නොයෙක් ආගම් වල විවිධ පිංකම් ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් මේ කතා කරන්නේ විශේෂයෙන්ම තෙරුවන් සඳහාම කෙරෙන්නා වූ බෞද්ධයන්ගේ පිං කුසල් පිළිබඳවයි.
මෙසේ බෞද්ධ ඔබ ඒ කරන පිං කුසල් වෙනම ඒ සඳහාම වෙන්වූ පොතක සටහන් කර තබන විට පිං කුසල් වල තව තවත් යෙදීමට කැමැත්තක් ඇතිවෙනවා. එවිට තමන්ටත් නොදැනීම පිං කුසල් වලින් පිං පොත් පිරෙනවා. ඒක තමන්ට පමණක් නොව අනික් අයටත් යහපත් ආදර්ශයක්. ඒක දකින පුංචි ළමයි පවා පිං කුසල් වල යෙදීමට උනන්දු වෙනවා.
තමන් කරන පිං කුසල් වෙනම පොතක ලියන එකේ වටිනාකම තේරෙන්නෙ දැන් නෙවෙයි. වයසට ගියාමයි, ලෙඩ ඇඳේ ඉන්නකොටයි, මරණාසන්න වෙනකොටයි. එතකොට පිං පොත කියවලා මතකයන් අලුත් කරගෙන සුගතියෙ හිත පිහිටුවන්න ලේසියි. වයසට ගියාම මැරෙන්න ලං වෙලා ආයෙ අමුතුවෙන් පිංකම් කරන්න මහන්සි වෙන්න ඕනෙ නෑ.
අද කාලෙ ආච්චිලා සීයලා තරුණ කාලේ පිංකම් පිලිබඳව නොසිතා වයසට ගිහින් පිංකම් කිරීමට උනන්දුවක් දැක් වුවත් ශරීරයේ ඇති විවිධ අපහසුතා සහ දුබලතා නිසා එසේ පිං කිරීමට නොහැකි වෙනවා. ඒ නිසා ලමා කාලයේ සහ තරුණ කාලයේ හැකිතාක් පිංකුසල් වල යෙදී ඒ කල පිං කුසල් වෙනම පොතක ලියා සටහන් කර තබන්න.
කාලයාගේ ඇවෑමෙන් වයසට යෑමෙන් හෝ ලෙඩ ඇඳේ සිට හෝ ඔබ විසින් කල පිං කුසල් සිහි කර ගත්තා නම් කිසිම අපහසුතාවයකින් තොරව පිං වලින් හිත පුරවගන්න පුලුවන්.ඒ වගේම සුගතියේ හිත පිහිටුවා ගන්න පුලුවන්.
“උපාදාන පච්චයා භවෝ” එනම් උපාදානය නිසා භවය හට ගන්නවා කියලා පටිච්ච සමුප්පාද විවරණයේදී පැහැදිලි කරන්නෙ ඒ නිසයි.
එසේනම් අප පිනක් කුසලයක් අරමුණු කරගෙන මියගියහොත් තමයි යහපත් තැනක ඉපදෙන්නෙ.
මෙයට දුටුගැමුණු රජු හොඳම උදාහරණයක්.
කොතරම් පිං කලත් මරණාසන්න වෙනකොට කල පිං අමතක වෙනවා. ඒ වගේම කල පිං සිහි කිරීමට අපහසු වෙනවා. ඒ නිසා තමන්ට පොත් කියවීමට නොහැකි අවස්ථාවකදී වුවත් තමන්ගේ වෙනත් ඥාතියෙක් ලවා හෝ තම දරුවෙකු ලවා හෝ ඒ සටහන් තැබූ පිං පොත කියවා ගැනීමට හැකියාව ලැබෙනවා.
ඒ නිසා කරන පුංචි පින වුණත් එනම් විශේෂයෙන්ම තෙරුවන් වෙනුවෙන් කල පිං කුසල් වෙනම පොතක ලියන්න. එහි වටිනාකම කුඩා දරුවන්ටත් කියා දෙන්න.
තෙරුවන් සරණයි!!