Api-Slide-50-1
Api-Slide-50-2
Api-Slide-50-3
previous arrow
next arrow

ඊගල්ස්ටෝන්

අහස උසට ඉදිවුණු ගොඩනැගිලි , වාහන පිරි මංමාවත්, තොරතෝංචියක් නැතිව දුවනා මිනිස්සු පිරි කටුක නාගරිකත්වයෙන් මිදී අපි හෙමිහින් ළඟාවුණේ බයිලොන්ග් වැලී මාර්ගය වෙත.

රයිල්ස්ටෝන් ගම්මානය පසු කරනවාත් සමගම ඉඳහිට නුල්ලෝ කඳුකරයටත් මඩ්ජී දෙසටත් ඇදෙන වාහනයක් ඇරුන කොට මිනිස් වාසයක් ඇස නොගැටුණ තරම්. 

කඳුවැටි, මිටියාවත්, මිදි පිරුණු වයින් වතු, තැනින් තැන කැන්ගරුවන් සිටින ලඳු කැළෑ පසු කරමින් අපේ ගමනාන්තය දක්වා දිවෙන බ්‍රෙක්ෆස්ට් ක්‍රීක් පෙදෙසට අපි එලෙඹුණේ හවස පහත් පසු වුණාට පස්සේ. 

එතැන් සිට ගමන මදක් දුෂ්කර වුනේ, පස් පාරේ ඇති වලවල්, අබලන් සපත්තු පාලම් වලින් බේරෙන්නට සහ ගොම්මන් අඳුරත් සමග පාර පුරා හා හූවක් නොමැතිව දිවයන කැන්ගරුවන්, හාවන්  නිසා වාහනයේ වේගය බෙහෙවින් අඩාල කරන්නට සිදුවුණ නිසාවෙන්.  රාත්‍රී අටට කිට්ටුවත්ම ගමනාන්තය සනිටුහන් කරමින් බ්‍රෙක්ෆස්ට් ක්‍රීක් පෙදෙසේ කෙළවර තිබෙන ගේට්ටුවක, එල්ලෙමින් තිබු දිරා ගිය ලෑල්ලක ලියා තිබුනේ ‘ඊගල්ස්ටෝන්’ වෙත අපිව සාදරයෙන් පිළිගන්නා බවයි.

වාහනයේ එළිය ගේට්ටුවට වදිනාවාත් සමගම ලාම්පු  එළියක් දල්වාගෙන නවාතැන පෙන්වන්නට කඩිමුඩියේ සිනාමුසු මුහුණින් අප වෙත ආවේ සාරා. ඇය පසුපසින් දිව එන්නේ ඕස්ට්‍රේලියානු ෂෙපර්ඩ් වර්ගයට අයත් බලු පැටවුන් වන ඕඩි සහ ටිලී බව මා එකවර දැනගත්තේ  ‘ඊගල්ස් නෙස්ට් ‘ නවාතැන්පොළ වෙන් කරගන්නා අවස්ථාවේ සාරා විසින් එවා තිබු විස්තර පත හේතුවෙන්.

පරිසර හිතකාමී ක්‍රමයට කන්ටේන්ර් පෙට්ටියක් තුළ නිමකර තිබුණ මෙම හුරුබුහුටි නැවතුම ‘ඊගල්ස්ටෝන්’ ගොවිපොළ මධ්‍යට වන්නට පිහිටා තිබුනා. යතුරු කැරැල්ල අප අතැතිව තැබූ  සාරා මෙහි සියලු විස්තර නැවතත් පවසා  පිටව ගියේ උදෑසනම අවදි වුනොත් ඇය ගොවිපල සතුන්ට ආහාර දෙන අවස්තාව දැකගන්නටත්, ඔවුන් සමග කාලය ගත කරන්නටත් හැකි බව මතක් කරමින්. 

ගමන් විඩාවත්, උදෑසනින්ම අවදිවන්නට තිබු මහත් උනන්දුවත් නිසා බොහෝ රෑ බෝවන්නට පෙර පහන් නිවා ඇඳට ගොඩ වුණත්,  නෙත සිත මනස්කාන්ත වූයේ  කන්ටේන්ර් පෙට්ටියේ ජනෙල් වෙනුවට යොදා තිබුණ විශාල  වීදුරු වලින් මුතු අහුරක් ඉස්සා සේ විසල් ආකාසයේ පැතිර තිබූ තරු රටාවන්ගෙන්. ඒ ප්‍රේමණීය අහස්‌ ගැබ කවි සිතුවිලි දහසක් හිතේ පැල පදියම් කලත්, මා තදින් දෑස පියගත්තේ, රාත්‍රියේ සොඳුරු බවට එහා ගිය සුන්දරත්වයක් උදෑසනට ‘ඊගල්ස් නෙස්ට් ‘ තුලින් රසවිඳීමේ සියුම් ආශාවෙන්.

කුකුලන්ගේ හැඬලීමෙන් නෙතු පියන් විවර කරන විට දැකගන්නට ලැබුණේ පෙර දින රාත්‍රියේ මනසේ ඇඳි සුන්දරත්වය යථාර්තයක් වී ඇති බවයි.  ‘ඊගල්ස්ටෝන්’ ගොවිපොළට මායිම්ව ඇති කඳු පෙළ අතරින්, මිහිදුම් සේල මෑත් කරමින් හෙමි හෙමිහිට අහස් කුසට නැගෙන හිරු ගෙන් ආ තැඹිලි වර්ණයන්ගෙන් මුළු වටපිටාවම හැඩගැන්වී තිබුණා. 

උණුසුම් කෝපි කෝප්පයක රස විඳීමෙන් පසු අප ගොවිපොළ වෙත පියමැන්නේ, සාරා සීත කබායක් ඇඳගෙන මහත් ජවයෙන් ‘ඊගල්ස්ටෝන්’ පදිංචිකරුවන් වන බැටළුවන්, එළුවන්, ඇල්පකා, ගවයින්, කුකුළන්, අශ්වයින් සහ තාරාවන් ට අහාර ලබාදෙන ආකාරය බලන්නට. සැබවින්ම එය මහත් වෙහෙසකර කර්තව්‍යක්. එපමණක් නොවේ, ‘ඊගල්ස් නෙස්ට්’ නවාතැන  නඩත්තු කරන්නේත් ඇය. අපට එය නැවුම් සුන්දර අත්දැකීමක් වුණත්, දිනපතාම සීතල හිමිදිරියේ සාරා කරන මේ කටයුත්ත සැබැවින්ම අගය කල යුත්තක්. ඕඩි සහ ටිලී ඇයට ලබාදුන්නේ නොමද සහයෝගයක්.

‘ඊගල්ස්ටෝන්’ ගොවිපොළේ, ‘ඊගල්ස් නෙස්ට්’ හුරුබුහුටි නවාතැන අපට ලබාදුන්නේ ආශ්වාදාත්මක අත්දැකීමක්. නිවාඩුව නිමකර,නැවතත් නගරයට සේන්දු වන්නට ගත් කල මට හැඟුණේ , අක්කර ගානකට විහිදී ගිය ‘ඊගල්ස්ටෝන්’ ගොවිපොළ රාජධානියක් නම්, නිදහසේ හුස්ම විදිමින්, ස්වභාව ධර්මයේ පහස විඳිමින්, ජීවිතයේ උපරිමයෙන්ම විඳිනා සාරා, රැජිණක්!

Sign up for our newsletter