පුංචි දේටත් ඇස් රතු කරගෙන අඬන, බෝනික්කි පැටව් තුරුල් කරගෙන නිදාගන්න, සුන්දර ගැහැණු ළමයින්ම කවියෝ උපමා කරන්නෙ ලස්සනම ලස්සන මල් වලට,එහෙම නැත්තම් පුංචි සුරංගනාවියන්ට.
පුංචි කාලෙ කොහෙන්දෝ ඔලුවට ආපු ඒ සුරංගනා හැඟීම, ළමා විය ඉක්මවා හිරිමල් අවධියට පය ගැහුවට පස්සේ උනත් ගෑණු හිත් වලින් තුරන් වෙනවා අඩුයි.
සැබෑ ජීවිතේ ඉෂ්ට කරගන්න පුළුවන් උනත් බැරි උනත් හැම කෙල්ලෙක්ම හැම දුවෙක්ම, හැම ගැහැණු ළමයෙක්ම සිහිනයකහරි සුරංගනාවියක් වෙලානම් තියනවා.
ඒ වගේම ජීවිතේ පුරාවටම සුරංගනාවියක් වගේ සුන්දරව ජීවත් වෙන්න හීන මවාගෙන ඒ හීනවලම ජීවත්වෙන අයත් ඉන්නවා.
හැබැයි ඇසූ දුටු බහුතරයක් කථාවල හිටපු කුමරයෝ, එක එක විදිහේ සුන්දර, අති සුන්දර
සුරංගනා ලෝක මවා පෙන්නුවට, ඒ සුරංගනා වියෝ කැන්දන් යන්න, අශ්වයෝ පිටින් ඇවිත් තිබුනේ නම් නැහැ.
ඒ නිසා ඒ කාලෙ කෙසේ වෙතත්, වර්තමානයේ නම් ගැහැණු ළමයි, එල්සා, සින්ඩරෙල්ලලා, රපන්සල් නෙමෙයි, ඒ කිසිම විදිහේ ලඳ බොළඳ සුකුමාල, ලේසියෙන් අහුවෙන සුරංගනාවියක් නම් විය යුතු නැහැ.
ගැහැණු විදිහට හෝ ගැහැණු ළමයින්ගේ දෙමව්පියෝ විදිහට අපි අපේ කෙල්ලෝ ඕනවට වඩා බොළඳ කුමාරිකාවෝ කරන්න හිතන්නවත් හොඳ නෑ .
මගේ දියණිය පමණක් නොව හෙට පිබිදෙන්න ඉන්න කිසිම දියණියක් සුරංගනාවියක් වෙන්න හීන දැකිය යුතු නැහැ.කාගෙ හෝ රැජිනක් වීමට එහා ගිය, ස්වාදීන,නිවහල්, නිදහස්, සිහින ලෝක පසුපස අපේ දූවරු සිය ගමන බුද්ධියෙන් යුතුව ආරම්භ කල යුතුය.
අතීතයේ රුව ඇති දුවයි කට ඇති පුතයි කිව්වට, අද රුව කෙසේවෙතත් කට නැතුව නම් ගැහැණුන්ට ගෞරවණීය ලෙස සමාජ ගත වීම නම් ලේසි වැඩක් නෙමෙයි.
බස් එකේදී, ඔෆිස් එකේදී, සමාජයේදී,අපිට පය ගහන්න වෙලා තියෙන්නේ අවිහිංසක, සුකුමාල, අති සුන්දර සමාජ වටපිටාවක නෙමෙයි,
ලොව වැඩිම ස්ත්‍රී දුෂණ සහිත රටක, ලොව වැඩිම කාන්තා හිංසනයයන්ගෙන් ගෘහස්ථ හිංසනයනගෙන් පිරුණු සමාජ වටපිටාවක,කාන්තාවක වීමට නම් රුව ඇතුව හෝ නැතුව උවද “කට “නම් තිබිය යුතුමය.
මොන තරම් උගත් වුවත්,මොන තරම් බුද්ධිමත් වුවත්, මොන තරමේ දාර්ශනික චරිතයක් වුවත්, ප්‍රේමය ඉදිරියේ, ආදරණීය වචන ඉදිරියේ, සුන්දර හීන වැල් ඉදිරියේ,බොහෝවිට කාන්තාවන්ගේ හැඟීම්වල සීමාව බුද්ධියේ සීමාවට වඩා බොහෝ ඉදිරියෙන් ක්‍රියාත්මක වෙනවා.
අනේ මැණික, මගෙ පණ කියපු ගමන් හැඳි වත උනා ජීවිතේ වටිනාකම රුපියල් දාහට දෙදහට තැන් තැන්වල දිය වුන කථා නම් කී දාහක්ද?
එකම වරද දෙතුන් සැරයක් කරලත් මට්ටු නොවී ආයෙත් වරක් ඒකටම රැවටෙන බොහො ගැහැණු නූගත්, සමාජ ආශ්‍රයක් නැති අයම පමණක් නොවේ.
එනිසා, වගේ පවතින සමාජයේ කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් විදිහේ දූවරුයි අපට අවශ්‍ය.
ජීවිතේ සෑම අවස්ථාවකම පුර්ණ සත්‍යවාදී වීම,100% අවංක වීම, අසාමාන්‍ය කැපවීම, ප්‍රේමය අති උත්තරීතර බව දිවි නොතකා රැක ගැනීම ඉතා හොඳ ගුණයන් වූවාට, වර්තමාන සමාජ හැඩටට සමගාමිව බලන විට මේ කරුණු වලට කලින් තවත් බොහෝ කරණු දූවරු න්ගේ මනසේ තැන්පත් කල යුතුව ඇත.
ප්‍රේමය උත්තම ලෙස හිස මුදුනේ තබා ගෙන පුද පුජා කරන සදාතනික ප්‍රේමවන්තයෝ බෙහෙතකටවත් මේ කාලේ නැත ,හිටියත් ඔබට එවැනි අයෙකු හමුවේ දැයි නිශ්චිත කල නොහැක , ඒ නිසා පණ නොතකා පිරිමියෙක් වෙනුවෙන් කැප වීමට ඔබ හදිස්සි විය යුතු නැත. මගදී අතහරින , රිද්දවල සතුටුවෙන ප්‍රේම කතා ඉදිරියේ කඳුළු නොසලා සමුදීමට තරම් ඔබ ශක්තිමත් විය යුතුය.
කිසි දෙයක් ස්ථිර නැති ලෝකේ ස්ථිර ආදරේ හොයා හොයා දඟලනාවට වඩා සතුටෙන් සිටීමට තව ඕනෑ තරම් දේවල් තියන බව ගැහැණු ඔබට ඉගනගන්නට ඇත.
කිසිවෙකුටත් කලින් තමාට ආදරේ කිරීමටත් හදවත අඩුවෙන් පාවිච්චි කරලා බුද්ධිය වැඩිපුර පාවිච්චි කරන්නටත් ඔබ ප්‍රැක්ටිස් කල යුතුය .
princess ලගේ කතාවල් වල වගේ ඇත්ත ජීවිතේ සියල්ල අතට පයට හම්බෙලා ලස්සන ඇඳුම් ආයිත්තම් වලින් සැරසිලා ජීවිතේ පුරාවටම ඉන්න ලැබෙන්නේ නැත , දෙමව්පියන් ඔබ වෙනුවෙන් යමක් එකතු කරලා දුන්නත් නැතත්,නුඹ වෙනුවෙන් මන්දිර , යාන වාහන නුඹම උපයා ගත යුතුය , දාසියක ලෙස අනුන්ගේ මැදුරක ඔබ ලැගුම් ගත යුතු නැත.
princess ලට වගේ නුඹට හැමදාම හිනාවෙන්නටම නොහැක .සියලු වේදනා කඳු වල ගුලිකර හැර , පර්වතයක් වගේ වේදනා දරන්නට ඔබ ඉගන ගත යුතුය .
රජ මදුරු වල වගේ කඳුළු පිසීමට පරිවාරයෝ නුඹේ ජීවිතයේ නැත ,ඒ වෙනුවට හිතවත්, අහිතවත් සියල්ලෝ කටු වලින් අනිමින් මග හරස් කරමින් , බොරු වලවල් කපන පිරිසකට ඔබ මුහුණ දිය යුතුය .ඉතින් නුඹ පුර්ණ සත්‍යවාදී විය යුතුද නැත .තැනේ හැටියට ඇනේ ගැසීමේ කළාව ගැහැණු ඔබ හොඳින්ම ප්‍රගුණ කල යුතුව ඇත .
සුන්දර සිහින ලෝකවල හැම කතාවෙම අවසානේ වගේ ඔබේ කතාව අවසානයේ Live happily ever after, ලෙස නොවිය හැකිය .
එනිසා ජීවිතය පුරාවට ඔබ සමග කව්රු හිටියත් කවුරු නොසිටියත් ”Everything goes on with you or without you ” ක්‍රමවේදයට හැම ගැහැණු ළමයෙක්ම හුරුවිය යුතුය.
තනිවෙන, විඳවන, දුක්වෙන ගැහැණු ඒ තත්වයට පත් වූ හැටි අසා දුක් වෙනවා වෙනුවට, ඔබ ඒ තත්වයට පත් නොවන්නේ කෙසේද කියා ඉගනගත් දාට, ගැහැණු දුර්වලයි, ගැහැණු බොළඳයි, ගැහැණුන්ගේ නුවණ හැඳි මිටයි කියපු සියල්ලන්ටම කථා කිරීමට අළුත් මාතෘකාවක් සොයා ගන්නට වේවී.
අන්න ඒ දවස හැකි ඉක්මනින් උදා කරලීමට නම්, ගැහැණු අපි සහ අපෙන් පසු පරපුර, තව දුරටත් බොළඳ නොවිය යුතුය,ජීවිතයේ එකම අරමුණ ප්‍රේමය යයි සිතා ප්‍රේමය ඉදිරියේ ජීවිත පරිත්‍යාග කරන්නන් නොවිය යුතුය, යපෙන්නෙක් නොවිය යුතුය, කශේරුකාවක් ඇති, තමා වෙනුවෙන් කවුරු හිටියත් නොහිටියත් තනියම ජීවිත ගමන යා හැකි, වචන ඉදිරියේ නොරැවටෙන, හැඟීම් පසෙකලා බුද්ධිය මෙහෙයවිය හැකි
“වතුර උතුරන තරමටම හයිය වෙන බිත්තර” වගේ ගැහැණු විය යුතුය.
අනීෂා ජයකොඩි
ජීවන කුසළතා හා පෞරුෂ වර්ධන උපදේශිකා