Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

2024 – Jan – 06

සීසර්ලා ටෙලිනාට්‍යය තුලින් වෙනස්ම විදියේ චරිතයකට දායකවන්නට මට අවස්ථාව ලැබුනා.

2024 වසරෙහි අපි Magazine ජනවාරි මස කලාපය සදහා දශක කිහිපයක රංගන අත්දැකිමෙන් පරිපූර්ණ එදත් අදත් පුංචි තිරයේ සොදූරු ප්‍රේමවන්තයෙකු වන චරිතාංග රංගන ශිල්පියෙකුගේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නටයි සුදානම.

‍පුංචි තිරයෙහි ප්‍රේක්ෂක ජනාදරයට පත්වු පබළු, අමා, සත්‍ රළ පෙළ, කෝරලේ මහත්තයා, චායා, උතුම් පැතුම්, රන් තරු, අහස් මාළිගා සහ මෙම වකවානුවේදි විකාශනය වන සීසර්ලා, කියා දෙන්න ආදරේ තරම් වැනි ටෙලිනාට්‍යය සමග ආලින්දයට පැමිණ ප්‍රේක්ෂක සිත් තුල අමතක නොවන චරිත තුලින් තම රංගන කුසලතාය මනාවට පිළිබිඹු කිරිමට සමත් වු විශ්ව කොඩිකාර නම් වු නිරහංකාර අතිදක්ෂ චරිතාංග රංගන ශිල්පයාගෙන් රංගන ක්ශේත්‍රයට ලැබුනේ මහගු දායකත්වයක්.

දක්ෂ රුවැති බිරිඳක්, හුරතල් දියණියක් සහ දගකාර පුතෙකුගෙන් පරිපුර්ණ වු ඔහුගේ සුන්දර පුංචි කැදැල්ලට එන්න අප සමග ගොඩ වි ඔහුගේ වතගොත විමසන්නට…

1) විශ්ව, මොනවද මේ දවස්වල අලුත් විස්තර?

මෙම දිනවල දෙරණ නාලිකාවෙහි සතියේ දින පහේම රාත්‍රි 9 ට විකාශනය වන සීසර්ලා ටෙලිනාට්‍යයෙහි රංගන කටයුතු ගොඩක් ආසාවෙන් කරගෙන යනවා. මම මෙතෙක් රංගනයෙන් දායක වු චරිත අතුරින් වෙනස්ම විදියේ චරිතයකට රංගන දායකත්වය ලබා දෙන්න සීසර්ලා තුලින් මට අවස්ථාව ලැබුනා. ඊට අමතරව කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයෙහි රූපගත කිරිම් කෙරෙමින් පවතිනවා. එමෙන්ම අලුත් ටෙලිනාට්‍යය දෙකක් සදහා සුදානම් වෙනවා. රිදි තිරය ගැන කතා කරනකොට අජිත් ධර්මසූරිය මහත්මයාගේ නිර්මාණයක් වන වර්ණ ච්ත්‍රපටය මෙම වසරේදි තිරගතවිමට නියමිතයි.

2)”සීසර්ලා” ටෙලිනාට්‍යය සමග සම්බන්ධ වෙන්න ලැබුන අවස්ථාව පිළිබදව සහ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබදව කියමුද?

බුද්ධික සේමසිංහ මහතාගේ තිර පිටපතකට අනුව නිර්මාණය වන “සීසර්ලා” ටෙලිනාට්‍යය අධක්ෂණය කරන විශ්ව ලංකා මහතාගේ ඇරයුමෙන් එහි ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වන්න මට අවස්ථාව ලැබුනා. මෙය මම මෙතෙක් සම්බන්ධ නොවුන වෙනස්ම විදියේ චරිතයක්. නාට්‍යය සහ රංග කලාව පිළිබදව මගේ ගුරුතුමා වන මහේන්ද්‍ර පෙරේරා මහතා නිරන්තරයෙන්ම අපට උපදෙස් ලබා දෙන්නේ විවිධ චරිත කරන්න උත්සාහ කරන්න කියලා. එම හේතුව නිසා සහ චරිතය පිළිබදව මගේ තාත්තාගේ ධනාත්මක අදහසත් ඇතුව මෙම චරිතය භාර ගන්න මම තිරණය කලා.

මෙහි ප්‍රධාන චරිත කිහිපයක් තියනවා. එම සියලූම චරිතවලට සාධාරණයක් වන අයුරින් බුද්ධික සේමසිංහ මහතා සහ විශ්ව ලංකා මහතා සීසර්ලා ටෙලිනාට්‍යයෙහි නිර්මාණය කටයුතු කරගෙන යනවා.
සීසර්ලා සදහා ඉතාම හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිම පිළිබදව මට අතිශය නිහතමානී ආඩම්බරයක් තියනවා. මෙම චරිතය මට නොගැලපෙන බව කියන ඉතාම සුළු පිරිසක් ඉන්න නමුත් මට ආදරය කරන සියලු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මම ඉතාම ආදරයෙන් භාර ගන්නවා.

3)”කියා දෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයෙහි අමතක නොවන අත්දැකීම් පිළිබදව මතක් කලොත්..

ඇත්තටම කිවුවොත් “කියා දෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයෙහි මම වැඩ කටයුතු කලේ ඉතාම අඩු කාලයක් නිසා ඒ පිළිබදව විශේෂ යමක් මට කියන්න නැහැ.

4)විශ්ව රංගනයෙන් දායක වු “වර්ණ” ච්ත්‍රපටයට නුදුරේදි තිරගතවිමට නියමිතද? ච්ත්‍රපටය සදහා ඔබට ඇරයුම් ලැබුනේ කොහොමද?

අජිත් ධර්මසූරිය මහතා සහ මම මහනුවර ධර්මරාජ විද්‍යාලයෙහි ආදි ශිෂ්‍යයන්. පාසලේ හිතවතෙකුගේ මාර්ගයෙන් දවසක් මට අජිත් අයියා කතා කරලා “ඇයි වෙනස් විදියේ චරිත කරන් නැත්තේ? එවැනි චරිත ලැබෙන්නේ නැද්ද? නැත්තම් කරන්න අකැමැතිද? ” වගේ ඔහුගේ නිර්මාණය පිළිබදව ඉගි නොකර ප්‍රශ්න කිහිපයක් ඇහුවා. වෙනස් විදියේ දෙයක් කරන්න ඉතාමත් කැමැත්තෙන් එවැනි චරිත ලැබෙයි කියලා බලාපොරොත්තු ඉන්න බව මම ඔහුට කිවුවා. ඉන්පසු ඔහු මෙම නිර්මාණයෙහි පිටපත මට ලැබෙන්න සැලැස්සුවා.

මෙම චිත්‍රපටය මම හදවතින්ම පුදුම ආසාවකින් දායක වුන නිර්මාණයක්. විශේෂයෙන්ම මහනුවර මගේ ගමේ චිත්‍රපටියෙහි රූපගත කිරිම් කල නිසා නුවර පරිසරයෙහි සුන්දරත්වය විදිමින් සහභාගි වුන ඉතා විශිෂ්ට නිර්මාණයක් කිවුවොත් මම නිවැරැදියි.
වර්ණ චිත්‍රපටයෙහි අධක්ෂණකතුමා අජිත් ධර්මසූරිය මහතා පැවසු පරිදි මෙම වසරේදි ච්ත්‍රපටය තිරගතවිමට නියමිතයි.

5)රංගන කටයුතු සදහා ඔබේ ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

රංගන ක්ශේත්‍රයට අවතීරණය වන්නට මුලිකවම අඩිතාලම යොදලා දුන්න මගේ තාත්තාව මුලින්ම ආදරයෙන් මතක් කරන්න ඕනේ. මාව රංගන ක්ශේත්‍රයට හදුනා දෙන්න මෙය සුදුසුම කාලය කියලා අදහස් ඉදිරිපත් කල රොයි ද සිල්වා මහත්මයා සහ ගාමිණි සමරසිංහ මහත්මයාවත් මතක් කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. රංගනය පිළිබදව හැදැරීම සදහා මහේන්ද්‍ර පෙරේරා මහත්තයා යටතේ පාඨමාලාවක් සදහා මුලින්ම තාත්තා මාව යොමු කරනවා. මම මුලින්ම රංගනයෙන් දායක වුයේ මගේ තාත්තගේ නිර්මාණයක් වන “සදාධර ජෝති” ච්ත්‍රපටයෙහි ඉන්පසු තාත්තගේ නිර්මාණ කිහිපයකම මම රංගනයෙන් දායක වුනා. එදා මෙන්ම අදටත් ගුරුහරුකම්, අදහස් ලබා දෙමින් තාත්තා මගේ රංගන ගමනේ ලගින්ම ඉන්නවා. එමෙන්ම මගේ ජිවිතයේ හයියක් වුන ආදරණීය අම්මාගෙන්, හදවතින්ම ලගින් ඉන්න මගේ අක්කගෙන් ලැබෙන සහයෝගයත් මතක් කරන්න ඕනේ.

මගේ බිරිඳ ගැන ඇත්තම කියනවා නම් අපි විවාහ වුන මුල් කාලයේදි රංගන ශිල්පියෙකුගේ වෘත්තීය ස්භාවය තේරුම් ගෙන මට සහයෝගය දෙන්න කොහොමද කියලා එයාට අවබෝධයක් තිබුනේ නැහැ. නමුත් පහු කාලිනව එයා සෑහෙන දුරට මෙම වෘත්තීය පිළිබදව තේරුම් අරගෙන අද වෙනකොට ඉතාම හොද සහයෝගයක් මට ලබා දෙනවා.

6)වෘත්තිමය රංගන ශිල්පියෙකු වශයෙන් චරිත තෝරා ගැනිමේදි සීමාවන් තියනවාද?

ඇත්තටම තියනවා. වෘත්තීය රංගන ශිල්පයෙකු වශයෙන් විවිධ චරිත සදහා රංගනයෙන් දායකවන්නට මම කැමති නමුත් ලංකාව වැනි සංස්කෘතියක් සහිත රටක රංගන කටයුතු කිරිමේදි පවුලේ සියලු දෙනාටම එකට ඉදගෙන නැරඹිය හැකි ටෙලිනාට්‍යය සහ ච්ත්‍රපට තෝරා ගෙන මගේ දායකත්වය ලබා දෙන්න මම සැලකිලිමත් වෙනවා. එවැනි අවස්ථාවක් සදහා උදාහරණයක් විදියට කිවුවොත් වර්ණ ච්ත්‍රපටය රූපගත කිරිමේදි පිටපතෙහි තිබුන කොටසක මම රංගනයෙන් දායකවන්නට කැමති සීමාවන් පිළිබදව අජිත් ධර්මසූරිය මහතා සමග සාකච්ඡා කරගෙන අපි වෙනස්කම් කර ගත්තා.

7)ඉදිරියේදි රංගනයෙන් දායකවන්නට අවස්ථාව ලැබෙයි යැයි බලාපොරොත්තුවෙන් ඉන්න චරිත තියනවාද?

රංගනයෙන් දායක වන්නට කැමති චරිත නම් ගොඩක් තියනවා. ස්වාමින්වහන්සේ නමකගේ චරිතයක් කරන්න ලැබුනොත් සහ ගොළු තාත්තා ටෙලිනාට්‍යයෙහි මහේන්ද්‍ර පෙරේරා මහත්මයා අති සාර්ථකව රග දැක්වු ගොළු චරිතය වැනි චරිත නිරූපණයට මෙන්ම අන්ධ පුද්ගලයෙකුගේ චරිතයක් වැනි වෙනස් ආකාරයේ චරිත සදහා දායකත්වය ලබා දෙන්න මම හරිම කැමතියි.

8)ඔබ සමාජ මාධ්‍යය භාවිතා කරනවාද?

මම සාමාජ මාධ්‍යය භාවිතා කරනවා. අපේ පවුලේ සියළු දෙනාම එකතුව විශ්ව එරංදි නමින් Youtube නාලිකාවක් පවත්වාගෙන යනවා. Facebook මම කාලයක් භාවිතා කලේ නැහැ නමුත් විවාහයෙන් පස්සේ මගේ බිරිඳගේ උනන්දුවෙන් Facebook ගිණුමක් මම ආරම්භ කලා. මගේ නමින් මගේ නොවන වෙනත් පුද්ගලයන් විසින් මෙහෙය වන Facebook ගිණුම් බොහෝමයක් තියන නිසා Facebook ගිණුම් හරහා මා සමග සම්බන්ධ විමේදි නිවැරදි ගිණුම තහවුරු කර ගන්න කියන පණිවිඩය මගේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

9)ප්‍රේක්ෂක ආදරය නිබදව දිනා ගත් විශ්ව කොඩිකාර නම් වු දක්ෂ රංගන ශිල්පියාව අපට ඉදිරියේදි දැක ගන්නට ලැබෙන නිර්මාණය මොනවාද?

මම කලින් සදහන් කල ආකාරයට මෙම දිනවලදි දෙරණ නාලිකාවෙහි විකාශනය වන සීසර්ලා ටෙලිනාට්‍යය සමග සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. එමෙන්ම ඇරයුම් ලැබුන ටෙලිනාට්‍යය දෙකක් මෙම වසරේදි රූපගත කිරිම් ආරම්භ වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. රිදිතිරය පිළිබදව කිවුවොත් වර්ණ ච්ත්‍රපටය තුලින් සහ ඇරයුම් ලැබුන තවත් ච්ත්‍රපටයක් තුලින් ඉදිරියේදි මාව ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබේවි.

අමා නාකන්දලගේ

Sign up for our newsletter