Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Shihan Mihiranga

Sirasa Super Star ගායන තරු තරගය තුලින් ඔහු සංගීත ක්ශේත්‍රයට පා තබා දැනට දශක දෙකකට ආසන්න කාලයක් ගෙවි ගිහින් තිබුනත් එදා මෙන් අදත් වයස, ජාති, ආගම් එකි නොකි කිසිදු භේදයකින් තොරව ප්‍රේක්ෂක සිත් තුල ලැගුම් ගෙන සදා නොවෙනස් ආදරයක් ලබන්න ඔහුට හැකි වුනා.

පෙරදා මැවු සිනා, අද තනියෙන් මා, රතු රෝස මල් වගේම ඔහු මෑත කාලයේදි ප්‍රේක්ෂකයන්ට තිළිණ කල නගේ, ඇයි නපුරු වැනි ගීත තුලින් කාලයෙන් කාලයට එන විවිධ ආරයන්ට නතු නොවි ඔහුගේ අනණ්‍යතාවය නොවෙනස්ව පවත්වා ගනිමින් ප්‍රේක්ෂක රසවින්දනය සදහා ඔහු නිර්මාණ ඉදිරිපත් කලා. ඇත්තටම කිවුවොත් “ඒ වගේ ප්‍රේක්ෂක ආදරයක් ලබන්න හැමෝටම බැහැ”

ඔහු තරගකරුවෙකු ලෙස සහභාගි වු Sirasa Super Star තරගයෙහි ඔහුව විනිශ්චය කල ප්‍රවීනයන් සමග
Sirasa Super Star සහ Hiru Star වැනි තරගවල විනිශ්චය මණ්ඩලයෙහි සාමාජිකත්වය දරමින් උරෙන් උර ගැටෙමින් ඔහුට ආවේනික අනණ්‍යතාවය පවත්වාගෙන ‍යාම ඔහුගේ සාර්ථකවය සහ ආත්මවිශ්වාසය මනාවට පෙන්නුම් කරනවා.

මෙවර අපි Magazine සමග පිළිසදරට
අපි එකතු කර ගන්නේ එදා පැළදු ප්‍රේක්ෂක ආදරය නම් වු ඔටුන්නෙහි හිමිකාරිත්වය නොවෙනස්ව පවත්වා ගෙන යන යෞවනයේ සිහින කුමරා ශිහාන් මිහිරංග ටයි.

1. ශිහාන්, මේ දවස්වල කාර්ය්‍යබහුල කාලයක් නේද ගත කරන්නේ?

මේ ටිකේ ඇත්තටම වෙනදාට වඩා කාර්යබහුලයි. Covid කාල වකවානුවේදි විදේශ ප්‍රසංග සදහා සහභාගිවිම මුලුමනින්ම නවතා තිබුන නිසා විදේශ සංචාර සදහා ආරාධනා බොහෝමයක් ලැබිලා තියනවා. දේශීය ප්‍රසංග ප්‍රමාණයත් වෙනදාට වඩා වැඩි වෙලා තියනවා. එමෙන්ම Dreams Of Shihan නමින් මගේ තනි පුද්ගල ගීත ප්‍රසංගය මාලාවක් පැවැත්විමට සැලසුම් කරගෙන යනවා. එහි පළමු ප්‍රසංගය ඕස්ට්‍රේලියාවේදි අති සාර්ථක ලෙස පැවැත්වුන අතර ලංකාවේ පැවැත්විමට සැලසුම් කල ප්‍රසංග මාලාව කොලඹ නගරයෙන් ආරම්භ වී රටපුරා පැවැත්විමට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා.

2. ඔබේ නවතම ගීත නිර්මාණය “නගේ” හැදුන හැටි කියමුද?

ගුවන් ගමනක් යන අතරතුරදි එහි සේවය කරපු සුරූපි ගුවන් සේවිකාවක්ගේ සුන්දරත්වය දැකලා මගේ හිතට නැගුනු පද මාලාවකට අනුව “නගේ” ලියවුනේ මීට අවුරුදු ගණනාවකට කලින්. මෙහි තනුව මම නිර්මාණය ‍කලා. මලින්ද ලෝ ගීතයෙහි සංගීත සැකැස්ම සදහා සහය වුනා. නගේ ගීතයෙහි Youtube වීඩියෝව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි රූගත කෙරුණු අතර සැලසුම් කල ආකාරයට වෙනස්ම විදිහේ රූපමය වින්දනයක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න අපිට හැකිවුනා.

3. “නගේ” ගීතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

මෑතකදි නිකුත් වු නගේ සහ ඇයි නපුරු ගීත දෙකම මේ දවස්වල ලංකාවේ ඇහෙන ගීතවලට වඩා වෙනස් නිර්මාණ ලෙස හදුන්වන්න පුලුවන්. මම කැමතියි කාලයෙන් කාලයට එන විවිධ ආරයන්ට නතු නොවි මගේම ක්‍රමයකට ගීත නිර්මාණය කරන්න. මෙම ගීතය තවම සංගීත ප්‍රසංගවල ගායනා කරලා නැහැ. ඒවගේම දැනට පවතින ගීත දර්ශකවල ජනප්‍රිය ධාරවන් තුලත් නැහැ. නමුත් ශිහාන්ගේ ආරායට කැමති ප්‍රේක්ෂක පිරිසගෙන් ලැබෙන ප්‍රතිචාර ඇත්තටම ඉතාම හොදයි.

4. ඔබ විදේශ සංගීත ප්‍රසංග සදහා සහභාගි වන්නට වැඩි කැමැත්තක් දක්වනවාද?

ඇත්තම කිවුවොත් වැඩි කැමැත්තක් නැහැ. එයට හේතු වන්නේ, ලංකාවේ පැවැත්වෙන ප්‍රසංගය නැරඹිමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට ලැබෙන අත්දැකීම සීයට සීයක්ම විදේශ ප්‍රසංග නරඹන්නන්ට ලබාදීමේ අපහසුතායක් තිබිමයි. ලංකාව තුල පැවැත්වෙන ප්‍රසංග සදහා සංගීත කණ්ඩායම්, විශාල වේදිකාවන්, ශබ්ද පරිපාලන ක්‍රම, විදුලි ආලෝකකරණය වැනි සංගීත ප්‍රසංගයක් පැවැත්විමට අවශ්‍ය සියලු සේවාවන් සංවිධානය කරන පිරිසට දැරිය හැකි මුදලකට ලබා ගැනීමේ හැකියාව තියනවා. ලංකාවේ පැවැත්වෙන ප්‍රසංගවලට සාපේක්ෂව විදේශ ප්‍රසංගවලට සහභාගි වන පිරිස අඩුයි. ප්‍රසංගය පැවැත්විමට වැය කිරිමට සිදුවන වියදම වැඩියි. එමනිසා වියදම් කරන්න පුලුවන් ප්‍රමාණය යම්කිසි ආකාරයට පාලනය කරමින් ප්‍රසංග සැලසුම් කරන්නට සංවිධානය කරන පුද්ගලයාට සිදු වෙනවා. එහිදි සංගීත ප්‍රසංගයේ ගුණාත්මකභාවය පිළිබදව ගැටලු ඇති වෙන්න පුලුවන්. මෙය සෑම විදේශ රටකටම අදාල වන්නේ නැහැ. ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන ගුණාත්මකභාවය රැක ගනිමින් සාර්ථක ලෙස ප්‍රසංග පවත්වන පිරිසකුත් ඉන්නවා.

5. ඔබ සහභාගිවිමට නියමිත SYMPHONY LONDON ප්‍රසංගය පිළිබදව ඔබේ එංගලන්ත රසික රසිකාවියන්ට විස්තර කියමුද?

මම ලොකු කාලයකට පස්සේ ප්‍රසංගයක් සදහා එංගලන්තයට එන්නේ. SYMPHONY LONDON ප්‍රසංගය සංවිධානය කරන Affinity events කණ්ඩායම මේ සදහා යන වියදම් ගැන පමණක් හිතන් නැතුව ප්‍රසංගයේ ගුණාත්මකභාවය රැක ගනිමින් ‍ප්‍රසංගය සාර්ථකව පැවැත්විමට මූලිකව අවශ්‍ය වන දේවල් වෙනුවෙන් අවධානය යොමු කරන්න කැමැත්තෙන් ඉන්නවා. මේ වනවිට ප්‍රවේශ පත්‍ර ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ඉතුරු වෙලා තියන බවයි දැන ගන්න ලැබුනේ. ඉතින් වෙනස් ආකාරයේ සංගීතමය අත්දැකීමක් විදගන්නට එංගලන්තයේ වෙසෙන ප්‍රේක්ෂක ඔබට අපි ආදරයෙන් ආරාධනා කරනවා.

6. Hiru Star ගායන තරු තරගයෙහි විනිශ්චය මණ්ඩල සාමාජිකයෙක් වශයෙන් කටයුතු කිරිමේදි දිනෙන් දින සංගීත කේෂ්ත්‍රයට පැමිණෙන නවක ගායන තරු ඔබට මුණ ගැහෙනවා. ප්‍රවීන කලා කරුවෙකු වශයෙන් ඔවුන් ගැන ඔබේ අදහස මොකක්ද?

Sirasa Super Star ගායන තරු තරගය තුලින් සංගීත ක්ශේත්‍රයට පිවිස Sirasa Super Star නිවේදකයකු සහ විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු ලෙස වැඩ කරන්න මට අවස්ථාව ලැබෙනවා. Hiru Star තරගයට සම්බන්ධව Seasons 3 ක් මම වැඩ කලා. Sirasa Super Star තරගයට සහභාගි වෙන වකවානුවේදි මාව විනිශ්චය කරපු ප්‍රවීනයන් සමග එකම වේදිකාවක වැඩ කරන්න ලැබිම මට ඉමහත් ගරුත්වයක් සහ ආඩම්බරයක් වෙනවා.

එවැනිම අත්දැකීමක් ලබපු කෙනෙක් හැටියට තරගයට සහභාගි වන නවක ගායන තරු සමග වැඩ කරන්න සහ ඔවුන්ව විනිශ්චය කරන්න මට ඉතාම පහසු වුනා. Hiru Star තරගය තුලින් මම වගේම අවස්ථාවන් හොයන අලුත් පරම්පරාවට උදව් කරන්න ලැබුන හොද අවස්ථාවක් විදියට කියන්න පුලුවන්. ඉදිරියේදි තරගය වෙනුවෙන් මාස 19 ක් වැනි කාලයක් වෙන් කර ගැනිමේ අපහසුතාය නිසා Hiru Star Season 4 වැඩසටහන සමග මම සම්බන්ධ වෙන්නේ නැහැ.

7. ඔබ කේෂ්ත්‍රයට පැමිණෙන කාලයේදි පැවති ගායන තරු තරග සහ වර්තමාන ගායන තරු තරග අතර ඔබ දකින වෙනස මොකක්ද?

ඉස්සරට වඩා තරගකරුවන්ගේ දක්ෂතාවයන් වැඩි කියලා මම හිතනවා. අපි ක්ශේත්‍රයට එන කාලේ රූපවාහිනිය හෝ රෙඩියෝව වැනි පොඩි වපසරියකින් දැනුම හොයා ගත්තේ. නමුත් Youtube, Google වැනි මාධ්‍යයන් තුලින් නව පරපුරට ලෝකය දකින්න සහ අත්හදා බැලිම් කරන්න අවස්ථාව තියනවා.

එමෙන්ම ඉස්සර ගායන තරු තරග තිබුනේ අතලොස්සයි. නමුත් දැන් විවිධ නාලිකාවන් තුලින් තරග බොහොමයක් සංවිධානය කරනවා.
මම ඒකට කැමතියි මොකද නවකයන්ට වැඩි අවස්ථාවන් ප්‍රමාණය ඒතුලින් ලබා ගන්න පුලුවන්. තරග ප්‍රමාණය වැඩි නිසා නරඹන ප්‍රේක්ෂකාගාරය බෙදිලා තියනවා දකින්නට පුලුවනි.

8. ඔබ ඉදිරියේදි සහභාගිවිමට නියමිත දේශීය සහ විදේශීය ප්‍රසංග පිළිබදව ඔබේ රසික රසිකාවියන්ට කියමුද?

මගේ ඒක පුද්ගල ප්‍රසංග මාලාව Dreams Of Shihan කුරුණෑගල, මහනුවර, මාතර වැනි නගරවල පැවැත්විමට සියළු කටයුතු සැලසුම් කරමින් තියනවා. ඊට අමතරව ලංකාවේ විවිධ පලාත්වල ප්‍රසංග කිහිපයකට සහභාගිවිමට නියමිතයි. එමෙන්ම එංගලන්තය, ජපානය, ඩුබායි, කැනඩාව, ඇමෙරිකාව වැනි රටවල්වල විදේශ සංචාර සදහා ආරාධනා ලැබිලා තියනවා.

9. ඔබේ සාර්ථකව පසුපස නිබදව ඔබ හා සිටින ඔබේ ආදරණීයන් මතක් කරමුද?

මගේ සාර්ථකත්වයට පළමු හේතුව වන්නේ අවුරුදු 18 වැනි කාලයක් මට වැටෙන්න දෙන්නේ නැතුව මා වටා ඉන්න ප්‍රේක්ෂකයන්. ඔවුන් මට ලොකු හයියක්. ඒවගේම මගේ බිරිඳ, දරුවෝ, අම්මා, තාත්තා සහ නැදෑයන් මගේ පෞද්ගලික ජිවිතය සහ වෘත්තීමය ජිවිතයට හානියක් නොවෙන විදියට හැසිරෙමින් මගේ සංගිත ගමන නිදහසේ ගොඩ නගා ගන්න උදව් කරනවා.

10. Sirasa Supers Star සංගීත තරගයෙන් ආරම්භව එතෙක් මෙතෙක් කාලය තුල ප්‍රේක්ෂක සිත් තුල නොවෙනස් මතකයන් එකතු කල ඔබගේ අනාගතය බලාපොරොත්තු මොනවාද?

එහෙම විශේෂ බලාපොරොත්තුවක් නැහැ. මට හැකි කාලයක් ගායනය කරන්න මම කැමතියි නමුත් අනාගතයේදි හැමදාම ගීත ගායනා කරන්න හෝ එමගින් ආදායමක් උපයන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. කරදරයක් නැතුව නිදහස් තැනක ජිවිතය ගත කරන්න මම කැමතියි කිවුවොත් නිවැරැදියි.

අමා නාකන්දලගේ ✍🏼
(අපි Magazine)

Sign up for our newsletter