නිර්මාණශීලීත්වය

උපයෝගීකොටගනිමින් කලාව තුළින් සකලවිධ මනුශ්‍යය ප්‍රජාව භාවාත්මිකව ඒකරාශි

කිරීමට පුළුවන් යන බව.

Q). ඔබ මානව මනෝවිද්‍යාව යන විෂය පථය පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ

විශ්වවිද්‍යාලයකින් මැනවින් අද්‍යාපනය හදාරලා තිබෙන අයෙකු විදිහට එම හැදෑරීම

ඔබේ ජීවිතය මෙන්ම ඔබේ ළබැඳියන්ගේ ජීවිත ආලෝකමත් කරගැනීම සඳහා

උපයෝගීකොටගත් ආකාරය පිළිබඳව අනාවරණය කරමු.

A). මානව මනෝවිද්‍යාව තුළින් මූලික වශයෙන් සිදුකෙරෙන්නෙ මිනිස් මනස පිළිබඳව

කියවාගැනීමයි. එනම් කෙටියෙන් කියතොත් පුද්ගලයෙකුගේ චර්‍යාවන්, පුරුදු හා

ආකල්පයන්ගේ ඔප්නැංවීම හා මූලාශ්‍රයන් පිළිබඳ ගවේෂණයයි. ජීවිතයේ අපිට

නොයෙකුත් මාදිලිවල පුද්ගලයන් මුණගැසෙනවා. ඔවුන් සමඟින් විවිදාකාරයේ ගණුදෙනු

කිරීමට සිදුවෙනවා.

මේ විවිධත්වය මත නානාප්‍රකාර රුචි – අරුචි කම් සියල්ලද තීරණය වෙනවා මෙන්ම ඒ

හේතුවෙන් ඇතැම්විට යම් යම් ගැටළුකාරී තත්ත්වයන් වුවද හටගැනීමට ඉඩකඩක්

තියෙනවා.

උදාහරණයක් ලෙස භාවාත්මිකව උද්වේගකාරී පුද්ගලයෙකුගේ එම චර්‍යාවන්, පුරුදු හා

ආකල්පයන් හටගැනුනු හා ඔප්නැංවුනු මූලාශ්‍රයන් ලෙස පවුල් පසුබිම, පාසැල්

අධ්‍යාපනය, මොළයේ භෞතික හා රසායනික ක්‍රියාවලිය හේතුවෙන් හටගැනුනු

මානසික තත්ත්වයන්, කුඩා අවධියේදී මුහුණදීමට සිදු වූ අත්දැකීම්, විවිදාකාරයේ

ජනමාධ්‍ය මූලාශ්‍රයන් තුළින් උකහාගත් දේවල්, සමාජයෙන් එල්ලවන බලපෑම් ආදී වූ

විවිධාකාර කාරණාවන්ගේ සෘජු හෝ වක්‍ර යෙදවීම් දක්වන්න පුළුවන්.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකු පරිණත වන අවධියේදී ඉහත විග්‍රහ කළ ආකාරයට ඔහු හෝ

ඇයව යම් නිශ්චිත ආකාරයකට රාමුගත වීමක් නෛසර්ගිකව සිදුවෙනවා. ඉන්පසු ඔහු හෝ ඇය

ඉදිරි කාලසීමාව ගතකරනු ලබන්නේ එම රාමුහත වීමට අනුකූලවයි.

මානව මනෝවිද්‍යාව හැදෑරීම තුළින් මම අවබෝධයක් ලබාගත්තෙ මෙම අතිශය සංකීර්ණ,

සියුම් හා ගැඹුරු වයුහගත ක්‍රියාවලිය පිළිබඳවයි. ඒ අවබෝධය තුළින් මට සුවිශේෂී

හැකියාවක් ලැබෙනවා අනෙකුත් පුද්ගලයන්ගේ නෛසර්ගිකත්වය පිළිබඳව මෙන්ම

විශේෂයෙන්ම මගේ නෛසර්ගිකත්වය පිළිබඳවත් ප්‍රමාණවත් කියවීමක් සිදුකරගන්න.

එතුළින් මා තුළ තිබෙන යම් යම් දුර්වලතා, දක්ෂතා, නිවැරදි විනිශ්චයන්, වැරදි

විනිශ්චයන්, අවශ්‍යතාවයන් හා සීමාවන් ආදිය පිළිබඳව පැහැදිලි හඳුනාගැනීමක්

සිදුකරන්න පුළුවන්. එය සෘජුවම ඉවහල් වෙනවා මගේ පෞද්ගලික ජීවිතය මෙන්ම

වෘත්තීය ජීවිතය වඩාත් සකසුරුවම්ව, ඵලදායීව හා කාර්‍යක්ෂමව පෙළගස්වාගන්න.

ඇතැම්විට අපි අපිවම රවටාගන්නා අවස්ථාවනුත් නැත්තෙම නෑ. නමුත් අපි අපේ හදවතටත්

එතුළින් නැඟෙන සිතැඟිවලට අවංක උනොත් ඒ හරහා ගුණාත්මක භාවයෙන් වඩාත් ඉහළ

මානව සම්බන්ධතා ජාලයක් අප වටා නිර්මාණය කරගැනීමේ වාසිය සලසාගන්න පුළුවන්.

ව්ශේෂයෙන්ම නිර්මාණශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයන්ගේ සිතුම් පැතුම්,

අවශ්‍යතාවයන්, ප්‍රවණතාවයන් ආදිය පිළිබඳව ප්‍රාමාණික හා ගුණාත්මක

විශ්ලේෂණයක් සිදුකොටගැනීමටත් එම තොරතුරු පදනම්කොටගෙන තමන්ගේ

සංකල්පනාවන් කැටිකොටගත් නිර්මාණශීලීත්වයෙන් හා ගුණාත්මක භාවයෙන්ද ඉහළ

ඵ්ළධායී නිෂ්පාදනයක් බිහිකිරීමට ඉහත කී අවබෝධය විශාල පිටිවහලක් සපයනවා.

Q). ඔබ කලාමාද්‍යයක් ලෙස සංගීතය හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි

කිරීමක් කරමු.

A). මම පෞද්ගලිකව සංගීතය යන්න හඳුනාගන්නේ මම හැදෑරීමට කැමති විෂයක්

හැටියටත් වෘත්තීය වශයෙන් භාවිතාවේ යෙදීමට කැමති කර්මාන්තයක් හැටියටයි.

එමෙන්ම සෑමවිටම මම මටම අනන්‍ය වූ ප්‍රගතිගාමී දර්ශනයක් සමඟින් මඳකුදු හෝ

නව්‍ය වූ සංකල්පයක් පෙරදැරිකොටගත් සංවේදනාත්මක මෙන්ම විනෝදාත්මක

නිර්මාණයන් ප්‍රේක්ෂකයන් හට ඉදිරිපත්කිරීමට අපේක්ෂා කරනවා.

ඒ සඳහා ගායන කුසලතාවයට අමතරව විශේෂයෙන්ම වර්ථමානයේ වෙනත් සංගීත

කර්මාන්තයන්හි භාවිතාවන දියුණු තාක්ෂණික ප්‍රයෝගයන් සමඟින් රූපණ කුසලතාවයද

සුනම්‍ය අයුරින් මුසු කිරීමෙන් අනතුරුව ගෝලීය නව්‍යකරණයන්ට හා ප්‍රවණතාවයන්ට

අනුකූලව එකිනෙකට වෙනස මානයන් තුළින් ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කළ හැකි

ප්‍රභල ප්‍රකාශන මාද්‍යයක් හැටියටත් සංගීතය අරුත්ගන්වාගන්න පුළුවන්.

" සංගීතය යනු විශ්ව භාෂාවක් " යන්න ඒ පිළිබඳව විශේෂ ප්‍රාගුන්‍යයක් දරන බොහෝ

විද්වතුන්ගේ මතයක්. මගේ අත්දැකීමේ හැටියට ඒකට ප්‍රදානතම හේතුව වන්නේ සංගීත

භාවිතාව තුළදී එහි මූලික සංරචකයන් හරහා ප්‍රේක්ෂකයන් වෙතට ජනනය කිරීමට

උත්සාහ කෙරෙන්නේ භාවයන් සමුදායක් වීමයි.

භාවයන් යනු ඉහත කී පරිදි මිනිසුන් හට පොදු ප්‍රස්තූතයක්. ඇතැම්විට වචන රහිත වූ හුදු

වාද්‍ය ඛන්ඩයකින් පවා අතිශයින් ප්‍රභල මානසික උත්තේජනයක් හටගන්වන්න පුළුවන්.

ඉන් වක්‍රාකාරයෙන් කියවෙන්නේ භාෂාව යනු ද්වීතියික ප්‍රකාශන මාදිලියක් බවයි.

Q). " සිනමාව යනු සකලවිධ කලා මාද්‍යයන්ගේ කූඨප්‍රාප්තියයි " යන්න විෂය පිළිබඳ

විශේෂ ප්‍රාගුන්‍යයක් සපිරි බොහෝ ශාස්ත්‍රීය විද්වතුන්ගේ මතයයි. සිනමාව තුළ

සංගීතයේ භාවිතාව පිළිබඳව ඔබේ අදහස් ඉදිරිපත්කරමු.

A). කෙසේනමුත් දකුණු ආසියානු කලාපය තුළ නිර්මාණය වන සිනමා නිර්මාණයන්හි ඉහත

කී පරිදි මානව භාවයන් සරු ලෙස උද්දීපනය කළ හැකි සංවේදනාව දනවන සුළු

ප්‍රාසාංගික ගීතයන් නොමඳව අන්තර්ගත කිරීමේ සම්ප්‍රධායක් ඒවායේ නිර්මාණකරුවන්

විසින් බිහිකොට තියෙනවා.

එම සම්ප්‍රධාය හේතුවෙන් දකුණු ආසියානු සිනමා භාවිතාව ලෝකයේ අනෙක් කලාපයන්හි

සිනමා භාවිතාවන්ගෙන් පැහැදිලි ලෙස වෙන් වී අනන්‍යානුකූලව ඉස්මතු වීමටත් ඒ හරහා

ලොව පුරා විසිරී සිටිනා සංගීත ලෝලීන් විශාල වශයෙන් එම සිනමා භාවිතාව

වැළඳගැනීමටත් මඟ සලසා තිබෙනවා.

එමෙන්ම මගේ අත්දැකීමේ හැටියට සංගීත කර්මාන්තය තුළ බිහිවන නිර්මාණයන්හීදීත්

රූපණය සිනමාත්මකව යෙදවීම තුළින් සිනමාලෝලීන් විශාල වශයෙන් එම නිර්මාණයන්

කරා ආකර්ෂණය වීමට වටපිටාවක් සලසණු ලබනවා.

සංගීතය හෝ සිනමාව එකිනෙකින් වියුක්තව පවතිනවාට වඩා ප්‍රශස්ථ ආක්‍යානයක්

ඔස්සේ මනා සුනම්‍යකරණයක් සහිතව අතිච්චාදනය කරවීමෙන් වඩාත් සංවේදනාත්මක

මෙන්ම වඩාත් ප්‍රාසාංගික නිර්මාණයන් උපද්දවන්නට හැකියි.

Q). ඔබේ වෘත්තීය සංගීත ජීවිතය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳ

මතකාවර්ජනයක් සිදුකරමු.

A). සාම්ප්‍රදායික අයුරින් සභාගර්භයක් මද්‍යයෙන් පැමිණ ආලෝකමත් වේදිකාවක් මතදී

ලබාගන්නා ඇගයීම්වලින් ඔබ්බට ගිය ලාංකීය සංගීතය ජාත්‍යන්තරකරණයට

යොමුකරවන්නට සමර්ථ අන්දමේ වටිනා කඩඉම් සමූහයක් පසුකරලන්නට සමත්වීම

සම්බන්ධයෙන් මම නිහතමානී ආඩම්බරයකිනුත් විශාල ප්‍රමෝදයකිනුත් පසුවෙනවා.

" BBC Radio London " ගුවන්විදුලි නාළිකාවෙහි මා ඇතුළු තවත් හිතවත් දක්ෂ ගී

රචකයින්, සංගීත නිෂ්පාදකවරුන්, මෝස්තර නිර්මාණ ශිල්පීන්, නර්තන අංගරචකයින්,

කැමරා ශිල්පීන්, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණශිල්පීන් හා අදියුරුවරුන් ඇතුළු

නිර්මාණශිල්පීන් කිහිපදෙනෙකුගේ වෑයමක් ලෙසින් නිපදවුණු ගීතයන් කිහිපයක් විකාශය

වීම මෙන්ම " youtube " අවකාශයේ එවන් නිර්මාණයන් කිහිපයක්ම ප්‍රේක්ෂකයන් විසින්

උත්කර්ෂයට නංවා තිබීම ගුණාත්මක හා ප්‍රාමාණාත්මක උදාහරණයන් ලෙසින්

දක්වන්නට පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේදී රංගනය පිළිබඳ වෘත්තීය පුහුණු

පාඨමාලාවක් හැදෑරීම සඳහා මා නිර්දේශ වීමට පවා එම ජයග්‍රහණයන් ශක්තිමත්

පිටුවහලක් උනා.

ඊට අමතරව ජාත්‍යන්තරව කීර්තිමත් සංගීත කර්මාන්තයේ නියැලෙන්නන් කිහිපදෙනෙකු

සමඟින් නිර්මාණකරණයේ යෙදීමට භාග්‍යය උදාවුනා. උදාහරණයක් ලෙස උතුරු ඉන්දීය

සංගීත හා සිනමා කර්මාන්තයේ ප්‍රමුඛතම ගායන ශිල්පියෙකු හා සංගීතවේදියෙකු වන "

ශාන් මුඛර්ජී " හා මා එක්ව සිදුකෙරූ යුග ගායනය " මෙරී සින්දගී " ගීතය පිළිබඳව සඳහන්

කරන්න පුළුවන්. එය මගේ පළමු හින්දි ගී නිර්මාණයයි.

ජාත්‍යන්තරව කීර්තියට පත් කලාශිල්පීන් සමූහයක් සමඟින් සිදුකෙරුණු රසවත්

නිර්මාණයන් ගොන්නක් ඉදිරියේදීත් ප්‍රේක්ෂකයන් වෙතට මුදාහැරීම සඳහා අවැසි සියළු

කටයුතු ඉතා සාර්ථකත්ව සිදුවෙමින් පවතින බව ඉතාමත්ම ප්‍රමෝදයෙන් යුතුව ප්‍රකාශ

කිරීමට කැමතියි. මං තරයේ විශ්වාස කරනවා ඒවා ලාංකීය ප්‍රේක්ෂකයන් මෙන්ම විදේශීය

ප්‍රේක්ෂකයනුත් ඉතාමත්ම ආදරෙන් වැළඳගනියි කියලා.

Q). තරුණ වෘත්තීය ගායන ශිල්පිනියක් ලෙස සංගීත කර්මාන්තය තුළින් ජාත්‍යන්තරය

ජයගැනීම කෙරෙහි ඇති ඔබේ අභිලාෂය මුදුන්පත්කරගැනීමේදී මුහුණදීමට සිදුවන

අභියෝගයන් හා ඒවා ජයගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරමින් සිටින සැලසුම් පිළිබඳව

කෙටි විග්‍රහයක් කරමු.

A). දේශීය සංගීත කර්මාන්තය අතික්‍රමණය කරමින් ජාත්‍යන්තර සංගීත කර්මාන්තයන්

වෙතට පියමැනීම පිළිබඳව මා දකින්නේ ඉතාමත්ම ධණාත්මක විභවයක් හැටියටයි. අපේ

මව්බිමේ ජනගහනය මිලියන 22 කට සීමාවෙනවා. එබැවින් ලෝකයේ වෙනත් කලාපයන්හි

සංගීත ලෝලීන්ද ආකර්ෂණය කොටගැනීමට සමර්ථ වූ රස නිෂ්පත්තීන් ජනිතකොට මනා

කළමනාකරණයකින් යුතුව ජනගත කළ හැකිනම් එතුළින් ශ්‍රී ලාංකීය නාමය

සම්භාවනාවට බඳුන් කිරීමට මෙන්ම මූල්‍ය අංශයේ විකසනයක් කරා මෙහෙයවීමට පවා

සම්භාවිතාවක් තියෙනවා. ලාංකීය සංගීත කර්මාන්තය හා ජාත්‍යන්තර සංගීත

කර්මාන්තය අතරේ ශක්තිමත් වෘත්තීය සබැඳියාවන් ඔප්නැංවීමටත් ඒ ඔස්සේ අවකාශය

සැලසෙනවා.

නමුත් මා මෙහිදී ගෙනහැර පෑ යුතු විශේෂ කාරණාවක් තියෙනවා. නිර්මාණකරුවන්

වශයෙන් අපි ආරම්භයේ පටන් අවසානය දක්වාම ප්‍රමුදිතව නිර්මාණකරණයේ

යෙදෙන්නට අත්‍යාවශ්‍යයි. අවසාන ප්‍රතිඵලයන් කෙරෙහි සාපේක්ෂ පුරෝකථනයන්

සිදුකරමින් නිර්මාණකරණයේදී කැපකිරීම් සිදුකිරීම මා දකින්නෙ අරුත්සුන් තීරණයක්

ලෙසයි.

සාපේක්ෂ පුරෝකථනයන්ගෙන් තොරව සාමූහික ප්‍රයත්නයක් වශයෙන් සිදුකෙරෙන

අවංක නිර්මාණ වෑයමකදී බොහෝ වටිනා දෑ පිළිබඳව අත්දැකීම් කේන්ද්‍රකොටගෙන

උගත හැකියි. එම ඉගෙනුම අනාගත ප්‍රශස්ථ නිර්මාණකරුවෙකු බිහිකරවීමේ වස්තු

බීජයන් උපද්දවන්නට සමර්ථ වෙනවා.

ඉහත කී පරිදි මම සාමාන්‍යයෙන් නිර්මාණකරණයේ යෙදෙන්නේ සාමුහිකවයි. එහිදී අපි

අතරෙ නිරන්තරයෙන් අදහස් හුවමාරු කෙරෙනවා. ඒ අතරින් සාමුහික එකඟතාවය

සපයාගන්නා ප්‍රශස්ථ අදහස් නිර්මාණයන් හට උපයෝගී කෙරෙනවා.

ජාත්‍යන්තර සංගීත වෙළඳපොළ කේන්ද්‍රකොටගෙන සිදුකෙරෙන නිෂ්පාදන කටයුත්තක්

සම්බන්ධයෙන්නම් ඉහත කී ක්‍රියාවලිය නිරවද්‍යභාවය සහිත සංඛයාත්මක තොරතුරු

විශ්ලේෂණයක් උපයෝගීකොටගනිමින් වඩාත් සෛද්දාන්තිකව සිදුකෙරෙනවා. නමුත් මගේ

අත්දැකීමේ හැටියටනම් ඒ සියළු උත්සාහයන්ගේ අවසන් ප්‍රතිඵලය හුදු ප්රේක්ෂක සංගීත

භාවිතාව මත තීරණය වනවා.

Q). සංගීත කර්මාන්තය තුළ ඔබ වර්ථමානයේ නිරත වී සිටින නිර්මාණාංගයන් හා

ඉදිරියේදී එළිදැක්වීමට සැලසුම් කරමින් සිටින නිර්මාණාංගයන් පිළිබඳව හෙළිදරව් කරමු.

A). මේ වනවිටදී සිනමා නිර්මාණයන් කිහිපයකම පසුභිම් සංගීතය සැපයීම වෙනුවෙන්

මගේ කාලය විඩංගු කෙරිලා තියෙනවා. ඒ නිර්මාණයන් ඉදිරියේදී ඒ සිනමා නිර්මාණයන්

සමඟින්ම මුදාහැරෙයි. එමෙන්ම ජාත්‍යන්තර සංගීත කර්මාන්තයන්හි වෘත්තීය ලෙසින්

නියැලෙන ප්‍රමුඛතම සංගීතවේදීන් කිහිපදෙනෙකු සමඟින් නිර්මාණය කෙරුණු නවමු

ආරයන්ගේ ගීතයන් කිහිපයක්ද එළිදැක්වීමට නියමිතව තියෙනවා. ඇත්තෙන්ම ඒවා

පොපියමින් තිබෙන යෞවනත්වය උදෙසාම වෙන් වේවි කියලා අපේක්ෂා කරනවා.

අවංකවම ප්‍රකාශ කළෝතින් මගේ සංගීත නිර්මාණයන් තුළ සිනමාත්මක රූපණය

හුවාදැක්වීම පිළිබඳ මම විශාල උනන්දුවක් දක්වනවා. මගේ දැනුමේ පරිද්දෙන් සංගීත

ඛන්ඩවලින් හා භාෂාවකින් නිරාවරණය කරගත නොහැකි මට්ටමේ ඇතැම් පරිකල්පනයන්

රූපණය තුළින් ද ප්‍රේක්ෂකයන් වෙත සම්ප්‍රේෂණය කළ හැකි වෙනවා. ඇමරිකා එක්සත්

ජනපදයේදී ලබාගත් වෘත්තීය රංගන පුහුණු පාඨමාලාව තුළින් ලත් සෛද්දාන්තික හා

ප්‍රාසාංගික ආභාශය මේ සඳහා බෙහෙවින්ම උපයෝගී කරගන්නවා.

Q). ඔබ ඇමරිකා එක්සත් ජනපදයේ වෘත්තීය රංගන පුහුණු පාඨමාලාවක් සාර්ථකව

නිමකර සිටින අයෙක් වශයෙන් ලාංකීය සිනමා කර්මාන්තය වෙනුවෙන් ඔබේ රංගන

ධායකත්වය සැපයීම සම්බන්ධයෙන් දරන අදහස පැහැදිලි කරමු.

A). මගේ රූපණ දක්ෂතාවයන් සාර්ථක ලෙසින් පිළිපිඹු කිරීමට ශඛ්‍යතාවයක් සහිත

ප්‍රශස්ථ පිටපතක් ලැබුණොත් නියත වශයෙන්ම ඒ පිළිබඳව පුර්ණ අවධානය

යොමුකරන්න බලාපොරොත්තු වෙනවා.

සැකසුම : හිරාන් ගමගේ

Sign up for our newsletter