Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
Api-Slide-56-4
previous arrow
next arrow

24-06-08

ෆොර්ට් නේපියන්

ෆිලිප් අයිලන්ඩ් (Phillip Island ) යනු මෙල්බර්න් ජීවත් වන බොහෝ දෙනෙකු දවසේ නිවාඩුවකට තෝරාගන්නා බෙහෙවින් ප්‍රසිද්ධ ගමනාන්තයක්. හැමදාමත් වගේ දන්නා මායිමෙන් ඔබ්බට ගොස් සුන්දරත්වය සොයා වෙහෙසකර ගමනක් යාමට කැමති රුචියා සහ නික් අපිත් සමග එකතු වුනේ බොහෝ අය නොදන්නා නමුත් ෆිලිප් අයිලන්ඩ් ප්‍රදේශයේම පිහිටා ඇති ෆෝර්ට් නේපියන් (Fort Napean) නැරඹීමට යාමට.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ යුධ බලකොටුවක් ලෙස  යටත් විජිතය ආරක්ෂා කිරීමට සහ හමුදා පුහුණුවටත් , බලකොටු ජාලයක කොටසක් ලෙසත් මෙම ස්ථානය යොදා ගැනුණා.   අද වනවිට මෙම ඉසව්ව ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර තිබෙනවා.

වෙනදා මෙන් පෙර සුදානමක් නොතිබූ නිසාවෙන් ආහාර පාන සකස් කරගන්නේ නැතුවම අපි ගමන පිටත් වුනේ මගදී හමුවන අවන්හලකින් කඩචෝරු බඩට දාගන්නට යටි හිතේ අරමුණු කරගනිමින්. පැයක පමණ ගමනකින් පසු අපි මෝර්නින්ග්ටන් අර්ධද්වීපයේ (Mornington Peninsula) පිහිටා ඇති පෝට්සී (Portsea) ග්‍රාම්‍ය කළාපය වෙත පිවිසුනේ  අපේ ගමනාන්තයට ලඟා වෙමින්. 

වාහනයේ තිරිංග තද කර වාහනයෙන් බැසගත් අපි, නේපියන් බලකොටුව වෙත යන මගට පිවිසුනේ ඈත  මුහුදෙන් දිස්වන චමත්කාරයත් , ඒ පරයා කන්ද මුදුනේ  හුණු ගල් වලින් තනා ඇති බලකොටු ප්‍රකාරයේ තේජාන්විත බවත් අදහා ගත නොහැකිවයි. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම ස්ථානයේ මද වෙලාවක් ගත කල අපිට දැනුනේ , බලකොටුවේ පිහිටා තිබු බිම් ගෙවල් සහ ආරක්‍ෂිත කුටි තුලින් තවමත් යටත් විජිත සමයේ සහ ලෝක යුධ සමයේ සිරවුන වෙඩි හඬවල්  දෝංකාර දෙනවාද යන්නයි. එය ජීවමානව දැනෙන තරමට බොහෝ වැදගත් කරුණු අඩංගු දැන්වීම් පුවරු සෑම ස්ථානයකම වගේ ඡායාරුප සමගම බලකොටුව පුරා සංචාරකයින්ට දැකබලාගැනීමට පිහිටා තිබුණා .

ලංකාවේ රූමස්සල කැලෑ බද මුහුදු වෙරළට යනවිට දැනෙන ඒ සිතැඟියාව , නිල්වන් මුහුදත් එක්ක මුහු වෙන ගස් කොළන් වල වර්ණයන් වලින් අපිව ඇද බැඳගන්නා ඒ මායාවන් මෙම පෙදෙසේ නොඅඩුව ඇති බව වැටහුනේ, බලකොටුවෙන් ඔබ්බට ඇති පඩිපෙළ දිගේ පල්ලම් බහිනා විට.   

අනූව දශකයේ ඉපදී හැදුනු වැඩුණු නිසාවෙන් රොබින්සන් අන්දරය, පන් පසිඳුවන්ගේ වික්‍රම ආදී කතා මාලා නරඹා තිබු අපේ නඩය නැවතත් වාහනයට ඇවිදන් එනකන් ම පරණ කතාවල මතකයන් හාරවුස්සන්නට ගත්තේ, මෙම පෙදෙසේ දසුන් පමණක් නොව ඉන් හමා ආ සුළඟ පවා අපිව මතක ගොන්නක හිර කරගන්නට සමත් වූ නිසාවෙන්. 

එන අතර මග හරිහමන් අවන්හලක් හමු නොවූ නිසාවෙන් බෙරික් වල පිහිටා ඇති ඇඹුලට ගොඩවුනේ සුමිතුරන් නැවතත් එක්වන දවසක් නොදන්නා නිසා ලංකාවේ ක්‍රමයට හිත පිරෙන්න ආහාර වේලක් ලබාගෙන , මතක පොත තුරුළු කරන් විසිර යන්නට.

Sign up for our newsletter