Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

24-06-19

ඔබට ආදරෙයි නම්….

ඔයා එක වරකට එක වැඩකට වඩා කරන කෙනෙක්ද? හරියට මේ වගේ. දුරකතනයට සවන්දෙන අතර තේ එකක් හදන, බබාගෙ කොන්ඩෙ පීරන ගමන් එයාගෙ හවස පන්ති ගැන අහන, දවසෙම වැඩ ටික කරලා පොඩි නින්දක් දාන්න ඇඳට ගියත් නින්ද යනකං රෑට හදන කෑම වේල ගැන වදවෙන, තේ එකක් කෝපි එකක් බොන අතරවාරෙ ගෙදරට උවමනා අඩුම කුඩුම ගැන හිතන?? එහෙමත් නැත්නම් ⁣ගෙදර අය සමග ගතකරන පොඩි විවේකයකදි හරි තම රැකියාව හෝ ව්‍යාපාරය ගැන හිතන‍‍, අතපසුවු හෝ ඉදිරියට කල යුතු දෑ සමග හිතින් දුර ගමන් යන??

මේ කියන ධර්මතාව අපි හැමෝටම පොදු කාරණාවක්. වෙනසකට තියෙන්නේ ඒ ඒ පුද්ගලයා මේ කියන කාරණාව සම්බන්ධයෙන් කොපමණ කාලයක් වැය කරනවාද යන්නයි. 

කොහොම උනත් අපි හැම කෙනෙකුටම තියෙන්නේ දවසකට එකම පැය විසිහතරයි, ඒක ඇත්ත. වෙනස් වෙනස් ඔරලෝසු වලින් වෙලාව බැලුවට හැම කෙනාගෙම එක දවසක් කියන්නේ එක පැය විසිහතරක්.. කාල කළමනාකරණය ගැනවත් දවස සැලැසුම් කරන එක ගැනවත් නෙවෙයි මේ කියන්න උත්සහ කරන්නේ. ඔයාට පහසු ඕනෑම විදියකට, අවශ්‍යතාවට ගැලපෙන්න ඔයාගෙ සැලසුම ඔයාට හදාගන්න පුලුවන්. සමහර අය ඒක ⁣සටහනක් ලෙස ලියනවා, ජංගම දුරකතනයේ සිහි කැඳවීමක් ලෙස පවත්වාගෙන යනවා‍.තවත් කෙනෙක් මේ මුකුත්ම නැතුව එදා යෙදෙන විදියට වැඩ ටික පෙලගස්ස ගන්නවා.

කොයි කොහොම උනත්, සැලසුම් කොච්චර ලොකු පොඩි උනත්, ඔයා මොන සමාජ තලයක ජීවත් උනත් ‍, කොටින්ම ස්ත්‍රී පුරුෂභාවය කුමක් උනත් ‍, ඒ හැම දෛනික සැලැස්මක් ඇතුළෙම ඔයා වෙනුවෙන් නිවී සැනසිල්ලෙ ගත කරන්න පුලුවන් කාල පරාසයක් වෙන් කරගන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරන්නයි අද නං හිතුවේ. අභියෝගක් තමයි . අලුත් අත්දැකීමක් වෙන්නත් බැරි නෑ. ඒත් ඒක අවශ්‍යතාවක් කරගමු. දුර ගමනක කෙලවර පොඩි හරි අස්වැසිල්ලක් තිබිය යුතුමයි. බාහිර ලෝකයත් සමග කල ගන්දෙනුවල නිමාවක් දකින ඇසිල්ලක තමාට තමා සමග සංවාදයක් කිරීමට කාලයක්  තිබිය යුතුමයි. තමා සමග සතුටු වෙන්න ‍, දුක් වෙන්න‍, අගය කරන්න‍, තර්ක කරන්න වගේම‍, තමාට සැබැවින්ම අවැසි දේ තෝරා බේරා ගන්නට දවසේ කාලයක් වෙන් විය යුතුමයි. 

බොහෝ වේලාවට දවස අවසන් කිරීමට මේ ක්‍රමය යොදා ගන්නට හැකි නම් එය වඩාත් ප්‍රායෝගික මෙන්ම ඵලදායි උත්සාහයක් වනු නොඅනුමානයි. මොකද තමාට ආදරය කිරීම තුළ ලබන මානසික සුවය‍, තමා සමග සිටින අයට ඍජුව හෝ වක්‍රව ලබා දෙන්⁣නෙත්  සැනසිලිදායක අවකාශයක් නිසා. අනිත් අතට ඔයාගෙ ආදරණීයන්ට වගේම ඔයාගෙ ආදරේ ඔයාගෙම හිතටත් ගතටත් උවමනා බව අමතක කරන්න හොඳ නැති නිසා.

දිමුතු

Sign up for our newsletter