Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

එක්සත් රාජධානියේ ඉදිරි වසර සඳහා වූ අයවැය 

එක්සත් රාජධානියේ ඉදිරි වසර සඳහා වූ අයවැය ලේඛනය පසුගිය බදාදා බ්‍රිතාන්‍යය චාන්සලර් ජෙරමි හන්ට් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. බොහෝ විට මේ වසරේ අවසාන භාගයේදී මහමැතිවරණයකට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින වර්ථමාන රජයේ අවසාන අයවැය ලේඛනය විය හැක්කේ බදාදා ඉදිරිපත් කල අයවැය වන බැවින් බදු අඩුකරමින් සහ තවත් දීමනා කිහිපයක් වැඩි කරමින් ජනතාවට සහන රැසක් ලබා දෙන්නට චාන්සලර්වරයා කටයුතු කර තිබුනා. පක්ෂයක් ලෙස කොන්සර්වේටිව් පක්ෂය මැතිවරණයේදී යම් වාසියක් ලබාගැනීමේ බලාපොරොත්තුව මෙවර ලබාදුන් සහන වල සැඟවුණු කතාව බවයි බොහෝ දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරන්නේ.

අයවැය යෝජනා රැසක් අතරින් ප්‍රධානතම සහ ආකර්ෂණීයම යෝජනාව වූයේ පුද්ගලයන් විසින් ගෙවන ජාතික රක්ෂණය 2% අඩු කිරීමයි. පසුගිය සැප්තැම්බර් අයවැය ලේඛනය මගින්ද එවකට 12% ක්ව තිබූ ජාතික රක්ෂණය 10% අඩු කල අතර අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත නව අඩු කිරීම මගින් ජාතික රක්ෂණ ප්‍රතිශතය 8% බවට පත්වනු ඇති. ඒ අනුව £ 25,000 ක වාර්ෂික වැටුපක් උපයන්නෙකුට පවුම් 249 ක් පමණ වාර්ෂිකව ඉතුරු කල හැකි අතර £35,000 වාර්ෂික වැටුප් උපයන්නෙකු පවුම් 750 ක පමණ ප්‍රතිලාභයක් උපයනු ඇති.

ඊට අමතරව ආදයම් බදු ගෙවන ආදායම් සීමාවන් 2028 වසර දක්වා වෙනස් නොකිරීමටද අයවැයෙන් යෝජනා කෙරුනා. ඒ අනුව £50,000 දක්වා වාර්ෂික ආදායම් උපයන්නන් 20% බදු ගවිය යුතු ප්‍රතිශතය 2028 වසර දක්වා පවතිනු ඇති. එහෙත් එම යෝජනාව මගින් අනාගතයේදී වැඩි පිරිසකට ඉහළ බදු ගෙවීමට සිදුවෙතැයි අදහස් පළවෙනවා. අනාගතයේදී ආදායම් හෝ වැටුප් මට්ටම ඉහළ යාමට සාපේක්ෂව බදු ගෙවිය යුතු ආදායම් සීමාවන් ඉහළ නොයැම හේතුවෙන් මෙලෙස වැඩි පිරිසකට බදු ගෙවීමට සිදුවනු ඇති. ආර්ථික විද්‍යාඥයන්ගේ අනාවැකි වලට අනුව 2028 වසර වන විට තවත් මිලියන 3.7 ක ජනතාවකට අළුතින් බදු ගෙවීමට සිදුවනු ඇති.

අයවැය මගින් ලබාදුන් තවත් සහනයන් අතර දරුවන් වෙනුවෙන් ලබාදෙන දීමනාව ඉහළ දැමීමද වඩා ආකර්ෂණීය යෝජනාවක් වේ. ඒ අනුව මේ වන විට පවුලක පළමු දරුවා වෙනුවෙන් රජය විසින් සතියකට ගෙවනු ලබන £24 ක මුදල 25.60 දක්වා ඉහළ යනු ලබන අතර අමතර දරුවෙකු වෙනුවෙන් සතියකට ගෙවන ලද £15 ක මුදල 16.95 දක්වා ඉහළ දමා තිබේ. ඒ අතර ළමා දීමනාව ලැබිය හැකි දෙමව්පියන්ගේ අවම වාර්ෂික ආදායම් මට්ටම පවුම් 50000 සිට £ 60,000 දක්වා ඉහළ දමා තිබේ. ඒ අනුව වාර්ෂික කුටුම්භ ආදායම පවුම් 60000 දෙමව්පියන්ට පවා ළමා ප්‍රතිලාභ ලබාගත හැකි වේ. සමස්තයක් ලෙස 2024-25 වසර තුල පවුල් 485,000 ළමා ප්‍රතිලාභ ලබාගනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

පළමු වරට නිවසක් මිළදී ගන්නන් සඳහා කිසියම් ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් අයවැය මගින් යෝජනා කරනු ඇතැයි බලාපොරොත්තු උවද ඒ සම්බන්ධයෙන් කිසිඳු යෝජනාවක් මෙවර අයවැය තුල ඇතුලත්ව නොතිබිනි. බ්‍රිතාන්‍යය මාධ්‍ය අනාවැකි පළකර තිබුනේ 99% නිවාස ණය ලබාදීමේ යෝජනාවක් අයවැයට ඇතුලත් වනු ඇති බවයි. එහෙත් ආර්ථික විශේෂඥයන් කල් තියාම අනතුරු අඟවා තිබුනේ එවැනි යෝජනාවක් අයවැයට ඇතුලත් උවහොත් ඉදිරි වසර කිහිපය තුල බ්‍රිතාන්‍යයේ නිවාස වෙළඳපොළ කඩාවැටෙනු ඇති බවයි.

වරක් භාවිතා කර ඉවත දමනු ලබන දුම්වැටි වර්ගයක් වන Vaping සඳහා 2026 වසරේ සිට නව බද්ධක් පැනවීමට අයවැයෙන් යෝජනා කල අතර ඒ අනුව එම දුම්වැටි වල මිළ ඉදිරියේදී ඉහළ යනු ඇති. ඒ අතර මත්පැන් සඳහා පනවා ඇති බදු ලබන වසරේ පෙබරවාරි දක්වා ඉහළ හෝ පහළ නොදමන බවට චාන්සලර්වරයා ප්‍රකාශ කල අතර ඒ අනුව ලබන වසර දක්වා බ්‍රිතාන්‍යයේ මත්පැන් මිළ ඉහළ නොයනු ඇති. 

දැනට බ්‍රිතාන්‍යයේ බදු ගෙවීමකින් තොරව පුද්ගලයෙකුට මුදල් ඉතිරි කල හැකි ස්ථාවර ගිණුම් හෙවත් ISA සීමාව පවුම් 20,000 සිට 25,000 දක්වා ඉහළ දැමීමට අයවැය මගින් යෝජනා කල අතර එම නව සීමාව ඉහළ යන දිනයක් තවමත් ප්‍රකාශ කර නොමැති වේ.

අයවැය අතර තුර හෙලිකෙරුනු තවත් වැදගත් කාරණාවක් වන්නේ මේ වන විට බ්‍රිතාන්‍යයේ පවතින උද්ධමනය මේ වසරේ ජුනි මාසය වන විට 2% දක්වා අඩුවනු ඇති බවත් එය ලබන වසරේදී 1.5% දක්වා අඩුවීමට නියමිතව ඇති බවත් වේ. අයවැය මගින් කරන ලද යෝජනා සහ පළකරන ලද ආර්ථික අනාවැකි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ නම් ලබන වසර ආරම්භව වන විට වඩා හොඳ ජීවන තත්වයක් උදාකර ගැනීමට බ්‍රිතාන්‍යයේ ජීවත් වන ජනතාවට හැකියාව ලැබෙනු ඇති.

තිලාන් ජයසේකර 

Sign up for our newsletter