Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
Api-Slide-56-4
previous arrow
next arrow

2024-07-02

චිත්තධර්ම – 2024

# නිදන්ගත වැරදි පුරුදු (chronic bad habits)

අප සසර පුරා භවයෙන් භවයට ගෙනයන වස්තූන් (properties) තුනක් තිබේ. ඒ කර්ම, මතක සහ පුරුදු ය. ඒ අතරින් පුරුදු අපේ චරිතය කෙරෙහි ඇතිකරන බලපෑම මහත් ය. 

මෙහිදි අප සාකච්ඡා කරන්නේ නිදන්ගත තත්ත්වයට පත්වන නරක පුරුදු ගැනය. තමන්ගේත් අනුන්ගේත් යහපතට හේතුවන චරිතයට හානියක් නොකරන පුරුදු නිදන්ගත වූවාට කම් නැත. එහෙත් බහුලව නිදන්ගත වන්නේ හොඳ පුරුදු නොව නරක පුරුදු ය.

බෞද්ධ මනෝ විශ්ලේෂණයට අනුව පුරුද්දක් යනු යම් කායික හෝ මානසික ආශාවක් නිසා වරක් දෙවරක් කීපවරක් කරන දෙයක් සදා තමන්ට අවශ්‍ය යැයි සිතීමේ ප්‍රවණතාව යි. එම ප්‍රවණතාව ග්ලැසියර (glacial) තත්ත්වයට පත්වීම නිදන්ගත පුරුද්ද ලෙස හැඳින්වේ. 

නිදන්ගත නරක පුරුද්දක් ඇති පුද්ගලයා නිසැකවම මානසික සිපිරිගෙයකට වැටේ. එනම් පුරුද්දෙහි ආදීනව (consequences) දැක දැකත් එයින් මිදීමට දක්වන අකමැත්තයි. නිදන්ගත නරක පුරුද්ද දොරගුළු ලා නැති සිපිරිගෙයක් හෙවත් open cage captivity බඳුය. 

නරක පුරුද්දක් නිදන්ගත වීම සියදිවි හානිකර ගැනීමේ සංකල්පනය (suicidal ideation) දක්වා වර්ධනය විය හැකිය. නිදන්ගත නරක පුරුද්දකින් පෙළෙන කෙනෙකුට උපකාර අවශ්‍ය ය. එවැන්නෙකුට ජීවන රටාවේ වෙනසක් (lifestyle change) අවශ්‍ය බව බුද්ධාවවාදයයි. 

එම වෙනසේදි ජීවත්වන පරිසරය වෙනස් කළ නොහැකිනම් අනිවාර්යයෙන්ම ආශ්‍රය කරන පුද්ගලයන්වත් වෙනස් කළ යුතුය. 

වර්තමානයේ බොහෝ යොවුන් අය තදින්ම පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී තිබේ. එය නිදන්ගත පුරුද්දක් වූ විට එයින් මිදීමට නොහැකිව හෝ අවවාද නොරිස්සීම නිසා ඔවුන්ගෙන් සමහරෙක් සියදිවි හානිකර ගැනීමට පෙළඹේ. ඔවුන්ට සවන්දී ඔවුන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන්ගේ වටිනාකම ඒත්තු ගැන්වීමේ හැකියාව ඇති කළ්‍යාණමිත්‍රයන්ගේ ආශ්‍රය හා අවවාද ඔවුන්ට ලැබිය යුතුය. නිදන්ගත පුරුද්දක් වෙනස් කිරීම දුෂ්කර වුවද එය කළ නොහැක්කක් නොවේ.

වැඩිහිටි බොහෝ අය අතර නිතර දකින්නට ලැබෙන නිදන්ගත පුරුද්දක් නම් අනුන්ගේ සාමයට බාධාවක් වෙමින් ඕපාදූප සෙවීමේ නිරතවීමයි. ඔවුන් නිදන්ගත පුරුද්දක පිළිකා තත්ත්වයි. ඔබේ සමාජය තුළ පවතින එවන් පිළිකා ගැන ඔබ දන්නේ නම් ඔවුන්ගේ ආශ්‍රයෙන් ඈත්වීම තුළින් ඔබ ඒ තත්ත්වයට පත්වීම වළක්වාගත හැකිය. එසේ කිරීමේදි එම පිළිකාකාරකයන් ඔබ සමඟ අමනාප විය හැකිය. එසේ අමනාප වීම ආශිර්වාදයකි. 

ඔබට නිදන්ගත පුරුද්දක් තිබේ නම කළ්‍යාණමිත්‍රයෙකු සමඟ එය සාකච්ඡා කරන්න. 

– ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Sign up for our newsletter