Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

2024 – Jan – 02

චිත්තධර්ම

විස පෙවූ හීය (poisoned arrow):

ඔබත් ප්‍රායෝගික ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් සෙවීම පසෙක තබා දාර්ශනික තර්ක විතර්කවල යෙදෙන අයෙක් ද? ඔබ එසේ නොවුනත් එසේ හැසිරෙන අය පිළිබඳව ඔබ දන්නවා වෙන්නට පුළුවන. මෙම විස පෙවූ හීය පිළිබඳ බෞද්ධ මනෝ විශ්ලේෂණය එවන් හැසිරීම සහිත අය වෙනුවෙනි. 

විස පෙවූ හීය පිළිබඳව උපදේශ කථාව සඳහන් වන්නේ මජ්ඣිම නිකායේ චූල මාලුන්ක්‍ය සූත්‍රයේ ය. ඒ සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ වදාළේ ජීවිත ගැටළු සඳහා ගතයුතු ප්‍රවේශය විය යුත්තේ  ප්‍රායෝගික ප්‍රවේශය (pragmatic approach) මිස පාරභෞතික හෙවත් ලොවෙත් නැති ප්‍රවේශය (metaphysical approach) නොවිය යුතු බවයි.

බුදුරදුන් හමුවට පැමිණි මාලුන්ක්‍ය නම් භික්ෂුවක් තමන්ට තිබූ පාරභෞතික ප්‍රශ්න (metaphysical questions) 14 ක් සඳහා පිළිතුරු ඉල්ලා සිටිවිට උන්වහන්සේ නිහඬ වූහ. එම ප්‍රශ්න 14 ම මෙලොවට සම්බන්ධ නැති එහෙත් විශ්වය, මරණින් පසු බුදුරදුන්ගේ ආත්මභාවයට කුමක් වේද ආදි පාරභෞතික කරුණු පිළිබඳව ය. බුරුරදුන් උත්තර නොදී දිගටම නිහඬ වන්නේ නම් තමන් ධර්මය අත් හැර සිවුරද හැර යන බව මාලුන්ක්‍ය භික්ඛුව පැවසීය. 

එවිට බුදුරජාණන්වහන්සේ විස පෙවූ හීතලය පිළිබඳ උපදේශ කථාව පැවසූහ. 

‘වරක් පුද්ගලයෙකුට හීතලයක් වැදී එය ඔහුගේ සිරුර පසාරු කරගෙන ගියේය. එය ඔහුගේ නෑයන් සහ අවට සිටි අය වහාම වෛද්‍යවරයෙකු ගෙනවිත් ප්‍රතිකාර ලබා දීමට සැලැස්සුවත් රෝගියා එයට බාධා කරමින් ” මේ හීතලය ගලවන්න කලින් මට දැනගන්න ඕනෑ ඊතලය විද්දේ යුධ භටයෙක්ද පූජකයෙක්ද වංශවතෙක්ද මෙහෙකරුවෙක්ද කියලා. මට ඔහුගේ කුලය, වංශය, පරම්පරාව වගේම ඔහු උසද මිටිද ආදි ශරීර ස්වභාවය ගැන. ඒ වගේම දුනු මිට හදලා තියෙන්නේ මොන ලෝහ වර්ගයෙන්ද කියලා. එසේම දුනු ලණුව හදලා තියෙන්නේ උණ, ගස් පොතු ආදී මොන ද්‍රව්‍යයකින්ද කියලා….” ආදි මෙහි සඳහන් කිරීමට අපහසු තරම් දිග ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළේය. 

මෙම උපදේශ කථාවට අනුව රෝගියා තම මතවාදී මුරණ්ඩුකම (ideological stubbornness) නිසා හීතලය ගැලවීමට ඉඩ නොදුන්නේ නම් එනිසා ඔහුගේ ජීවිතය විනාශ වෙන්නට ඉඩකඩ තිබුණ. වෛද්‍යවරයාගේ සහ අවට සිටි අයගේ කාරුණික උපදේශ පිළිපැද්දේ නම් ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබිණ.

ඇතැම් අය තමන්ගේ ශාස්ත්‍රීය දැනුම, ආගමික දැනුම පාවිච්චි කරනුයේ අනුන්ගේ යහපත කෙසේ වෙතත් තමන්ගේ යහපතටද විනාශකාරී බාධාවක් ලෙසටය. වියලි පාරභෞතික මතවාදී මුරණ්ඩුකම නිසා තම විවාහ ජීවිතය අසාර්ථක කරගත්, රැකියාව අහිමි කරගත්, සිරගත වූ, සමාජයෙන් සහ පවුල් හිතමිතුරන්ගෙන් කොන්වුනු, රුධිර පාරවිලයනය සහ ඉන්ද්‍රීය හෝ පටක බද්ධය පාරභෞතික ආගමික විශ්වාස නිසා රෝග පීඩාවෙන් මරණයට පත්වුනු අය බොහෝය. 

බුදුරජාණන්වහන්සේ පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ උත්තර නොදන්නා නිසා නොව මාලුන්ක්‍ය භික්ෂුවගේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවට එම වියලි පාරභෞතික කාරණාවලින් ප්‍රයෝජනයක් නොවන නිසාය. උන්වහන්සේ ධර්මාවබෝධය අතක්කාවචර හෙවත් තර්කයෙන් දැනගත නොහැකි (not graspable by logic) බව දේශනා කළේ එයින් ඇතිවන්නේ මතවාදි මත්වීමක් (ideological infatuation) පමණක් නිසාය. 

අද ආගමේ නාමයෙන් ජනතාව මුලා කරන බොහෝ විනාශකාරී පාරභෞතික මතවාද බිහිවී තිබේ. බුදුරජාණන්වහන්සේගේ ධර්මය පාරභෞතික නොව මෙලොව නිවැරදිව ජීවිත්වීම පිළිබඳව උගන්වන මාර්ගයකි. මාර්ගය නිවැරදි නම් මරණින් පසු යන තැන පිළිබඳව සැළසුම් කරන්නට අවශ්‍ය නැත. ප්‍රායෝගික නොවන සිතක ධර්මය ද නැත.

ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Sign up for our newsletter