Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Yonghe Temple(යොංහ පන්සල)

雍和宫  “සාමයේ හා සමගියෙහි මාළිගාව” හෙවත්

Lama Temple(ලාමා පන්සල )

මෙය පිහිටා ඇත්තේ චීනයේ බෙයිජිං හි ඩොන්චෙන්ග් දිස්ත්‍රික්කයේ, දෙවන වළල්ල පාරේ (second ring road) ඊසානදිග කෙළවරේ ය.  (බෙයිජිං නගරය පිහිටා ඇත්තේ වළලු ආකාරයටය. එලෙස වළලු 5 කින් නගරය සමන්විත වේ).

   බෙයිජිං නගරයේ උමං දුම්‍ රිය  මාර්ග අංක 2 හෝ මාර්ග අංක 5 මගින් මෙම ලාමා පන්සලට ළගා විය හැක.

ඉතිහාසය

👑 1694 දී චිංග්(Qing) රාජවංශය සමයේ ඉහත පන්සලේ ඉදිකිරීම් ආරම්භ කර ඇති බවත් එය, එයට පෙර රාජවංශයේ නපුංසකයන් සඳහා නිළනිවාසයක්ව පැවති බවත් කියැවේ.

👑 පසුව එය කංසි(Kangxi) අධිරාජ්‍යයාගේ සිව්වන පුත්‍රයා වන යිංජෙන්(Yinzhen) හෙවත් යොං කුමරු ගේ නිවස බවට පරිවර්තනය වී ඇත.

👑 1722 දී යොං(Yong) කුමරු යොංග්ජෙංග් අධිරාජ්‍යයා ලෙස සිංහාසනයට පත්වීමෙන් පසු, ගොඩනැගිල්ලේ අඩක් ටිබෙට් ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ආරාමයක් වන බවට පරිවර්තනය වී ඇත. අනෙක් අර්ධය අධිරාජ්‍යන්ගේ මාළිගාවක් ලෙස පැවත ඇත.

👑 1735 දී  යොන්ග්ජෙං(Yongzheng) අධිරාජ්‍යයාගේ මරණයෙන් පසු ඔහුගේ මෘත දේහය ඉහත මාළිගාවේ තැන්පත් කර ඇතැයි කියවේ.

👑 යොංග්ජෙංග් අධිරාජ්‍යයාගෙන් පසු එහි බලයට පත් වූ චිආන්ලොංග් (Qianlong) අධිරාජ්‍යයා විසින් දේවමාළිගාවේ තිබූ ටර්කියුයිස් උළු ඉවත් කර අධිරාජ්‍යයන්ගේ අනන්‍යතාව සංකේතවත් කරන කහ පැහැති උළු තැන්පත් කිරීම මගින් මෙයට අධිරාජ්‍ය පෙනුමක් ලබා දුන් බව කියැවේ.     

👑 මෙම ආරාමය මොන්ගෝලියාවේ සහ ටිබෙට්හි බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසකගේ වාසස්ථානයක් බවට පත් වූ අතර, ඒ නිසාම ලාමා පරිපාලනයේ ජාතික මධ්‍යස්ථානය බවට මෙය පත්වූ බවත් කියැවේ.

👑 එමෙන්ම මෙම විහාරස්ථානය 1929 දී චීන ජාතිකවාදී රජයට එරෙහිව ගොඩනැගුනු  සන්නද්ධ කැරැල්ලක කේන්ද්‍රික ස්ථානයක්ද වූ බවත් කියැවේ.

👑 1949 දී චීන සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු මෙය ජාතික ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එයින් වසර 32ක් ඉදිරියට එය වසා දමා තිබී ඇත.

 👑 අගමැති ජව් එන්ලායි(Zhou Enlai) (වඩා ප්‍රසිද්ධ චව් එන්ලායි නමිනි) ගේ මැදිහත්වීම මත ලාමා පන්සල සංස්කෘතික විප්ලවයෙන් බේරී ඇති බව කියනු ලැබේ. 

👑 1981  දී එය නැවත මහජනතාව සඳහා විවෘත කරන ලද බවත් කියවේ.

විශේෂත්වයන්

යොංහ දේවාලයේ ප්‍රධාන ශාලා පහක් (05)ඇත.

🏯Yonghegong(යොංහගොංග්)ශාලාව

🏯Yonghemendian(යොංග්හමන්ඩිඅන්) ශාලාව

🏯Wanfuge(වන්ෆුග) ශාලාව

🏯Falundian(ෆාලුන්ඩිඅන්)ශාලාව

🏯Yongyoudian(යොංග්‍ යොඋඩිඅන්)ශාලාව

    මෙම ශාලා පහත නිර්මාණයන්ගෙන් සමන්විත වේ.

 🏯 මෙම දේවමාළිගාවේ ප්‍රධාන ගොඩනැගිල්ල වන්නේ Yonghegong ශාලාවයි. එහි යුග තුනක බුදුවරුන්ගේ ලෝකඩ පිළිම තුනක් ඇත. ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රතිමාව මධ්‍යයේ ද ,දීපංකර බුදුන් වහන්සේගේ ප්‍රතිමාව දකුණේ ද ,මෛත්‍රෙය  බුදුන් වහන්සේගේ ප්‍රතිමාව වමේද තැන්පත් කර ඇත.

🏯 Yonghemendian  ශාලාව ප්‍රධාන ශාලාවට දකුණු දෙසින් පිහිටා ඇති අතර එහි මධ්‍යයේ මෛත්‍රී බුදු පිළිමයක් ද, බිත්ති වල ස්වර්ගයේ සිටින්නා යැයි විශ්වාස කරන රජවරුන් සිව්දෙනෙකුගේ පිළිම ද නිර්මාණය කර ඇත.

🏯 Wanfuge ශාලාවේ මීටර් 18 ක් උස (අතිරේක මීටර් 8 ක් භූගතව ඇති අතර සම්පූර්ණ උස මීටර් 26) සුදු සඳුන් දැවයක කැටයම් කරන ලද මෛත්‍රෙය බුදු පිළිමයක් ඇත. මෙය හත්වන දලයි ලාමා තුමා විසින්  චිආන්ලොංග්(Qianlong) අධිරාජ්‍යයාට දුන් තෑග්ගක් වූ අතර ටිබෙටයෙ  සිට බෙයිජිං දක්වා ප්‍රවාහනය කිරීමට වසර තුනක් ගතවී ඇති බව පැවසේ. මෙම පිළිමය 1993 දී ගිනස් වාර්තා පොතට ඇතුළත් කළ දේවමාළිගාවේ කලා කෘති තුනෙන් එකකි.

🏯 Falundian ශාලව කියවීමට හා ආගමික උත්සව පැවැත්වීමට සුදුසු ස්ථානයක් ලෙස පවත්වාගෙන යයි. ගෙලුක් පාසලේ නිර්මාතෘ ජ ට්සොන්කාපා (Je Tsongkhapa) ගේවිශාල පිළිමයක් එහි සාදවා ඇත.  මෙම ශාලාවේ දෙපස ලෝහ පහකින් (රන්, රිදී, තඹ, යකඩ සහ ටින්) සාදන ලද  අරහත් ප්‍රතිමා 18ක් තැන්පත් කර ඇත.  එහි බිතුසිතුවමක බෝධිසත්ව යුගය නිර්මාණය කර ඇත.

🏯 යොංග්ජෙංග් අධිරාජ්‍යයාගේ මරණයෙන් පසු ඔහුගේ මෘතදේහය තැන්පත් කර ඇත්තේ Yongyoudian ශාලාවේය.මෙම  ස්ථානයේ බයිසාජ්‍ය-ගුරු (සුව කරන බුදුන්ගේ) ප්‍රතිමාවක් ඇත.

සාමාන්‍ය ආගමික ස්ථානයක දක්නට ලැබෙන මෙහි දැකිය නොහැකි විශේෂම කරුණ වන්නේ පහන් දැල්වීමට නොහැකි වීමයි. තමන්ගේ ප්‍රාර්ථනාවන් සිතේ තබාගෙන මෙම ස්ථානයටම විශේෂිත සුවඳකූරු වර්ගයක් පමණක් දැල්වීමට අවසර ඇත.

පන්සලට ඇතුල් වීමේ දොරටුව ආසන්නයේ විශාල සමරු සිහිවටන අලෙවිසලක් පිහිටා ඇති අතර එහි ඇති ඇතැම් සිහිවටන සාමාන්‍ය ජනයාට දැරිය නොහැකි මට්ටමේ ඉතාමත් අධික මිළ ගණන් වල ඒවා වේ.

ඉතා දිගු ඉතිහාසයක් ඇති මෙම ලාමා/යොංහ පන්සල අද වන විට බෙයිජිං නගරයේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් හිමි වී ඇති ආගමික ස්ථානයකි.

©️දිගැ𝓩✍️

📷 Mahesh Malinga Senanayake

Sign up for our newsletter