දුර්ලභ වූ මිනිසත්බව ලැබ මේ පොළොව මත ජීවත් වන ඔබටත් මටත් මේ ජීවන චාරිකාව තුළ යම් යම් අවස්ථාවන්හිදී දුර්වල වීම්, කඩා වැටීම් දරා ගනිමින් දුෂ්කර කාර්තු පසු කරගෙන යා යුතුව ඇත. මනුෂ්‍යයින් ලෙස අප කෙතරම් ශක්තිමත් යැයි සිතා සිටියත් යම් අවස්ථාවන්වලදී අපට තවකෙකුගේ සහාය පැතීමට සිදුවන අවස්ථා උදාවන අතර එබඳු අවස්ථාවන්වලදී අප පුරුදුවී ඇත්තේ අප අදහන ආගමක් හෝ විශ්වාසයක් මගින් අපගේ මනසේ බර සැහැල්ලු කර,සැනසිල්ල ලබාගෙන ජීවන වෙහෙස නිවා ගැනීමට උපකාර හා පිහිට පතා සිටීමයි.
එලෙස අපගේ ජීවන බර සැහැල්ලු කර වෙහෙස නිවන හාස්කම් සපිරි ආශ්චර්යමත් බිමක් ලෙස “මාරවිල කුරුස පල්ලිය” හඳුන්වා දිය හැකිය. මාරවිල කුරුස පල්ලියට පිවිසෙන විටම “වෙහෙසවන, බර උසුලන, සියල්ලනි මා වෙතට එන්න” බයිබලීය පාඨය අපට දැකගත හැකිය. අනේක දුක්දොම්නස් හදෙහි දරාගෙන මාරවිල පල්ලියේ හාස්කම් සොයා ඇදෙන සුවහසක් ජනයාගේ නෙත ගැටෙන උක්ත බයිබල් පාඨය විස්තර කරමින්ම “මාරවිල කුරුස පල්ලිය” පිළිඹඳ කතිකාවකට මුලපිරීම යෝග්‍යය වනු ඇත.
“වෙහෙසවන්නා වූ, බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින් , මගේ විය ගහ නුඹලා පිටට ගෙන මගෙන් ඉගෙන ගන්න. එයිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය. මාගේ බරද සැහැල්ලුය”
(මතෙව් 11:28,29,30) මෙම බයිබලීය වදනින් පවසනුයේ මෙම බයිබලයේ වදනින් පැවසෙන පැවසෙන්නේ ජීවිතයේ අනේකවිධ දුක් පීඩා විඳ ජීවිතය නිරස වී වෙහෙසට පත් වූ මිනිස්නුට සහනයක් ඇති බවයි. එමෙන්ම ජීවිතයේ අනේකවිධ ප්‍රශ්න කන්දරාවකට මැදිව ජීවන බර හදවතටද, සිරුරටද පීඩාවක් වූවන්ට දෙවියන්වහන්සේගේ ඒකජාත පුත්‍රයා වූද ගැලවුම්කරුවාණන් වූද ජේසුතුමන් අභිමුව සතුටක් සැනසීමක් ලැබෙන බවයි.අප මහා දෙව් සමිඳාණන්ගේ පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුස් කුරුසපත්ව වේදනා වින්දේ ද කුරුසය කර තබාගෙන කල්වාරිය තරණය කළේ ද මනුෂ්‍යය වර්ගයා පාපයෙන්ද ශාපයෙන්ද සදාකාලික සරණය හෙවත් නිරයෙන්ද ගලවාගනු පිණිසය. ජේසුස් වහන්සේගේ “ජීවිත පූජාව” හුදු මරණයක් නොව, සකල ලෝක සත්ත්වයාගේ නිදහස පිණිස කළ උතුම් පරිත්‍යාගයක් බව දතයුතුය.
ඒ අසමසම පරිත්‍යාගයේ හාස්කම් සපිරි මාරවිල කුරුස පල්ලිය කතෝලික බැතිමතුන් අතර පමණක් නොව ආගම් භේදයකින් තොරව සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූද, ආගම් භේදයකින් තොරව මිනිසුන්ට හාස්කම් සිදුවූ, දුක්ගිණි නිවූ ජාතික සිද්ධස්ථානයකි.
ශ්‍රී කුරුස ජාතික සිද්ධස්ථානයේ සියවස් ජුබිලි මංගල්‍යය වෙනුවෙන් ගරු ශිරාන් චාමික පියතුමන් නිර්මාණය කරන ලද ඉහත ජුබිලි ගීතය ඔබත් එක්වරක් හෝ අසා ඇතිවාට සැකයක් නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය කිසිදා නොනිවෙන විශ්වාසයේ පහන්සිලකි. දැවීතැවෙන හදවත් සිහිල් ඔසුවෙන් නහවා සුවපත් කරනව පිං බිමකි.
පුත්තලම කොළඹ පාරේ මාරවිල ටවුමෙන් බැස මඳ දුරක් හලාවත පැත්තට ඇවිදගෙන යනවිට මාරවිල හතරමං හන්දියෙන් වම් අත පැත්තේ පිහිටි පාරෙන් කිලෝමීටර් එකහමාරක් පමණ ගිය විට මාරවිල කුරුස පල්ලිය දැකගත හැකිය. පල්ලියේ ඉදිරිපස බැලූ විට ලතින් බසින් ලියැවුණු පාඨයක් දැකිය හැකිය.එහි අරුත “මේ සලකුණෙන් ඔබ ජය ගනී” යන්නයි. ඉතින් භෞතික මෙන්ම ආත්මික ජීවිතයද ජය ගැනීමට අවැසි නම් මාරවිල කුරුස පල්ලිය නම් ශුද්ධ වූ භූමිය කරා පැමිණිය යුතුමය.
මෙම ආශීර්වාදලත් පුදබිමේ සිනිදු වැල්ලේ දෙපා තබමින් සිද්ධස්ථානය ඇතුළට යන ඔබේ දෙපයට පෑගෙන්නේ ටයිල් හෝ සිමෙන්ති ඇතිරූ බිමක් නොවේ. සිද්ධස්ථානය මැද පමණක් සිමෙන්ති තීරුවක් තිබෙන අතර එහි දෙපසම ඇත්තේ සිනිදු වැල්ලය. හිඳගන්නට බංකු හෝ අසුන් පනවා නැත. බොහෝ සිද්ධස්ථානවල මෙන් ලොකු පල්ලි, පොඩි පල්ලි කියා කොටස් දෙක තුනක් නැත. එකම ශාලාවක් ලෙසට ඉදිකර ඇති කුඩා පල්ලියේ අල්තාරය පිටුපසින් පෙනෙන්නේ කුරිසපත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විශාල ප්‍රතිමාවකි.
වර්තමානයේ මෙය දේවස්ථානයක් වුවද අතීතයේ මෙහි තිබී ඇත්තේ කුරුස පත් ජේසුස්වහන්සේගේ සුරුවමක් පමණි. තම දුකට පිහිට පතා මිනිසුන් මේ සුරුවම ඉදිරිපිට වැඳ වැටී යාඥා කළ බවත් පසු කලෙක එම සුරුවම පිහිටි බිම මත පල්ලියක් කර වූ බව ඉතිහාසයේ සඳහන්ය. සිද්ධස්ථානය දෙපස ඇත්තේ විවිධාකාර සොහොන්කොත් සහිත සුසානයයි. ජීවිතයේ විවිධාකාර ප්‍රශ්නවලින් සහනය පතා දෙවිඳුන් යදින්නන්ට එය සුසානයක් වීම කිසිසේත්ම ගැටලුවක් නොවන බව පසක් කරමින් දිවයිනේ නන් දෙසින් බැතිමත්හු දිනපතා වේලාවක් අවේලාවක් නැතිව මෙම ශ්‍රී කුරුස සිද්ධස්ථානය කරා පැමිණෙති.
මාරවිල කුරුස පල්ලියේ හාස්කම් පිළිඹඳ පණිවුඩය සමාජගත වන්නේ දහඅට වැනි සියවසේදී පමණය. එකල වසූරිය වසංගතය නිසා විශාල පිරිසක් මාරවිල රජයේ රෝහල වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණි අතර එක් කාන්තාවක් තම දරුවාට වසූරිය වැලඳී ඇති බැවින් දෙවි පිහිට පතා මේ සුසාන භූමිය වෙත පැමිණ යාඥා කර ඇත. ඇයට පෙර එතැනට පැමිණි එක් අයෙක් සුසාන භූමියෙහි වූ ජේසුස්වහන්සේගේ සුරුවමට තෙල් වක්කර තිබූ අතර මේ කාන්තාව වැඩි භක්තියකින් යුතුව එම තෙල් තම දරුවාගේ ඇඟේ ආලේප කර ඇත. දැඩි දේව භක්තියත් අචල විශ්වාසයත් හමුවේ දරුවාගේ වසූරි තත්ත්වය යහපත් අතට හැරී සුවය ලැබී ඇත. මේ ප්‍රාතිහාර්යයේ පුවත මුළු මාරවිල අස්සක් මුල්ලක් නෑරම විදුලි වේගයෙන් ව්‍යාප්ත වී ඇත. ඉන් පසුවද මෙම පුදබිමෙහි මෙම සුරුවම ස්පර්ශ කිරීමෙන් නොසිතු විරූ ප්‍රාතිහාර්යයන් සිදුවූ බව ඉතිහාසයේ කියැවේ.
මාරවිල දෙව්මැඳුර පිටුපසින් මුතු පන්තිය ලෙස විරුදාවලි ලත් හලාවත මුහුදු තීරයට අයත් සුන්දර මාරවිල මුහුදු වෙරළ දිස්වෙයි. එය මෙම දෙව් මැඳුරට එන බැතිමතුගේ දුක් සංකා නිවාලයි. දෙවියන්ගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ වැඩ සිටින ප්‍රතිමා බොහොමයක් දෙව් මැඳුරු තුළ දැකිය හැකිය. නමුදු එම ප්‍රතිමාවන්හි උන්වහන්සේගේ මුහුණ වේදනාත්මක සහ තැතිගන්වනසුලු ස්වරූපයක් පෙන්නුම් කරයි. එවැනි ප්‍රතිමාවල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිර්මාණය කර ඇත්තේ උන්වහන්සේ ශ්‍රී දෙනෙත වසාගෙන සිටිනා අයුරිනි. නමුදු මාරවිල සිරි කුරුස දේවස්ථානයෙහි ඇති ප්‍රතිමාවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෘදුකමින් හා දයාවෙන් ලෝකය දෙස බලා සිටින බවක් පෙන්නුම් කරයි. එය එම ප්‍රතිමාවෙහි විශේෂ ලක්ෂණයකි. මෙම මාරවිල කුරුස පල්ලියේ වාර්ෂික මංගල්‍යය සැප්තැම්බර් මස පැවැත්වෙන අතර එයට කිතුනුවන් පමණක් නොව අනෙකුත් ආගමික භක්තිකයෝද පැමිණෙති. මෙම දේවස්ථානයේ තවත් විශේෂ දෙයක් ලෙස, මුහුදු වෙරළේ තිබෙන දේව මෑණියන්ගේ සුරුවම පෙන්වා දිය හැකිය. එම සුරුවම් මාතාවද බැතිමතුන්ගේ නොමඳ ආදරය දිනාගෙන ඇත.
වර්තමානයේ මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානය වෙත පැමිණෙන බොහොමයක් බැතිමතුන් ඇතුලුවන තැන සිට අපමණ බැතියකින් සිනිදු වැල්ල මත දණින් ගමන් කරමින් දෙව් සමිඳුන් අබියස තම ඉල්ලීම් ඉල්ලා සිටීමටත්, අචල විශ්වාසයකින් යුතුව ඉටිපන්දම් දැල්වීමත් සිදු කරති. බොහෝදෙනා පවසන්නේ එලෙස ඉල්ලාසිටින සෑම යහපත් දෙයක්ම ඉටවූ බවය. මාරවිල වැල්ලේ දණගසා අයදින කිසිවක් වැරදී නැති බවත් හාස්කම් බලයෙන් තමන්ගේ දුක් කරදර දුරුවූ බවත් බැතිමතුන් පවසයි. අදටත් අනේකවිධ කරදරවලින් පීඩාවිඳින මිනිසුන් තමන්ගේ සැනසුම පතා මාරවිල කුරුස පල්ලිය කරා පැමිණෙති.
” නිල් මහ සයුරේ
රළපෙල ගානට..
පයගැසු පොලවේ
වැලිකැට ගාණට..
නොනිමී දැල්වෙන
විස්වාසයේ පහන් සිල..
කුරුස පල්ලියේ
හාස්කම් ගොඩයි..
දේව මහිමේ ලොවට
කියන කුරුස යාගයයි…//”
මංගලා පවිත්‍රානි