Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
Api-Slide-56-3
previous arrow
next arrow

ආදරේ ද? ආදරෙයි ද?

ආදරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ලැබෙන පිළිතුරු එකකට එකක් වෙනස්.‍ යමෙකුට ආදරය ආත්මාර්ථකාමී හැඟීමක් වෙද්දි තවත් අයෙක්ට ඒ ආදරයම පරිත්‍යාගයක් වෙන්න පුළුවන්. විවිධාකාර වූ ආදරයන් අතර ලෝකයම හැඩ කරන සුන්දර ආදරයක් තමයි තාරුණ වියේ ආදරය කියන්නෙ. තාරුණ විය කියන්නේ සැබැවින්ම බොහොම දඟකාරී සුන්දර කාලයක්. නමුත් මේ ආදරයම ඔවුන් වටා පාරාවළල්ලක් වෙමින් තරුණ ජීවිත සිය ජීවිතය පවා හානිකර ගැනීමට පොළොඹවන ඛේදවාචකයක් බවට අද වෙද්දි පත්වෙලා.

වත්මන් කාලයේ රටේ සංස්කෘතියට සාපේක්ෂවයි ආදරය හැඩගැසීම සිදු වන්නේ. ආසියාතික සමාජයට සාපේක්ෂව බටහිර සමාජය තුළ ආදරය වෙනස් හැඟීමක්. බටහිර සමාජයේ තාරුණ්‍යට ආදරය සැහැල්ලු හැඟීමක් වෙද්දී ආසියානු සමාජයේ පෙම්වතුන්ට ආදරය තමන්ගෙ මුළු ජීවිතේ ම බවට පත්වී ඇත. අප සමාජයේ ආදරයේ පිරිසිදුකම ගැන දීර්ඝ ප්‍රේම කතා ලියවෙයි. ඒවා ඇතුළත සිටින පෙම්වතුන් බොහෝ අහිංසක චරිත. තරුණ තරුණියන් අතරේ මේ ආදරේ කියන්නේ හිමි කර ගැනීමක්ය යන ප්‍රතිරූපය එතනින් නිර්මාණය කර ඇත. මෙය ආසියාතික සමාජයේ පෙම්වතුන්ගේ මූලිකම ලක්ෂණයක්. එමෙන්ම ලංකාවේ සමාජ සංස්කෘතිය තුළ තරුණිය තරුණයාගෙන් කැමැත්ත ඇසීමට මුලින්ම පෙළඹෙන්නේ නැහැ. ගැහැණු ළමයා ඉස්සර වුණොත් අපේ සමාජය එය මහා බරපතළ වරදක් ලෙස දකිනවා. මේ නිසාම විවාහවීම් සදහා විරුද්ධ පාර්ශවය තෝරා ගැනීමේදී බරපතල ගැටලුමය තත්ත්වයන් ඇතිවූ අවස්ථාද ඔබ අසා ඇති. 

දකුණු ආසියාතික සමාජය  නවීකරණය කළත් විසි එක් වැනි සියවසේ හිනිපෙත්තේ සිටියත් අභිචාර විධි වල වෙනසක් සිදු වී නොමැත. ආදරය යන සංකල්පයේ දී අදටත් සාම්ප්‍රදායික රටාවට මුල් තැන දීම දක්නට හැකි පැහැදිලි කරුණකි. ඊට හේතු වී හේතුවී තිබෙන්නේ භෞතික සංස්කෘතියට සාපේක්ෂව අභෞතික සංස්කෘතිය වෙනස් නොවීමයි. සාම්ප්‍රදායික සමාජය තුළ අවිධිමත් සමාජ පාලන උපක්‍රම වලට ප්‍රබල ස්ථානයක් හිමිව පැවතිණි. සංස්කෘතිකමය සිරිත් විරිත් වලින් සමාජයෙහි යම්කිසි ආකාරයක පාලනයක් නිර්මාණය වීම දක්නට පුළුවන. උදාහරණයක් වශයෙන් තරුණියකට තරුණයෙකු මුණ ගැසී කතාකිරීමට පැවතුණේ ඉතා සීමිත නිදහසකි. වක්‍රාකාර අවිධිමත් සමාජ උපක්‍රම හරහා තාරුණ්‍ය යම් පාලනයක රැඳවීමට එදා සමාජයට හැකියාව ලැබිණි. ඒ හේතුව මත ආදරය යන සංකල්පයේ රාගය මිශ්‍ර වූ අවස්ථාවන් ඉතා අවම විය. 

මෙහිදී මතු වන ප්‍රබල ගැටලුව නම් ලිංගික අධ්‍යාපනේ අවම බවයි. වැඩිවියට පත් වීමත් සමඟ ඇතිවන කායික මානසික වෙනස්කම් පිළිබඳ ඔවුන්ට පවතින්නේ අවම අවබෝධයකි. වැඩිවියට පත් වීමත් සමඟ දැනෙන හැඟෙන සිතුවිලි ආකල්ප පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැතිවීම මත ඔවුන් නිතැතින්ම ආදරයෙන් වල්මත් වීම හා අතරමං වීම සාමාන්‍ය තත්ත්වයක්. එය එසේ නොවුනහොත් අසාමාන්‍ය තත්ත්වයක්. වත්මන් තාරුණ්‍යයේ ආදරය සිවදිවි නසා ගැනීමට තරම් සාහසික තත්ත්වයට පත් ව පවතී. මෙය පැහැදිලි වශයෙන් කායික හා මානසික සුරක්ෂිතතාව අහිමි වීම හා සමාජ සම්බන්ධතා බිඳ වැටීමෙහි ප්‍රතිඵලයකි. ආසියාතික සමාජයේ පෙම්වතුන් ඇත්ත ජීවිතයේ කිරීමට අපහසු දේ පිළිබඳ තෘප්තිමත්භාවයට පත් වන්නේ සිහින තුළ ජීවත් වීමෙනි. ඔවුන් තුළ ප්‍රේම සම්බන්ධතාවයෙහි අවිනිශ්චිත බව පිළිබඳ කිසිඳු හැඟිමක් නැත. පෙම් සබඳතාව බිඳ වැටුණහොත් කරකියා ගත හැකි කිසිවක් ඔවුනට නැති වීම ස්වභාවිකය. මෙහි ඇති ශෝචනීය තත්ත්වය නම් එවැනි අවස්ථාවක ඒ පිළිබඳ කතා කරන්නට විසඳුම් දෙන්නට කෙනෙකු ඔවුන් අසල නොමැති වීමයි. යමෙකු ගැටලුවට විසඳුම් නො දුන්න ද තම දුක වේදනාව අසා සිටීම පමණක් ම එම පුද්ගලයා හට යම්කිසි සහනයක් නිතැතින්ම හිමි වෙනවා. එනම් පවතින තරඟකාරී සමාජ ක්‍රමය ඇතුළත කෙනෙකුට තවකෙකු වෙනුවෙන් වැය කරන්නට කාලය නොමැති වීම මෙයට බලපානවා. සංකීර්ණ සමාජ සබඳතා ඇතුළත තාරුණ්‍යය සැහැල්ලුව විඳින්නේ තම ආදරය තුළින්. එය අහිමි වීම ඔවුන්ට තවදුරටත් මානසික සුවය පිළිබඳ අපේක්ෂාවන් තබා ගැනීමට නොහැකි තත්ත්වයක්. 

තාරුණ්‍යය ස්වභාවයෙන් ම ආවේගශීලීයි. ඔවුන් ඕනෑම අවස්ථාවක ක්ෂණික ව තීරණ ගැනීමට පෙළඹෙයි. නූතන තරඟකාරී සමාජ රටාව තුළ ඔවුන් ක්ෂණික සියදිවි නසා ගැන්මට යොමුව ඇත. මෙවැනි අවස්ථාවක රටක මාධ්‍යයට පැවරී තිබෙන වගකීම සුළුපටු නැත. ආදරය අහිමි වීම මූලික කරගෙන සියදිවි නසා ගත් සිදුවීම් මාධ්‍ය තුළින් උලුප්පා පෙන්වීම අද විලාසිතාවක් වී ඇත. එයින් සිදු වන්නේ සමාජයේ අනිත් තරුණයන්ට ද එය සාමාන්‍ය කරැණක් බවට පත් වීමයි. ප්‍රථම පෙම විවාහ කර ගත යුතුයි යන සිතුවිල්ල ආසියාතික සමාජයෙන් අපට හිමිව පවතින්නක්. නමුත් විය යුතු වන්නේ එය නො ව ඔවුන් අතර ඇති නොගැලපීම්, ගැටළු දෙදෙනා විසින් මනා ලෙස අවබෝධ කර ගැනීමයි. එමඟින් තරුණ ජීවිතවල පමණක් නොව සමස්ථ සමාජය තුළ උද්ගතව ඇති සෝචනීය් තත්ත්වය වළක්වා ගැන්මට හැකියාව ලැබේ.

වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

Sign up for our newsletter