Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
Api-Slide-56-3
previous arrow
next arrow

දිව්‍යමය සතුට ද කාලකණ්ණි සතුට ද?

මිනිස් කය තුළ දිව්‍යමය ජීවිතයක් ගත කළ හැකි අයුරු බුදුදහමේ ඉගැන්වේ. එය අංගුත්තර නිකායේ බ්‍රහ්මවිහාර සූත්‍රයේ ඉගැන්වෙන සුන්දර ප්‍රතිපත්තියක් වන බ්‍රහ්මවිහාර ප්‍රතිපත්තියයි. එම ප්‍රතිපත්තිය සකස් වෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා සහ උපෙක්ඛා යන සුබ මානසික ප්‍රවණතා තුළිනි. එම සතරට ප්‍රතිවිරුද්ධ, විනාශකාරි මානසික ප්‍රවණතා සතරක් ද තිබේ. එම ප්‍රතිවිරුද්ධ ප්‍රවණතා පුද්ගලයා තිරිසන් ස්වභාවයට පත් කරයි. බ්‍රහ්මවිහාර එහි ප්‍රතිවිරුද්ධ මානසික ප්‍රවණතාවලට antidotes හෙවත් විෂනාශක ය. බ්‍රහ්ම යනු දිව්‍යමය ස්වභාවය යි.

මෙවර ලිපියේ අරමුණ එම සතර ආකාරයම පිළිබඳව නොව එහි තුන්වන ප්‍රවණතාව වන මුදිතා සහ එහි ප්‍රතිවිරුද්ධ විනාශකාරි ප්‍රවණතාව පිළිබඳව විමසීම ය. 

දැන් අපි ‘මුදිතා’ සහ එහි ප්‍රතිවිරුද්ධ මානසික ප්‍රවණතාව වන ‘ඉස්සා’ විග්‍රහ කර බලමු. 

අපි මුදිතා (altruism) යනු අනුන්ගේ දියුණුව, වාසනාව දැක සතුටුවීමය. එය දිව්‍යමය සතුටකි. සෙසු ප්‍රවණතා තුනටම වඩා එය පුහුණු කිරීම දුෂ්කර බව බොහෝ අයගේ අත්දැකීමයි. එයට හේතුව නම් එයට ප්‍රතිවිරුද්ධ, විනාශකාරි ප්‍රවණතාව පාලනය කිරීමට පවා අපහසු නිසායි. එනිසා ප්‍රතිපත්තියක් ලෙස මුදිතාව පුරුදු කිරීම දුෂ්කර වුවත් එය පුරුදු කිරීම සඳහා උත්තේජනය ලබාගත හැක්කේ තමන් අනුන්ගේ දුෂ්ට අවධානයට ලක්වීමට අකමැති සේම තමන් ද අනුන්ට දුෂ්ට අවධානය යොමු නොකළ යුතු යැයි තේරුම් ගැනීමෙනි. 

 දැන් මුදිතා හි ප්‍රතිවිරුද්ධ විනාශකාරී ප්‍රවණතාව දෙස බලමු. එය පාලි භාෂාවෙන් ‘ඉස්සා’ බව ඉහත සඳහන් කෙරින. එය සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් jealousy හෝ envy ය. එහෙත් තේරුම තව ගැඹුරුය. එහි සාමාන්‍ය සිංහල තේරුම ‘ඉරිසියාව’ ය. සංස්කෘත භාෂාවෙන් ‘ඊර්ෂ්‍යා’ ය. එහෙත් ධර්මානුකූලව මුදිතාවේ ප්‍රතිවිරුද්ධ ප්‍රවණතාව ඉරිසියාව පමණක් නොවේ. එහි ඉරිසියාවට වඩා භයානක පැත්තක් තිබේ. බෞද්ධ මනෝවිද්‍යානුකූලව ඉරිසියාවෙහි ලක්ෂණ දෙකක් තිබේ. එනම් බලපෑම් ඇතිකරන (forceful) සහ තරහවෙන් යුතු (driven by anger) ලක්ෂණ ය. එනිසා කෙනෙකු ජීවිතයේ යම් දියුණුවක් දැක ඒ පිළිබඳව තරහවට පත්වන්නා සේම එම දියුණුව නැතිවී කෙනෙකු අවාසනාවන්ත සහ වේදනාබර තත්ත්වයට එම දියුණුවේ සිටි පුද්ගලයා දකිනවිට ‘ඉස්සා’ ඇති අයට ඇතිවන්නේ මහත් සතුටකි. එය විස්තර කිරීමට ඉංග්‍රීසියෙන් ගැලපෙන වචනයක් නැති නිසා ඉංග්‍රීසියේද භාවිත වන්නේ ජ(ර්)මන් වචනය වන schadenfreude (ශාඩන්ෆ්‍රොයිඩ) ය. එහි තේරුම අනුන්ගේ විපත හෝ අවාසනාව දැක සතුටුවීම ය. 

එම සතුට කාලකණ්ණි සතුට කාලකණ්ණි සතුටකි. කාලකණ්ණි යනු ධර්මයට අනුගත වචනයකි. කාල යනු අඳුරු හෙවත් dark ය. කණ්ණි යනු අවාසනාව ගෙනෙන නිමිත්ත හෝ ලක්ෂණය ය. කෙනෙකුගේ මුදිතා නමැති දිව්‍යමය ප්‍රවණතාව තමන්ට පමණක් නොව සමාජයටම ආශිර්වාදයක් වන අතර එහි ප්‍රතිවිරුද්ධ ප්‍රවණතාව තමන් ද සමාජය ද කාලකණ්ණි කරයි. එහෙත් කාලකණ්ණි පුද්ගලයා සතුටු වේ. ඒ පව්කාර ස්වභාවයයි.

ධනය බලය සහ ඊනියා උගත්කම තිබුණ ද සමහරු සතුටු වන්නේ කාලකණ්ණි ලෙසය. දිව්‍යමය සතුට ඇති අය ලොවට ඉතා අවශ්‍ය යුගයකි මේ.ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි