Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ශීත සමයේ දී ත් ලස්සනට ඉන්න..

පසුගිය සතියක දී මා විසින් අරඹන ලද මෙම කාලෝචිත ලිපිමාලාවෙන් අද දිනයේ දී අධික සීත කාලයේ දී අපේ හිසකෙස් පිළිබඳව සැළකිලිමත් වන්නේ කෙසේ ද යන්න පිළිබඳව අපි කතාකරමු. 

හිසකෙස් කාන්තා, පිරිමි දෙපාර්ශවයට ම තමන්ගේ රුව පිළිබඳව සිතනා විට වැදගත් ම කොටසක් ලෙස හඳුන්වාදෙන්නට හැකි යි. ඉතින්, නොයෙකුත් පාරිසරික , කාලගුණික, සමාජයීය, සහ තවත් නොයෙකුත් හේතූන් ඔබේ හිසකෙස්වල වර්ධනයට,එහි නොයෙකුත් රෝගී තත්ත්වයන්ට සහ නිරෝගීබවටත් හේතු සාධක වනවා. මෙහි දී ලංකාව වැනි සෘතු භේදය දැඩිව නොදැනෙන රටක මෙන් නොව හිම පතනයවන අධික ශීත දේශගුණයක් ඇති රටක දී අපේ සමට සහ හිසකෙස්වලට මෙන් ම ශරීරයට ත් විවිධ සෘණාත්මක බලපෑම් ඇතිවන අවස්ථා ඉතා ම ඉහළ බැවින් නිතර නිවැරදි සත්කාර සහ රූපලාවණ්‍යය ම ය පුරුදු ඇතිකරගතයුතු වනවා. එසේනම් මූලිකව වම වැදගත්වන කරුණු එකිනෙක මා මෙහි දක්වන්නම්.

1. සතියකට කිහිපවරක් ඔබේ හිසට තෙල්සත්කාරයක් කරන්න.

හිසතෙල් ගැල්වීම ශ්‍රීලාංකික අපට ආගන්තුක කාරණයක් නොවුණත් අදවන විට අධික කාර්‍ය්යබහුල ජීවිත සහ නූතනවාදී ජීවනරටාවකට හුරු වී ඇති බහුතරයක් දෙනා අමතක කර ඇති වැදගත් ම සත්කාරයක් වන්නේ හිසතෙල් ගැල්වීම යි. බොහෝදෙනා තම පෙනුම සහ පෞරුෂය ගැන සැළකිලිමත්වන තරමට ම මෙවන් සත්කාර ගිලිහී යන්නටත් ඇති ඉඩකඩ ඉතා ම ඉහළ යි. එබැවින් ශීතකාලයේදී වෙනදාටත් වඩා ඔබේ හිසට සක හිසකෙස්වලට තෙල් සත්කාර අත්‍යාවශ්‍යය බව සිහිතබාගන්න.

පිරිසුදු පොල්තෙල්,ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල් වැනි වටිනා තෙල්වර්ගවල ඇති ඖෂධීය සංයෝග ඔබේ හිස්කෙස්වලට අවශ්‍යය පෝශණය ලබාදෙමින් හිස්කබලෙහි අධික වියළිබව නිසා ඇතිවන හිස් හොරි, පොතු ගැලවීම්, කැසීම් සහ වෙනත් එවැනි නොරිස්සුම් සහගත තත්ත්වයන් වැළැක්වීමට කටයුතු කර යි.එබැවින් සතියකට කිහිපවරක් එවැනි එක් තෙල් වර්ගයක් හෝ තෙල් මිශ්‍රණයක් මඳක් රත්කර හිස්කබලෙහි ගල්වා ඇඟිලි තුඩු මඟින් ඉතා ම හොඳින් මෘදුව සම්බාහනය කරන්න. අව ම විනාඩි දහයක් පමණ මෙසේ තෙල් ගල්වා සම්බාහනය කිරීමට වගබලාගන්න.එමඟින් හිසකෙස් මූලය ශක්තිමත් කරමින් රුධිර සංසරණ පද්ධතිය උත්තේජනය කිරීමටත්, ඔබේ ආතතිය සහ අනෙකුත් හිසකෙස් සම්බන්ධ අහිතකර තත්ත්ව පාලනය කිරීමටත් මහත් පිටිවහලක් ලබාදෙනු ඇත. තෙල් ගල්වා සම්බාහනයෙන් පැයකට පමණ පසුව ඉතා ම මඳ උණුසුම් වතුරෙන් අවශ්‍යය නම් පමණක් ෂැම්පු කන්ඩිෂනර් භාවිතකර සෝදාහරින්න. 

2. නිතර හිස සේදීමෙන් වළකින්න

මෙය සරලව ම දිනපතා නෑමෙන් වළකින්න යනුවෙන් අපට තේරුම්ගන්නට හැකි යි. දිනපතා ස්නානය අපේ පිරිසුදුකමට ඉතා වැදගත් වුවත් එහි අහිතකර තත්ත්වයක් ඔබේ හිසට , හිසකෙස්වලට, සහ ශරීරයට බලපානබව ඔබ දැන සිටියා ද? ඔව්, අපේ සමෙහි සහ හිස්කබලෙහි මෙන් ම හිස්කෙස්වල ස්වාභාවිකව ම පවතින හිතකර මෘදුකාරක කොටස් දිනපතා ෂැම්පු සහ සබන් භාවිතයෙන් ඉවත් වේ. ෂැම්පූ , සබන් සෑම දෙයක ම ඉහළ රසායනික සංයෝග පවතින අතර එමඟින් ශරීරයට හිතකර, ස්වාභාවික පවතින තත්ත්ව ඉවත්කරමින් නොයෙකුත් ගැටළු ඇතිකරන්නට හේතුවේ.  එනිසා තරමක් අපහසුවෙන් වුවත් දිනපතා හිසකෙස් සේදීමෙන් ඈත්වීම ඔබේ යහපතට ම හේතුවනවා ඇත.

3. නිවැරදිව කන්ඩිෂනර් භාවිතකරන්න

හිසකෙස් ෂැම්පූ යොදා සේදීමෙන් අනතුරුව හැමවිට ම ස්වාභාවිකත්වයට ළඟ , ස්වාභාවික ද්‍රව්‍යය අඩංගු මෘදු එමෙන් ම ඉතා හොඳින් හිසකෙස්වල තැවරිය හැකි කන්ඩිෂනර් වර්ගයක් යොදා සෝදාහරින්න. එමෙන් ම ඒ කන්ඩිෂනර් සහ ෂැම්පූ ඔබේ හිසට, සමට සුදුසු ම වර්ගය බව තහවුරුකරගැනීම අනිවාර්‍ය්ය කාරණාවක් බව අමතක කරන්න එපා.

4. නිතර ම ඉහළ උණුසුමකට රත්වුණු කොණ්ඩා මෝස්තර උපකරණ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයට ගැනී ම අව ම කරන්න.

අද කාලයේ හිසකෙස්වල රැලිගතිය ඉවත්කරන්නට හෝ හිසකෙස් කෘතිමව රැලිකරන්න හෝ වෙනයම් කොණ්ඩා මෝස්තර සඳහා ඔබ අධික උණුසුමකින් භාවිතයට ගතයුතු කොණ්ඩා මෝස්තර උපකරණ (hair straightener, hair dryer or styling tools ) භාවිතයට ගන්නා අයෙකු නම් හැකි හැමවිට ම ඒ උපකරණ සහ නිෂ්පාදන භාවිතය අව ම කරන්න. දිනපතා එවැනි උපකරණ භාවිතයෙන් අධිකව ඔබේ හිසකෙස් සහ හිස්කබලට අහිතකර බලපෑම් එල්ලවන අතර ඉන්සමහර අවස්ථාවක දීර්ඝකාලීනව බලපෑ හැකි හානි ඔබේ හිසට සහ කෙස් කළඹට සිදුවිය හැකි අවස්ථා විරල නොවේ.

5. නිවසින් පිටවන හැම අවස්තාවක දී ම හැකි හැමවිට ඔබේ හිසකෙස් ආවරණය කරගන්න

අධික ශීතලට නිරාවරණය වන ඔබේ හිස කෙස් සහ හිස් කබල ඉතා ඉක්මනින් අධික වියළිබවට පත් වේ. එබැවින්  හැමවිට ම ඔබ නිවසින් පිටත් ඇවිද යනවිට දී හිසකෙස් ආවරණය කරගැනීමට මතක තබාගන්න. සැටින් හෝ සිල්ක් ලේන්සුවකින් පළමුව හිස ආවරණයකර අනතුරුව වූල් හෝ එවැනි අමුද්‍රව්‍යයවලින් නිමවූ හිස්පළඳනා පැලැඳීමෙන් නිතර සිදුවන අපහසුතා මඟහරවා ගත හැක. එසේ ම එම පියවරට පෙර ඔබට සුදුසු තෙල් මිශ්‍රණයක් හෝ තෙල්වර්ගයක් ස්ප්‍රේ කිරීමෙන් තවදුරටත් හිසකෙස් අපහසුතාවලින් තොරව ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇත.

6. තද උණුජලයෙන් ස්නානය කිරීමෙන් වළකින්න.

ශීතකාලයේ දී උණුජලය භාවිත නොකිරීමෙන් ඇතිවන අපහසුතා මා මෙහි දී කිවයුතු නෑ.ඔබ සැවො ම ඒ ගැන හොඳින් ම දන්නා නිසා.එහෙත් නිතර, දිනපතා උණු ජලය භාවිතයෙන් සේදුම්කිරීම නිසා හිස ද අධිකව වියළිභාවයට පත්වනු ඇත. එසේ ම හිසේ සහ සමේ ඇති හිතකර ස්වාභාවික තෙල් තට්ටුව ද එමඟින් වියැකී යන නිසා මඳ උණුසුම් වතුර නැතිනම් ඇල්මැරුණු දියෙන් ස්නානය කරන්නට වගබලා ගන්න. එමෙන් ම සතියට දෙවරක්වත් (ඔබ දිනපතා ස්නානය කරන අයෙක් නම්) deep hair conditioning හෝ hair mask එකක් භාවිත කරන්න.එමඟින් කොණ්ඩය අධිකව වියැලීමෙන් වලකා කෙස්කළඹ නිරෝගීව පවත්වාගැනීමට උපකාරවනු ඇති.

ඉතින් මෙයට අමතරව හැකිතරම් ජලය පානය කිරී ම ත්, සමබල ආහාරවේලකට දිනපතා හුරුවීම ත් ඔබේ හිසේ සහ හිසකෙස්වල නිරෝගී පැවැත්මට මහත් රුකුලක් වනු ඇති.

ඉතින් අද ත් ඔබට වැදගත්වන කරුණු බොහොමයක් මේ ලිපිපෙළින් ඉදිරිපත් කිරීමට ලැබී ම සතුටක්! 

ඔබ සැම දෙනාට ම සුබ දවසක් !!

සමීරා ජයසිංහ 

Sign up for our newsletter