Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

කසාදය, ප්රේමයෙන්ද, යෝජිත වද?

ඉස්සර තරම්ම නැතත් තාමත් ලංකාවේ බහුතරයක්, විවාහය කියන මාතෘකාවේදී යෝජිත විවාහ වලට පෙළඹෙනවා,

සමහර විට තමන් ආදරේ කරපු කෙනාව බලෙන් අමතක කරලා දෙමව්පියෝ වෙනුවෙන් අකමැත්තෙන් වෙන වෙන අයව කසාද බඳිනවා.

බොහොමයක් ආසියාතික විවාහකයො තමන්ට අයිති නැති හිත් ළඟ නීතියෙන් හිරවෙලා මේ ප්‍රශ්නෙට උත්තර හොයනවා.

උඹ ඔය කසාදෙ කරගත්තොත් අපි මළා කියල හිතාගනින් කියල , මාස දහයක් බඩේ තියාගත්ත එකේ ඉඳලා කන්න බොන්න දීපු වියදම් කරපු ඔක්කොගෙම වටිනාකම මතක් කරලා සමහර දෙමව්පියො දරුවන්ගෙ ජීවිතේ වැදගත්ම තීරණේ වෙලාවෙදි මැදට පැනලා දරුවන්ව අසරණ කරනවා .

දෙමව්පියන්ට , නෑදෑයින්ට විරුද්ධ වීමේ දිගුකාලීන පසුතැවීම සහ සමාජ බලපෑම ට එරෙහි වීමට බැරි නිසා සමහරක් තරුණ තරුණියෝ ,අකමැත්තෙන් හිත්වල ආදරේ මරලා දාලා , තමන්ට නොගැලපුනත් පවුලට ගැළපෙන කෙනෙක් එක්ක විවාහ වෙනවා .

ඊට පස්සෙ බැඳගත්ත බෙරේ කොහොම හරි ගහනව කියලා හිත් තදකරගෙන පවුල් කන්න ට්‍රයි කරනවා .ලිංගික අවශ්‍යතාවයේදී ආදරය අත්‍යවශ්‍ය දෙයක් නොවෙන නිසා ළමයිනුත් ඉපදෙනවා . ගළපන්න කොච්චර උත්සාහ කලත් ගැළපෙන්නෙ නැති බව දැන දැන ලෝක ලැජ්ජාව සහ සමාජ බය නිසා දික්කසාද වෙන්නෙ නෑ , දශක දෙක තුනකින් දෙමව්පියො මැරිලා යනවා ඒත් දෙමව්පියන්ගෙ කීමට කසාද බැඳපු ජෝඩු ජීවිතේ පුරාවටම නොගැලපෙන කසාදෙක හිරවෙලා පීඩනයෙන් ඉඳලා හිස් කමකින්ම මැරිලා යනවා .

එක ගෙදර හිටියට , එකට ගමන් බිමන් ගියාට , ලෝකෙට පේන්න සැමියා බිරිඳ කියන චරිත රඟ දැක්වුවට හිත් වලින් බොහොම දුර කපල් මගේ ජීවිතේ ඕන තරම් හම්බෙලා ඉන්නවා ,

සමහරු හිත් ඇතුළෙන් අතීතයෙ ජීවත් වෙනවා , සමහරු අතීතය දිහා බලන් හූල්ලනවා , තමන්ව මේ තත්වෙට පත්කරපු දෙමව්පියන්ට වයිර කරනවා , සමහරු තමන්ගෙන්ම පළිගන්නවා , තවත් සමහරු අනියම් සම්බන්දතා වල පැටලෙනවා , මොනවා කරන්නද මේක තමයි ලැබීම කියලා සුසුම් හෙලලා දයිවයට දොස් කියලා සැනසෙන්න උත්සාහ කරන අයත් ඒ අතර ඉන්නවා .

විවාහය කියන්නෙ මහ ගැඹුරු සම්බන්ධයක් .ජීවිතේ විඳිනවද විඳවනවද කියල තීරණය වෙන්නෙ කසාදෙන් .කෝටි ගණන් සල්ලි තියෙද්දිත් හිනාවෙන්න අමතක වෙච්ච කපල් ඉඳිද්දී රුපියලක් වත් අතේ නැතුව තුරුල් වෙලා සැනසීමෙන් ඉන්න දෙන්න දෙමහල්ලෝ ඕන තරම් ඉන්නවා .මොන සැප සම්පත තිබ්බත් තමන්ව නොදැනෙන , තමන්ට නොදැනෙන හදවතක් එක්ක ජීවත් වෙනවා කියන්නෙ දෙන්නටම අපා දුකක් .එහෙම මිනිස්සු හුස්ම ගත්තට ආත්මෙන් මැරිලා ඉවරයි.

තමන්ම තෝරගත්ත කෙනාව බැඳලත් වැරදිච්ච මිනිස්සු ඉන්නවා ,ඒත් තමන් වෙනුවෙන් තමන් ගන්න තීරණයක් වැරදියි කියලා තේරිලා දැනෙන ආත්ම අනුකම්පාව සහ තමන්ගෙ ජීවිතේ ගැන වෙන කෙනෙක් ගත්ත තීරණයක් නිසා තමන්ගෙ ජීවිතේ වැරදුණා කියලා දැනෙන වයිරය මුසු පස්චාත්තාපය කියන්නේ වෙනම දෙයක් .

ජීවිතේ මොන තීරණය ගනිද්දී දෙමව්පියන්ට , නෑදෑයින්ට සමාජෙට ඇහුම් කම් දුන්නත් , ජීවිතේට වඩාත්ම බලපෑම් කරන තීරණය වන කෙනෙක්ගෙ දෙවැනි උපත වෙන ”විවාහය ” කියන තීරණයේදී වැඩියෙන්ම සවන් දෙන්න ඕනෙ තමන්ගෙ හදවතට.

මොකද ,සහයක් ලැබෙන්නෙ නැති , සහනයක් දැනෙන්නෙ නැති කෙනෙක් සහකාරයා සහකාරිය කරගෙන හදවතට එකඟ නොවී ,අකමැත්තෙන් කැමැත්තක් හදාගෙන මැරෙනකන් එකට ඉන්න වෙනවා කියන්නේ පණ පිටින් අපායෙ යනවා වගේ වැඩක් .

වැඩිහිටියො විදිහට දෙමව්පියොත් දරුවන්ට ඇත්තටම ආදරෙයිනම් ලෝකෙට ලස්සනට පෙන්නන්න පුළුවන් පව්ලට ගැලපෙන කෙනෙක් වෙනුවට දරුවන්ට ආදරෙන් ඉන්න පුළුවන් , ළමයින්ගෙ තෝරාගැනීම් වලට නිදහස දෙන්න තරම් මානුෂික වෙන්න ඕනෙ .

සමහරවිට දරුවන්ගෙ තීරණ වැරදි වෙන්න පුළුවන් , හැබැයි ඔබේ තීරණ නිසා දරුවො විවාහය කියන පඹගාලේ වැරදියට පටලුනොත් ඒ පසුතැවීම අවසන් හුස්ම දක්වාම ඔබව හඬවාවි .

අයිසින් කේකුයි මස් හොදියි දෙකම රසයි .හැබැයි කොච්චර බඩගිනි උනත් මේ දෙක එක පිඟානේ කද්දී අප්පිරියයි .හදවත නොබැඳී නීතියෙන් බැඳීමත් අන්න එහෙමයි .කොච්චර ට්‍රයි කලත් එකතු කරන්න බෑ .අන්තිමට මේක තමයි ලැබීම කියලා හිතලා මුළු ජීවිතේම කාලකන්නි විදිහට විඳවලා ආත්මෙන් මැරිලා , හුස්ම ඇද ඇද ලෝකෙට පේන්න ජීවත් වෙන්න තමයි වෙන්නෙ ..…

බිරිඳ මගේ ඔබ …කියද්දී ”නෑ මා ඔබගේ බිරිඳ නොවේ ”, වෙනුවට” ඔව් මා ඔබගේ බිරිඳ ම වේ” ..කියන්න පුළුවන් කෙනෙක් එක්ක බැඳෙන්න ..

නීතියෙන් බැඳුනත් නො බැඳුනත් හදවතින් බැඳිලානම් වහලක් යට නෙමෙයි වහලක් නැතුව කුඩයක් යට හරි සැනසීමෙන් ඉන්න පුළුවන් .එච්චරයි …

අනිශා ජයකොඩි ✍️ ජීවන කුසළතා හා පෞරුෂ වර්ධන උපදේශිකා

Sign up for our newsletter