Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Sanketh Wickramage

කලා ලෝකයෙහි අපි ආදරය කරන දක්ෂ තරු පවුලක සාමාජිකයෙක් සමග පිළිසදරෙහි යෙදෙන්නටයි අපගේ සුදානම. ඔබ අප කවුරුත් ආදරය කරන ප්‍රවීන රංගන ශිල්පීන් යුවලක් වන ආන්නද වික්‍රමගේ සහ මානෙල් වානගුරු දෙපළගේ දෙවෙනි පුත්‍රයා කිවාම ඔහු රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍යය කිපයක්ම ඔබට මතකයට නැගේවි.

එම ටෙලිනාට්‍යය අතරින් මෑත කාලයේදි ස්වාධීන රූපවාහිනියෙහි විකාශනය වු “කලු කුරුල්ලා” ටෙලිනාට්‍යය, සිරස TV නාලිකාවෙහි විකාශනය වු “චායා” ටෙලිනාට්‍යය සහ ස්වර්ණවාහිනියෙහි විකාශනය වු “කෝටිපතියෝ” ටෙලිනාට්‍යය ඔහුගේ රංගන හැකියාවන් මනාවට පිළිබිඹු කල ටෙලිනාට්‍යයන් වන අතර අපගේ හිතේද සුන්දර මතක සටහන් එකතු විශිෂ්ට නිර්මාණයන් වේ.

කුඩා කාලයේ සිටම කලාව තුලම හැදි වැඩුන ඔහු රංගනයේ දක්ෂතාවයන් සහ අත්දැකීමෙන් පරිපුර්ණ අයෙකු මෙන්ම ජනප්‍රියත්වයද එක ලෙසම පවත්වාගෙන ‍යන්නටද වාසනාවන්ත වුනා. නමුත් ඔහුව අපට මේ දවස්වල දකින්න නැත්තේ ඇයි? ඔහුගේ අලුත් තොරතුරු දැන ගන්නට අපි මෙවර සම්බන්ධ කර ගන්නේ අපි කවුරුත් ආදරය කරන සංකේත් වික්‍රමගෙ නම් වු රංගන ශිල්පයාවයි.

▪️සංකේත් වික්‍රමගේව අපිට මේ දවස්වල දකින්න නැත්තේ ඇයි?

පහුගිය කාලයේ විදෙස් ගත වෙන්න සැලසුම් කල නිසා සහ වෙනත් වැඩ කිපයක නියැලිමට සිදු වුන නිසා කලා නිර්මාණ සදහා දායකත්වය ලබා දෙන්න නොහැකි වුනා. මම දැනට මාස කිපයකට ඉහත දි එංගලන්තයෙහි පදිංචියට ආවා. ඉතින් මෙහෙ ඉදලා ලංකාවේ රූපගත කරන නිර්මාණය සදහා සම්බන්ධ වෙන්න අපහසු නිසා කලා කටයුතුවලින් කෙටි කාලයකට ඈත් වෙලා ඉන්න සිදුවෙනවා.

▪️ප්‍රේක්ෂක අප බොහෝ ආදරය කරන ඔබගේ පවුලේ අයගේ වතගොත ටිකක් කියමුද?

මගේ පවුලේ ඉන්නේ තාත්තයි, අම්මායි, අයියායි, මගේ බිරිඳ සහ අපිට දැන් චූටි පුතෙක් ඉන්නවා. අපි දෙන්නායි පුතයි බිරිදගේ තාත්තා සමග එංගලන්තයෙහි පදිංචි වෙලා ඉන්නවා. මගේ අම්මා සුපුරුදු පරිදි රංගන කටයුතු සදහා ඇයගේ දායකත්වය ලබා දෙනවා. මගේ තාත්තා පහුගිය කාලයේ අසනිපයෙන් හිටිය නමුත් ඔහු දැන් නිරෝගි සුවයෙන් ඉන්නවා. මගේ අයියා ජනිත් වික්‍රමගේ, එයත් සුපුරුදු පරිදි කලා කේෂ්ත්‍රයේ වැඩ කටයුතු වල යෙදිලා ඉන්නවා.

▪️ඔබගේ ජිවිතයේ ආදරය, ඔබේ ආදරණීය බිරිඳව අපට හදුනාවා දෙන්න කැමතියිද? ඇයව හමු වුනේ කොහොමද?

මගේ බිරිඳ අචිනි දුලංජලි දිල්හාරා. මම ඇයව දැන ගත්තේ මගේ යාළුවෙකුගේ මාර්ගයෙනුයි. ජනප්‍රිය පුද්ගලයන් සමග ගොඩක් දෙනෙක් හිතවත් වෙන්න, කතා බහ කරන්න කැමතියි. නමුත් අචිනි මට එහෙම විශේෂත්වයක් දැක් වුයේ නැහැ. මම එයාගේ ඒ ගතිගුණයට ගොඩක් කැමති වුනා.

මගේ අම්මා තාත්තා ලස්සන පවුල් ජිවිතයක් ගත කරනවා. අම්මා තාත්තට සලකන විදියට, ඔහුව රැක බලා ගන්න විදියට මම හරිම කැමතියි. අම්මයි මමයි හරි එකතුයි. මට සමහර වෙලාවට පොඩි බයකුත් හිතුනා අම්මා මගේ ලග නැති වුනොත් මට මොනවා වෙයිද කියලා.

මම ගිය ආත්මේ කරපු පිනකට වෙන්න ඇති අම්මා වගේම කෙනෙක් මට හම්බුනා. අචිනිගේ රූපයත් අම්මාට ගොඩක් සමානයි. ඉතින් අපි සතුටින් ජිවිතය ගත කරනවා.

ඒවගේම මගේ බිරිඳගේ තාත්තාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපි කවුරුත් අදුරන් නැති නොදන්න රටක ජීවත් වෙන්න අවශ්‍ය ගුරුහරුකම් ලබා දෙමින් අපිත් එක්ක හැමදාම ලගින් ඉන්නවට තාත්තට මම මගේ හද පතුලෙන් ම ස්තුතිවන්ත වෙනවා.

▪️එංගලන්තයේ ජිවිතය කොහොමද? ලංකාවට යන්න බලාපොරොත්තුවක් තියනවාද?

එංගලන්තයේ ජිවිතය ගොඩක් හොදයි. ලංකාවට වඩා වෙනස් පරිසරයක් නිසා මට මෙහෙට තව හුරු වෙන්න වෙනවා. මම දැනට ව්‍යාපාරයක් මිලදි ගෙන තියනවා. මෙම දිනවල එහි නිතිමය කටයුතු කිපයක් කරගෙන යනවා. මෙහෙ හැමදේම ප්‍රමිතියකට අනුකුලවයි සිදු වෙන්නේ.

මම හිතන්නේ එංගලන්තය ජිවත් වෙන්න හොද රටක් නමුත් මගෙයි බිරිඳ ගෙයි බලාපොරොත්තුව ලංකාවේ චාරිත්‍රවලට අනුව ශ්‍රී ලාංකික පසුබිමක අපේ පුතාව උස් මහත් කරන්න.

මම කවදාවත් ලංකාව අමතක කරන්නෙ නැහැ. ඉදිරි කාලයේදි මගේම කලා නිර්මාණයක වැඩ කටයුතු ආරම්භ කරන්න ලංකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

▪️ඔබේ රංගන ජිවිතයේ ආරම්භය පිළිබදව සහ මෙතෙක් රංගනයෙන් දායක වුන නිර්මාණ පිළිබදව කිවුවොත්..

මට වයස අවුරුදු 5 දි විතර මගේ තාත්තා රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍යයක් සදහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා. එය

මගේ පළමු ටෙලිනාට්‍යයයි. ඉන්පසු මට වයස අවුරුදු 10 දි විතර සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය තිර පිටපත රචනා කල කුලවමිය නම් ටෙලිනාට්‍යය සදහා තෝරා ගන්නවා. එම ටෙලිනාට්‍යයෙහි මට ලැබුනේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුගේ චරිතයක් ‍රග දක්වන්නයි. ඒ සදහා එවැනි දරුවෙකු සමග මම හිතවත් වෙලා කාලය ගත කරමින් අධ්‍යනය කලා. එම ටෙලිනාට්‍යයෙහි මගේ පියා සහ මව ලෙස රංගනයෙන් දායක වුන ලකි ඩයස් මහතා සහ වසන්ති චතුරාණි මහත්මිය මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ දෙපළව මම ආදරයෙන් මතක් කරනවා. මෙම නාට්‍යයෙහි මගේ චරිතය වෙනුවෙන් සිඩ්නිස් සම්මාන උළෙලෙහි සම්මානයෙන් ඇගයිම් ලබන්න මට හැකියාව ලැබුනා.

එමෙන්ම සුදත් රෝහණ මහත්මයාගේ එක ඉත්තක මල් සහ ගග අද්දර කැලේ යන ටෙලිනාට්‍යයන් සදහා රංගනයෙන් දායකවන්නට මට අවස්ථාව ලැබුනා. ඉන්පසු භාතිය සහ සංතුශ් දෙපලගේ උන්මාදිනි හැංගුනා ගීතයටද මට සම්බන්ධ වෙන්න පුලුවන් වුනා. ඒ අතරම පාසලේ කලා නිර්මාණය සදහා මම දායක වුනා.

කෙටි කාලයක විවේකයකින් පසුව ස්වාධීන රූපවාහිනියෙහි විකාශනය වු “කලු කුරුල්ලා” ටෙලිනාට්‍යය, සිරස TV නාලිකාවෙහි විකාශනය වු චායා ටෙලිනාට්‍යය සහ ස්වර්ණවාහිනියෙහි විකාශනය වු කෝටිපතියෝ ටෙලිනාට්‍යය වැනි ටෙලිනාට්‍යය කිපයකම රංගන දායකත්වය ලබා දෙන්න මට හැකියාව ලැබුනා.

ඉතින් එහෙත් මෙතෙක් මගේ රංගන ජිවිතය ගැන, මට ලැබුන අවස්ථාවන් ගැන මම සතුටු වෙනවා.

▪️ඔබගේ ජීවන රටාව අපට දකින්නට ලැබෙන අලුතින් ආරම්භ කල කාර්ය්‍ය පිළිබදව කියමුද?

මාව දන්න අදුනන අය මෙන්ම, මගේ ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් අහනවා “ඔයා කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? ඇයි අපට පේන්න නැත්තේ? කියලා. ඉතින් මට ආදරය කරන, මගේ තොරතුරු දැන ගන්න කැමති ඒ හැමෝම වෙනුවෙන් මම හිතුවා Youtube channel එකක් ආරම්භ කරන්න.

මගේ ව්‍යාපාර කටයුතු සහ පෞද්ගලික වැඩ කටයුතු නිසා කාර්යබහුලත්වය වුවත් මට ආදරය කරන අය වෙනුවෙන් කාලය වෙන් කර ගෙන එංගලන්තයේ තියෙන විශේෂ ස්ථාන සහ රසමුසු තැන් youtube channel එකක් ඔස්සේ පෙන්වන්න බලාපොරොත්තුවක් තියනවා. ඇත්තටම කිවුවොත් මේ සදහා මටත් වඩා උනන්දුවක් තියෙන්නේ මගේ බිරිඳටයි.

ඉතින් මගේ ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම ආරාධනා කරනවා “Sanketh Wickramage” මගේ Youtube channel එක සමග එකතු වෙන්න කියලා.

▪️රංගන ක්ශේත්‍රයෙන් දුරස් විම පිළිබදව ඔබට දැනෙන්නේ කොහොමද? කලා හැකියාවන්ගෙන්, අත්දැකිමෙන් පරිපුර්ණ වු එමෙන්ම ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔබව අපට නිර්මාණ තුලින් ඉදිරියේදි දකින්නට ලැබේවිද?

මේ වනවිට ලංකාවේ ප්‍රමිතියකට අනුව බොහෝ උසස් නිර්මාණය බිහිවිම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම ඉතා දක්ෂ නවක රංගන ශිල්ප ශිල්පිනියන් ක්ශේත්‍රයට එකතු වෙලා ඉන්නවා. මම හිතනවා ඒ අයටත් අපි අවස්ථාව දෙන්න ඕනේ කියලා.

මම මීට පෙර සදහන් කලා වගේ ගුණාත්මක නිර්මාණයක් ආදරණිය ප්‍රේක්ෂකයන්ට ලබා දීමේ බලාපොරොත්තුවෙන් ඒ සදහා මුලික වැඩ කටයුතු මේ වනවිට සුදානම් කරමින් ඉන්නවා.

ඉස්සර වගේ කලා නිර්මාණ සදහා දායකත්වය ලබා දෙන්න නම් බැරි වෙයි. නමුත් කලාවෙන් ඈත් වෙලා නම් නැහැ.

අමා නාකන්දලගේ

Sign up for our newsletter