Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

UK වල මොකද මේ වෙන්නේ…..

පසුගිය ජූලි 29 වනදා එංගලන්තයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේදී කුඩා දැරියන් පිරිසක් ඉලක්ක කරමින් එල්ල කල පිහි ප්‍රහාරයත් සමඟ එක්සත් රාජධානිය පුරා ආරම්භ වූ නොසන්සුන්කාරී තත්වය තවමත් පහව ගොස් නොමැත. එම පිහි ප්‍රහාරයෙන් වයස අවුරුදු 6-9 ත් අතර දැරියන් තිදෙනෙකු මියගිය අතර තවත් දැරියන් කිහිප දෙනෙකු හා වැඩිහිටියන් කිහිප දෙනෙකු බරපතළ තුවාල ලැබුවා. ප්‍රහාරය සම්බන්ධයෙන් අත්තඩංගුවට ගැනුනේ  17 හැවිරිදි කළු ජාතික තරුණයෙක්. ඔහු රුවන්ඩා සම්භවයක් සහිත පුද්ගලයෙකු උනා.

මෙම ප්‍රහාරයට දින දෙකකට පසුව එම ප්‍රහාරයට විරෝධයපාමින් ප්‍රහාරය සිදුවූ සවුත්පෝර්ට් ප්‍රදේශයෙන් ආරම්භ වූ විරෝධතා රැල්ල එංගලන්තයේ සහ අයර්ලන්තයේ නගර රැසක් කරා ව්‍යාපත් උනා. මුලදී ප්‍රහාරයට විරෝධය දක්වමින් සිදුකල උද්ඝෝෂණ රැල්ල පසුව ඉතා ප්‍රචන්ඩකාරී හා ජාතිවාදී මුහුණුවරක් ගණු ලැබුවා. ඉතා සංවිධානාත්මකව පවත්වන්ට යෙදුනු එම විරෝධතා ව්‍යාපාරයේ ඉලක්කය බ්‍රිතාන්‍යයේ ජීවත් වන මුස්ලිම් ජාතිකයන් හා සරණාගතභාවය පතා මෙහි පැමිණි පුද්ගලයන් උනා. ස්ථාන රැසක නගර මධ්‍යයට රැස්වූ විරෝධතාකරුවන් වාහන හා දේපළ ගිණි තබමින් මෙන්ම පොලිසියට පවා පහර දෙමින් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනු දක්නට ලැබුනා.

පසුව මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රජය ඉතා ඉක්මනින් මැදිහත් වූ අතර විරෝධතා වල නිරතවන්නන් අන්ත දක්ෂිනාංශික මැරයන් ලෙස හඳුන්වමින් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කීත් ස්ටාර්මර් ප්‍රකාශයක් නිකුත් කලා. වහාම බ්‍රිතාන්‍යයේ පොලිස් ප්‍රධානින් කැඳවූ අග්‍රාමාත්‍යවරයා තත්වය පාලනය කරන්නට පොලිසියට උපදෙස් ලබාදුන් අතර පොලිසියට අනුබද්ධව විශේෂ කැරලි මර්ධන ඒකකයත් ආරම්භ කරන්නටද උපදෙස් ලබා දුන්නා .තවද මෙම ප්‍රචන්ඩ ක්‍රියා සඳහා සම්බන්ධ වන සියළුම පුද්ගලයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ට ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් සඳහන් කලා.

අග්‍රාමාත්‍යවරයාගේ සහ රජයේ එම ක්‍රියා ප්‍රචන්ඩත්වය මැඩපැවැත්වීමට තරම් ප්‍රමාණවත් නොවූ අතර විරෝධතාකරුවන් සන්ඩර්ලෑන්ඩ් හී පොලිස් ස්ථානයකට පවා ගිනි තැබූ අතර සරණාගතයන් නවාතැන් ගෙන සිටින හෝටල් ඉලක්ක කරමින් පහර දෙන්නට උනා. විරෝධතා ව්‍යාපාර ලන්ඩන් නගරයට මෙන්ම ලිවර්පූල්, බ්‍රිස්ටල්, මැන්චෙස්ටර්, බෙල්ෆාස්ට් සහ ස්ටොක් ඇතුළු නගර රැසකට පැතිර ගිය අතර එම ප්‍රදේශවල ජන ජීවිත අඩාල වීමට පවා මෙම විරෝධතා හේතු උනා.

මෙම සටහන ලියන අවස්ථාව වන විට ප්‍රචන්ඩකාරී ලෙස විරෝධතා වල යෙදුනු අන්ත දක්ෂිණාංශිකයන් 400 ක් පමණ පොලිස් අත්තඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සමහරකට නඩු පැවරීමට පවා පොලිසිය කටයුතු කර තිබුනා. ඒ අතර නයිජීරියාව, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් බ්‍රිතාන්‍යයේ සංචාරය නොකරන ලෙස සිය පුරවැසියන්ට අනතුරු අඟවමින් නිවේදන නිකුත් කර තිබුනා.

තත්වය පාලනය කර හැකි ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා රජයේ ඉහළම නිළධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ ආසන්න දින දෙකකදී “කෝබ්‍රා” රැස්වීම් දෙකක් කැඳවා තිබුනා. බ්‍රිතාන්‍යයේ ඉතා හදිසි අවස්ථාවකදී පමණක් කැඳවන ඉහළ පෙලේ සාකච්ඡාවක් වන “කෝබ්‍රා” රැස්වීම ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටළු වලදී තීරණාත්මක තීරණ ගැනීම සඳහා කැඳවනු ලබනවා.එහිදී පොලිසියට අමතරව ආරක්ෂක හමුදාව කැඳවීම කෙරෙහිද අවධානය යොමුවී තිබුනා.

ලිපිය ලියන අවස්ථාව වන විට ඉදිරි දින කිහිපය තුල අරගලය තවත් වර්ධනය වේ යැයි ගණන් බලා තිබූ අතර ජාතිවාදී කැරලි වලට එරෙහිව ජාතිවාදී නොවන කණ්ඩායම් තවත් උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරමින් සිටිනවා. දේපළ වලට සිදුවන හානි වලට අමතරව දෙපාර්ශ්වය අතර සිදුවන ගැටුම් වැලැක්වීමටද බ්‍රිතාන්‍ය පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා. කෙසේ වෙතත් අන්ත දක්ෂිණාංශික ජාතිවාදීන් විසින් ගෙන යන මෙම ගැටුම් පාලනය කිරීමට පියවර නොගතහොත් බහු ජාතික බහු වාර්ගික විශාල ජනතාවක් ජීවත් වන බ්‍රිතාන්‍යයේ අනාගතය කෙබඳු වේදැයි පුරෝකථනය කල නොහැකි තැනකට තල්ලු වනු ඇති.

තිලාන් ජයසේකර 

Sign up for our newsletter