Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ලොකු වැඩ වලට පාර කපන පුංචි කතාවලට ඉඩක්

“අම්මේ, තාත්තේ.. මම අද..” කියලා කියන්න පටන් ගන්න හදපු පුංචි කතාවක් ,මොනම හේතුවකටවත්, “පස්සෙ අහන්නම් පුතේ.. මේ වැඩ ටික ඉවර වෙලා..” කියන පොරොන්දුව පිට කල් දාන්න එපා. කාර්‍යබහුලයි තමයි. වගකීම් යුතුකම් තියෙනවත් තමයි. සමහර වෙලාවට ගෙදර වැඩ කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් වෙන්නේ ඔයාගෙ අත් දෙකෙන් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් භාරදූර රැකියාවක ඔයා නියැලෙනවා වෙන්න පුලුවන්. 

ඒ කොහොම උනත්, දරුවෙක්ට සවන්දෙන පොඩි කාලය ඇතුලේ ලොකු දෙයක් එයා තුළ නිර්මාණය වෙනවා. අපි එයාට වචන වලින්, මුහුණේ ඉරියව් වලින්, ඇස් දෙකෙන් දෙන ප්‍රතිචාර මත, එයාගේ තාර්කික හැකියාව, විශ්ලේෂණ හැකියාව, ඉදිරිපත් කිරීමේ හැකියාව, තොරතුරු ගවේෂණයට ඇති ආශාව, ආත්ම විශ්වාසය, තවත් කෙනෙක්ගේ අදහසකට ගෞරවාන්විතව එකඟ වීමට හෝ විරුද්ධ වීමට ඇති සංයමය වගේ ජීවත් වීමට අතිශය උපකාරී කුසලතා බිහිවීම තීරණය වෙනවා. පතින් පොතින් සහ එයා යෙදෙන සමහර ක්‍රියාකාරකම් තුලිනුත් මේ කාර්යයට යම් දායකත්වයක් ලැබුණත්, අපේ සන්නිවේදනය ඒ හැමදේටම ඉදිරියෙන් ඉන්නවා. 

මට ඉන්නේ අවුරුදු 10ක දුවක්. “පුතේ මං මේක ඉවර කරලා ටක් ගාලා එන්නම්. අපි නිදහසේ කතා කරමුකො” කියලා එයාව හරවලා යවපු අවස්ථා මට දැන් මතක් වෙනවා. කියන්න බැරි තරම් බරයි මගෙ හිත..එහෙම හරවලා යවපු දාට, ආපහු ඒ කතාවටම මම මුලපිරුවත්, ඒ වෙලාවේ තිබුණ කුතුහලය, උත්තේජනය එයාගෙ මූණෙ දැකගන්න පුලුවන් උනේ නෑ. මැලවුණු මලක් ගානට තමයි එදාට ඉන්නේ. එහෙම දාට එයාගෙ හැසිරීමේ යම් වෙනස්කම් මම දැක්කා. පොඩි කේන්ති, මැසිවිලි, පැමිණිලි එදාට වැඩියි. හැබැයි මම එයාට ඇහුම්කන් දුන්න හැම දවසකම එයා උද්‍යෝගිමත්. 

මම තේරුම් ගත්ත සහ අත්දැකපු දෙයක් මේ බෙදා ගන්නේ. අපි හැම කෙනාටම දවසක් තුළ කළ යුතු සහ කළ හැකි වැඩ කොටසක් තියනවා. මේ දෙක අතරේ හොඳ ගැලපීමක් හදාගන්නයි උවමනා. එතකොට දරුවන්ගේ පුංචි කතා අහන්න, ඒ ලෝකට යන්න දුවන කෝච්ච් අල්ලන්න වෙන්නෙ නෑ කියලා අත්දැකීමෙන් ඉගෙන ගත්තා. 

ජීවිතේ ඉලක්ක තියෙන්න ඕනේ. ඒවා පවුලක් විදියට ජය ගන්නත් ඕනේ. වඩාත්ම වැදගත් කියලා මට අද දැනෙන්නේ, එදාට ඒ ජයග්‍රහණ විඳින්න හොඳ පරිසරයක් අපි වටා තියෙන්නත් ඕනේ කියන එකයි. අම්මා, තාත්තා, දරුවන් එකිනෙකා තේරුම්ගත්ත, එකිනෙකාට වටිනාකම් දෙන, ආදරය ආශ්වාස ප්‍රාශ්වාස වෙන අවකාශයක් හැම ගෙදරකම තියෙන්න ඕනේ. 

කොහොමත් දරුවන් කියන්නේ අපි ගෙන්නවා ගත්ත අය, එයාලගෙ උවමනාවට ආපු අය නෙවෙයි. අහාර පාන වලින්, දැනුමෙන්, සාරධර්ම වලින් පෝෂණය කරනවා හා සමානව තමා අයිති පරිසරය පිළිබඳ හොඳ සංවේදනයක් ඇති කිරීමත් අම්මා කෙනෙක්ගේත් තාත්තා කෙනෙක්ගේත් එක හා සමාන වගකීමක් කියලා දැනෙනවා. ඉතින් මේක එක්තරා ආකාරයක දීර්ගකාලීන ව්‍යාපෘතියක්. හිමින් හිමින්, ආදරෙන් පටන් ගත්තම ඉස්සරහට ලේසී.

දිමුතු

Sign up for our newsletter