(ආකර්ෂණයයි , ප්‍රේමයයි , විවාහයයි )
උදේට නැගිටිනවා , කනවා , බොනවා , ඔෆිස් යනවා , ජීවිතේ ලොකු වෙනසක් නැතුව හැමදාම පුරුදු විදිහටම ගෙවිලා යනවා නේද ?
කිසිම වෙනසක් නැහැ, හරිම ඒකාකාරියි කියල හිතුනට ,
අවුද්දකට දෙකකට කලින් හිටපු ඔයයි අද , මේ මොහොතේ ඉන්න ඔයයි එක සමානමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ,
දවස සාමාන්‍ය විදිහට ගෙවුනට පස්ස හැරිලා බලද්දී අපිටත් නොදැනී අපි ගොඩක් වෙනස් වෙලා , අපේ ජීවිත වෙනස් වෙලා , එදා කැමති දේවල් වලට අද අකමැති වෙලා , එදා අකමැති දේවල් වලට අද කැමති වෙලා ,සමහර දේවල් ඇයි කලේ කියලා දුක හිතෙනවා වගේම තවත් සමහර දේවල් නොකළේ ඇයි කියලා පසුතැවෙනවා , කවදා කොහොම වෙනස් උනාද කියලා නොදන්නවා උනාට කාලයත් එක්ක අපිටත් නොදැනී අපි වෙනස් වෙලා ..
ජීවිතේ හැටි එහෙම තමයි ඒකට ,අත්දැකීම් , පළපුරුද්ද , පරිණතවීම , අවබෝධය , වයස ඔය මොකක් හරි ඔයා කැමති වචනයක් දාගන්න .
මේ කතාවත් ඒ වගේ ,
යන්තන් අවුරුදු 14 ක් 15ක් වෙලා ජීවිතේට පය තියනකොට අපිට ඉතින් අමුතු අමුතු හැඟීම් දැනෙන්න ගන්නවා , ජෙල් නාපු කොණ්ඩයක් , ඝනකම් රැවුලක් , ගිටාර් එකක් ගහන අත්දෙකක් , වල ගැහෙන කම්මුලක් දැක්කත් ඇති කොල්ලෙක්ට හිත යන්න , කොල්ලොත් එහෙමයි , දත් ටිකක් , හිනාවක් , එක බැල්මක් ඇති කෙල්ලෙකුට හිත යන්න , ඉතින් ඒ වෙලේ ඉඳලා තමන් තමයි සත්‍ය ප්‍රේම භුංග රාජයා කියලා හිතලා තමයි අපි හැසිරෙන්නේ , ඔය අතරේ ශාරුක් කාන් ගේ රොමැන්ටික් මූවි එකක් බලපු ගමන් අර CRUSH එක කැලේ , එදා ඉඳන් ඉතින් ශාරුක් කාන් තමයි සිහින කුමාරයා , තව දවසකින් දෙකකින් ගමේ සංගීතේ බලන්න ගිහින් ඒකෙ KEY BOARD ගහපු කොන්ඩ කුරුල්ලා දැක්ක ගමන් ශාරුක් කානුත් පට ගාල DIVORCE, ඔහොම කී දෙනෙකුට කියල crush වෙලා ඇතිද ?
සමහරු ඕකට ආදරේ ආදරේ කියලා හිතාගෙන රැවටුනාට ඒ ආදරේ නෙමෙයි ඒකට කියන්නෙ ආකර්ෂණය ,
දැනෙන වෙලාවට පපුව සිදුරු කරගෙන ගියාට , ආකර්ෂණය කියන්නේ හරිම තාවකාලික හැඟීමක් විතරයි .ඒක ඕනෑම මොහොතක ඕනෑම කෙනෙක් වෙනුවෙන් ඇති වෙන්න පුළුවන් වගේම ඕනෑම මොහොතක නැති වෙලා ශුන්‍ය වෙලා යන්නත් පුළුවන් , ආකර්ෂණය ආදරය කියලා හිතාගෙන ප්‍රේම සම්බන්ධයක් දක්වා දුරදිග ගිහින් සැනසුන සෙට් එකට වඩා වැනසුණ සෙට් එක තමයි වැඩි .
එතකොට මොකද්ද ඔය ආදරේ කියන්නේ ?? චන්දන ලියනආරච්චිත් ඕක සෑහෙන්න හොයලා තිබ්බා , අන්තිමට , එනමුදු ප්‍රේමය
කිමැයි කියා හඳුනා ගත් කිසි කෙනෙකු නැති ..කියල හිත හදාගත්තා ..
ආදරේ කියන්නේ ආකර්ෂණයට එහා ගියපු හරි අමුතු එකක් , ආකර්ෂණය දැනෙන්න මූණ,හිනාව , කතාව වගේ එක එක හේතු තිබ්බට ආදරේ දැනෙන්න එහෙම හේතු නැහැ , දත් නැති , ඇස් පෙන්නේ නැති , කෙනෙක් ගැන උනත් ආදරේ කියන දේ දැනෙන්නේ පුළුවන්, දැන් කාලේ ඉන්න ගොබිලෝ , මාව බැන්දේ නැත්තම් මරනවා , ගිනි තියනවා , විනාශ කරනවා , කියලා ලතෝනි දුන්නට ආදරේ කියන්නේ තණ්හාවෙන් බදා ගන්න එකට නම් නෙමෙයි , අනිත් පාර්ශවය කැමති උනත් , අකමැති උනත් , ලැබුනත් නොලැබුනත් , ඒ කෙනා කෙරෙහි ඇතිවන පහන් හැඟීම , ඒ කෙනාගේ සතුට දිහා බලාගෙන සතුටු වෙන එක තමයි මම දන්න විදිහට ආදරේ කියන්නේ ,
එතකොට විවාහය ,
එහෙන් මෙහෙන් වයර් ඇදලා අපි විවාහය කියන එක ප්‍රේමය එක්ක සම්බන්ධ කරන්න හැදුවට , ඒ දෙකේ ඒ හැටි ලොකුම ලොකු සම්බන්ධයක් නැහැ , ගොඩක් වෙලාවට විවාහය කියන්නේ ප්‍රේමයේ මළගෙදර , ආදරේ උපරිමයට ගිහින් බැඳලා ,බැන්ද දවසේ ඉඳන් ප්‍රේම කරනවා වෙනුවට ගොඩක් උන් කරන්නේ කා කොටා ගෙන වයිර කරන එක ,
ප්‍රේමය ලොකු කරගෙන කසාද බැන්දට ඇත්තටම කසාද ජීවිතේට ප්‍රේමය විතරක් තිබිලා මදි , අවබෝධය , කැපවීම , ඉවසීම , දරාගැනීම මේ ඔක්කොම ටික ඕන , ඒ ඔක්කොටම වැඩියෙන් යථා ස්වභාවයට එකඟ වෙන්න පුළුවන් වෙන්න ඕනේ , යාලු වෙලා ඉන්න කාලේ පෙරුම් පුරලා හම්බෙන්න එන කොට තියන හොඳම ඇඳුම ඇඳගෙන ගෙදර තියන ඔක්කොම සුවඳ ගාගෙන රැස් විහිදගෙන හිටියට , එක ගෙදර ජීවත් වෙනකොට දත් නොමැදපු , කොන්ඩේ ගෙඩියක් බැඳගත්ත , රැවුල කපපු නැති ආදරේ දකිනකොට , අප්පිරියා හිතෙනවනම් , තරහ එනවනම් අපෝ මන් ආදරේ කලේ මූටද කියල හිතෙනවනම් ඒ කියන්නේ එකිනෙකාගේ යථා ස්වභාවය දරාගන්න බැරි නම් ඒ විවාහය එකෙන්ම ෆේල් , ආදරේ ආදරේ කියලා අනිත් හැමදේම සතේකට වත් ගණන් නොගෙන බැඳගත්තට මාසෙකින් දෙකකින් කසාදෙ කියන එකේ තියන අර අමුතු මොරාල් එකේ උපයෝගිතාවය හීන වෙලා , ගෙවල් දොරවල් , කාර් බාර් , සල්ලි , රත්තරන් බඩු ඉස්සරහට එනවා , කොටින්ම කිව්වොත් අපේ දෙමව්පියෝ ගහපු ගේම ටම ම අපිටත් enter වෙන්න වෙනවා , පාරේ බස් එකේ යන්න පුරුදු නැතිම කෙනෙක් ආදරේ නිසා ෆුට් බයිසිකලයක් වත් නැති කෙනෙක්ව බැන්දා කියන්නකෝ , ටික දවසකින් එක්කෝ කෙල්ල තීරණය කරනවා බස් එකේ යනවද නැත්තම් එපා වෙලා කොල්ලව දාලා ආයේ ගෙදර යනවද කියල , කෙල්ලගේ කොන්ඩෙ දිග හින්දා හම සුදු හින්දා ආදරේ කරලා උයන්න බැරිනම් බඩගින්නේ ඉමු කියලා බැඳගත්ත්ට දවස් දෙක තුනක් ගියාම කොන්ඩෙ දැක්කා කියලා බඩ පිරෙන්නේ නැහැ කියලා තේරුනාම එක්කෝ ගෑණිට උයන්න ඉගනගන්න කියලා රණ්ඩු වෙනවා වෙනවා නැත්තම් පිටින් කන්න පුරුදු වෙනවා ,එහෙමත් නැත්තම් බඩගින්න දරාගන්න හුරුවෙන්න වෙනවා , ඉතින් ඔය සාස්තරේ දන්නැති තැන් වල ආදරේ පැදුරටත් නොකියා හොරෙන්ම යනවා , යනවා කිව්වට හිමින් යනවා නෙමෙයි දුවනවා …
අන්න ඒ නිසා තමයි කියන්නේ විවාහය කියන්නෙ ප්‍රේමය කියන කෑල්ල විතරක්ම නෙමෙයි කියලා ,
ආදරේ මේක , ආකර්ෂණය මේක , විවාහය මේක කියල පොත් ලියලා කිව්වත් කිරි කජු කෙල්ලෝ කොල්ලන්ට ආදරේ , ආකර්ෂණය , විවාහය කියන්නේ එකක් නෙමෙයි තුනක් කියලා තේරෙන්නේ නැහැ , ඕකුන් ඒක තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නැහැ , මොකද අම්මා තාත්තාගෙන් කාලා බීලා ලව් කරන කාලේ වෙන බරපතල වැඩ මුකුත් නැහැනේ , ඒ නිසා උන් ජීවිතේ කියල හිතන්නෙ උන්ට දැනෙන දේ විතරයි , හැබැයි වයසින් මුහුකුරා ගිහින් අත්දැකීම් ලබලා ජීවිතේ ටික දුරක් යනකොට , තමන්ම හම්බකරලා ජීවිතේ කියන ගේම් එකට එන්ටර් උනහම තමයි නියම ආදරය ආකර්ෂණය කියන දෙක වෙන් කරලා අඳුරගෙන විවාහ වෙන්න ඕනේ කොයි වගේ කෙනෙක්වද කියලා හරියටම තේරෙන්න පටන් ගන්නේ ,
අන්න ඒ නිසා තමයි , විවාහ වෙන්න වයසක් නැහැ කියල කියන්නේ , තමන්ට ජීවිතේ හරියට දැනෙන්නේ 25 දීද 30 දීද 50 දීද එදාට තමයි විවාහ වෙන්න ඕනේ , එතන ආදරේ තිබුනොත් ඒක ගොඩක් ලේසියි වගේම පහසුයි , හැබැයි ආදරේ තිබිලා අනිත් හැමදේම නැත්තම් ඒක අමාරුයි , ආදරේ නැතුව අනිත් හැමදේම තිබ්බත් ඒත් ඉතින් ලේසි නැහැ ,
ඔන්න ඕක හරියටම තේරුම් බේරුම් ගන්න පුළුවන් වෙන්නේ අඩුම ගානේ ජීවිතේ දශක දෙක හමාරක්වත් ගියාට පස්සේ තමයි , ඒක නිසා තමයි , 18 ට වැඩි අයට කසාද බඳින්න නීතියෙන් අවසර තිබ්බත් ඒ වයසෙන් කසාද බඳින එක මෝඩකමක් කියලා කියන්නේ ,
මොකද අවුරුදු 18 දී 20දී අතින් අල්ලාගෙන තුරුල් කරගෙන ඉන්න එක තමයි ආදරේ කියලා හිතුවට ඇත්තම තත්වේ තේරෙන්න තව ටිකක් කල් යනවා , ඒත් ඒ වෙනකොට පොතක අත්සන් කරලා නීතියට කොටු වෙලා ඉවරයි නම් ඉතින් සොරිම තමයි , ඒ කියන්නේ බොහෝ විට ජීවිතේ පැටලිලා ඉවරයි ..
ආකර්ෂණය කියන්නේ එකක් , ආදරය කියන්නේ වෙන එකක් , විවාහය කියන්නේ වෙනම එකක් , ඔය තුන එකයි කියල ඔයාට හිතුනට , ඔය තුනේ වෙනස හරියට තිතටම තේරෙන්න නම් ඔයා ජීවිතේ දශක දෙකක් වත් ඉවර කරන්නම ඕනේ , ඒ නිසා ඉක්මනට පවුල් වෙලා ජීවිතේ අවුල් කරගන්න හදිස්සි වෙන්න එපා ,
බැඳෙන්න කලින් , බඳින්න කලින් , තවත් තව තවත් හිතන්න , ඉක්මනට බැඳෙන ඒවා හරිම ඉක්මනට බිඳෙනවා ඒකයි ..
පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා කිව්වට ජීවිතේ හරිම තැන අහුවෙන්නෙ කොහොමත් ටිකක් පහුවෙලා,එතකන් අහු නොවී ඉන්න එක තමයි වෙන්න ඕනේ ..
Anisha