Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Piyumi Silva

සමාජයට මහත් ව්‍යසනයක් ව පවතින, එහෙත් අඩුවෙන්ම කතා බහට ලක් වන මිනිස් ජීවිත වල ජීවිතාවර්ජනය අපූරුවට වචන වලට පෙරලන පියුමි සිල්වා

පියුම් සිල්වා ඔබ කොහොමද ඔබව හඳුන්වන්නේ? 

 හරිම සුහදශීලී, කිසිම කෙනෙක් එක්ක තරහ වෙලා ඉන්න බැරි, හැමෝටම උදව් කරන, සංගීතයට හා පොතපතට ඇලුම් කරන සරල සාමාන්‍ය කෙනෙක්. 

 ඔබ ගැන විස්තර ටිකක් අපිට කිව්වොත්? 

 මගේ ගම කැලණිය. මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි මල්ලියි. මං පාසල් ගියේ බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්යාරාමය ට. මම ප්‍රසිද්ධ සමූහ ව්‍යාපාරයක පෞද්ගලික ලේකම්වරියක් ලෙස රැකියාවේ නියැලුනා 2011 වර්ෂය වෙනකන්. මගේ පියා 2007 වර්ෂයේ අප අතරින් සමුගත්තා. මවගේ වියෝවත් සමඟ මම රැකියාවට සමු දුන්නා. විවාහයෙන් පස්සේ මගේ පවුල, මගේ මහත්තයයි පුතයි දුවයි. මහත්තයා ව්‍යාපාර කටයුත්තක නියැලෙනවා. පුතාට අවුරුදු පහළොවයි,දුවට අවුරුදු දොලහයි.

 ඔබට කුඩා කාලේ ඉඳලා රසවත් දේ ලිවීමට හැකියාවක් තිබුණද? 

 මං නවකතා කියවන්න හරිම කැමතියි. පාසල් යන කාලේ යාලුවොත් එක්ක නවකතා හුවමාරු කරගෙන කියෙව්වා. කියවන්න දක්වපු ආශාව නිසා කවි නිසැඳස් ලියන්න O/L’s කාලෙ ඉඳන් පොඩි හැකියාවක් තිබුණා. පාසල් කාලේ වාණිජ දිනය සඳහා තේමා ගීයත් සුවනියර් එකේ cover page එකත් ඩිසයින් කරලා තියෙනවා. ලියපු නිසදස් වල එකතුවකුත් තියෙනවා. අදටත් ඉඳලා හිටලා කවි නිසඳැස් ලියනවා. 

 අපි magazine එකට ලියන්න එකතු වෙන්නෙ කොහොමද? 

 ඇත්තටම අපි magazine එකේ නියමුවා කිව්වොත් හරි.. ගයාන් කරුණාරත්න ගේ ආරාධනාවකින් තමයි ලියන්න පටන් ගත්තේ. මම මේ magazine එකේ ලියන්නේ අද සමාජයේ බහුලව දකින්නට ලැබෙන ඒත් අඩුවෙන්ම කතාබහට ලක් වෙන මාතෘකාවක් ගැන. ඔබ අපි magazine එකේ ලියන තේමාව ගැන පොඩි විස්තරයක් කලොත්.. ඔව් මම ලියන්නේ මතට ඇබ්බැහි උන, එහෙත් එයින් මිදුණු පුද්ගලයන්ගේ ජීවිත ගැන. ඒ පුද්ගලයන්ගේ ආදරණීයයන් ලබපු අත්දැකීම් ගැන, අදටත් ඒ අත්දැකීම් විඳින අය ගැන, ඇත්තටම මේ ගැන කතිකාවතක් ඇති කරන්න මට උවමනා උනේ මෙවැනි අත්දැකීමකට මමත් මුහුණ දුන් නිසා. මේ සඳහා අවශ්‍ය තොරතුරු මම රැස් කර ගන්නේ පෞද්ගලිකවම එය ඈත් සමග කතා කරලා වගේම පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලින්.

ඔබ ආඩම්බර වන ඔබ ලියා ඇති හොඳම සටහන.. 

 ඇත්තටම මේක මම ලියලා තියෙන්නෙ මගේ පුතා වෙනුවෙන්. මම මේකට මාරම ආසයි.. මේකෙ සාහිත්‍ය රසයක් නැහැ. හරිම සරල විදිහට ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට අමුවෙන්ම මම මේක කියලා තියෙනවා.

 නුඹේ හිත රිදුන බව පුතේ මම දන්නවා.. 

ඇයි එපා කිව්වේ මම නුඹ තාම හොයනවා.. 

පිටත ලොව කුරිරු බව තාම නුඹ නොදන්නවා.

අම්මා මට ආදරේ නැහැයි නුඹ සිතනවා..

 දකින විට හැමදේම සුන්දරයි සිතනවා..

 ගුණ නුගුණ හරිහැටි ව පුතේ නුඹ නොදන්නවා.. 

දෙන්නෙ නෑ ආස දේ ලපටි නුඹ කියනවා.. 

කෙලෙස නුඹ රැක ගන්නේ දිවා රෑ මම සිතනවා.. 

 ආදරෙයි මහ ගොඩක් පුතේ නුඹ එය දන්නවා.. 

ඇස් දෙකේ තියන් මම නුඹව නිති රකිනවා..

 නුඹේ හීනෙට යන්න හැමදේම කරනවා.. 

ආදරේ විතරක්ම පුතේ මම නුඹෙන් පතනවා.. 

ම්නිස්සුන්ට කියවීම ලිවීම තව දියුණු කරගන්න ඔයාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකක්ද? 

 ලොකු චෝදනාවක් මිනිස්සුන්ට එල්ලවෙනවා ස්මාට් ෆෝන් භාවිතයත් එක්ක කියවීමට ඇති නැඹුරුව නැතිවෙලා කියලා. කිසියම් හෝ වීඩියෝවක් දිහා බලා එයට සවන් දෙන්න පුරුදු වෙලා කියලා. ඒත් ඇත්තටම සාහිත්‍ය මාසේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට එකතුවන මහා සෙනග දැක්කහම එහෙම අඩුවක් දකින්නට නැහැ. කියවන්න කැමති නැති කෙනා කවදත් කියවන්නෙ නැහැ. නමුත් දැන් අන්තර්ජාලයෙන් ebook හරහා අන්තර්ජාලයේ වැඩි වශයෙන් සැරිසරන අයට වුවත් මහත් අශාවෙන් පොත්පත් කියවීමට පුළුවන්. ඒ වගේම ඉතාමත් වැදගත් ගද්‍ය හා පද්‍ය ලිපි, අද වෙනකොට සමාජ ජාල ඔස්සේ ද බොහෝ සේ සැරිසරනවා. මේවා ඉතා රසවත් වගේම හරවත්. ඉතිං උදේ හවස සමාජ මාධ්‍ය වල සැරිසරන හැමෝටම මේවා කියවලා රසවිඳින්න පුළුවන්. ඉතින් දුවලා පුතාලාට විශේෂයෙන් කියන්න ඕන රචනා සාහිත්‍යය රසාස්වාද ලියන්න වචන ගලා ගෙන එනවා කියවනව නම්. ඉතින් වයස් සීමාවක් නැතිව පොත් පත්තර වගේම තමන්ට හරවත් හා වදගත් කුමක් හෝ කියවා දැනුම හා රසවින්දනය ලබා ගන්න යොමු වෙන්න කියලා ආදරයෙන් කියනවා.

අපි magazine එකත් එක්ක සම්බන්ධ වීම ගැන අද දැනෙන දේ කිව්වොත්.
 ඇත්තටම හරිම සතුටුයි අපි magazine එක අද ඉන්න තැන ගැන. ඒකෙ කොටස්කරුවෙක් වෙලා සමාජයට හරවත් යමක් දෙන්නට මටත් හැකිවීම ගැන නිහතමානී සතුටක් තියනවා. ඉතින් මේ magazine එක අද වෙනකොට ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් පරිශීලනය කරනවා. ඉවුම් පිහුම්, රූපලාවණ්‍ය, අධ්‍යාත්මයට යමක්, කෙටි කතා, ළමා කතා, පරිසයේ සුන්දරත්වය, නිසඳස්, ඡායාරූපකරණය, සිනමා කර්මාන්තය, සමනලුන්, ධනාත්මක සිතුවිලි, ජනප්‍රිය පුද්ගලයින්ගේ තතු විස්තර ආදී එකී මෙකී නොකී දෑ අපි magazine එකෙන් දැන් ඔබට දැනගන්න පුළුවන්. ඉතින් හැමෝටම අපි magazine එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරන ගමන් අද මේ පිටුවට මාව සම්බන්ධ කර ගත්තට ගයාන්ට ගොඩක් ස්තූතියි.

Sign up for our newsletter