Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Sewwandi Ranathunga

ඇය ලාංකික ප්‍රේක්ෂක අපගේ සිත් සොරා ගන්නට බොහෝ ගීත ගායනා කල ගායිකාවක් නම් නොවේ නමුත් ඇය ගායනා කල පළමු ගීතයෙන්ම ඇයගේ සලකුණ කේෂ්ත්‍රය තුල සනිටුහන් කරන්නට සමත් වුනා. “සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ” මෙම ගීතයේ මුල් පද පේළිය කියූ සැනින් නිතර්කයෙන්ම ඔබට ඇයව සිහි වෙනවා නොඅනුමානයි. ඇය ලාංකික සංගීත කේෂ්ත්‍රය බොහෝ පිරිසක් නියෝජනය කරන කලා පවුලකින් පැවත ගෙන එන දක්ෂ ගායිකාවක් වනවා.

ඇය ගායිකාවක් වශයෙන් ප්‍රේක්ෂක රසවින්දනය වෙනුවෙන් මෙන්ම ඇයගේ වටිනා පවුල වෙනුවෙන්ද කාලය වැය කල සුන්දර බිරිඳක් මෙන්ම ආදර්ශමත් තරුණ දරුවෝ දෙදෙනෙකු සමාජයට තිලිණ කල ආදරණීය අම්මා කෙනෙකු ද වනවා.

හිතේ සතුට මුහුණෙන් පේනවා කියලා අපි කතාවටත් කියනවානේ. ඇයගේ සුන්දරත්වය රහස එයම විය හැකිය. සුපුරුදු පරිදි හැකි අයුරින් නිහඩව සැමට උදව් කරමින් නිහතමානි ගමනක් යන අහිංසකාවිය සෙව්වන්දි ‍රණතුංග මහත්මිය සමග පිළිසදරක යෙදෙන්නටයි අපගේ සුදානම්. එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න සෙව්වන්දියගේ වතගොත දැන ගන්නට…

▪️සෙව්වන්දි, ප්‍රේක්ෂක අපට දැන් වෙනදාට වඩා ඔබගේ හඩ අහන්න, රුව දකින්නට ලැබෙනවා. මෙම දිනවල ඔබගේ ජිවිතය ගෙවෙන්නේ කොහොමද?

“සිනා මල් ගොඩක්” මගේ අම්මා නිර්මලා රණතුංග සමග ගායන කල මගේ මුල්ම ගීතය ඉතාම ජනප්‍රිය වුනා. එම ගීතයෙන් පසුව නව නිර්මාණය කලේ නැහැ. ඉන් ටික කාලයකට පසු මම විවාහ වුනා. විවාහයෙන් පස්සේ මගේ පවුල වෙනුවෙන් වැඩිපුර කාලයක් වෙන් කරන්න මට අවශ්‍ය වුන නිසා සංගීත වැඩ කටයුතුවල නිරත වෙන්න නොහැකි වුනා. දැන් මගේ දුවයි, පුතයි දෙන්නම ලොකු නිසා සංගීත කටයුතුවල නියැලෙන්න මට කාලය හදා ගන්න පුලුවන්.

මෙම දිනවල දෙරණ නාලිකාවෙහි විකාශනය වන 60 plus වැඩසටහනෙ විනිශ්චය මණ්ඩලයෙහි සාමාජිකාවක් වශයෙන් වැඩ කටයුතු කරනවා. එමෙන්ම ගෘහස්ථ සහ එලිමහන් සංගීත ප්‍රසංග සදහා සහභාගි වෙනවා. ඒවගේම නව ගීත කිහිපයක් නිර්මාණය කරන්න සැලසුම් කරලා තියෙනවා.

▪️ඔබ ලාංකීය ප්‍රේක්ෂක පිරිස ආදරයෙන් වැලද ගත් කලා පවුලකින් පැවත එන කෙනෙක්. පවුලේ අයව මතක් කරමුද?

ලාංකික සංගීත කේෂ්ත්‍රයේ නියැලෙන වැඩිම පිරිසකින් යුත් සංගීත කලා පවුලක සමාජිකාවක් වන්නට මම වාසනාවන්ත වුනා. මගේ තාත්තා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු ජේෂ්ඨ කතිකාචාරවරියක් වන දර්ශනපති විජේරත්න රණතුංග, මගේ තාත්තා දැනට අවුරුදු 12 කට කලින් අප අතරින් සමු ගත්තා. මගේ අම්මා විශාරද නිර්මලා රණතුංග. මගේ ලොකු අම්මා මල්කාන්ති නන්දසිරි, ලොකු තාත්තා සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, නෙරංජලා සරෝජනී පුංචි, අබේවර්ධන බාලසූරිය බාප්පා, සකුන්තලා පිරිස් පුංචි, මනෝජ් පිරිස් මාමා, අනුරාධා නන්දසිරි අක්කි සහ අපේ පවුලේ හොදම රසිකයා කුමා පිරිස් මාමා ඇතුලු මගේ පවුලේ සියළුම දෙනාව ආදරයෙන් මතක් කරනවා.

අපි සියලු දෙනාගෙම කාර්යබහුලත්ව නිසා අපිට මුණ ගැහෙන්න තිබෙන අවස්ථාවන් ඉතාම අඩුයි නමුත් නත්තල් උත්සවය වැනි විශේෂ අවස්ථාවන්වලදි සහ අත්‍යාවශ්‍ය කටයුතුවලදි අනිවාර්යයෙන් අපි සියලුම දෙනා මුණ ගැහෙනවා. මගේ තාත්තා, අම්මා සහ පවුල අය නිසා කුඩා කාලයේ ඉදලාම සංගීත කේෂ්ත්‍රයේ ඉන්න දැවැන්ත පුද්ගලයන්ගේ ඇසුර ලබන්න මම ගොඩක් වාසනාවන්ත වුනා.

▪️අපි කැමතියි ඔබේ සැමියා, දුව සහ පුතා ගැන විස්තර දැන ගන්න. ඔබේ දරුවන් ඉදිරියේදි සංගීත කේෂ්ත්‍රයට යොමු වෙයිද?

මම විවාහ වෙලා ඉන්නේ සිරස ගුවන් විදුලියේ අධ්‍යක්ෂකවරයෙකු වන නිහාල් වික්‍රම එදිරිසූරිය සමගයි. මගේ දුව මනෝ විද්‍යාව පිළිබද උපාධිය හැදැරීම සදහා දැනට විදේශගත වෙලා ඉන්නවා. මෙම දිනවල ඇයගේ සම්පූර්ණම කාලය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොමු කරලා තියනවා. මගේ පුතා ජීව විද්‍යාව අංශයෙන් උස්සපෙළ විභාගය සදහා සුදානම් වෙනවා. ඔහු අධ්‍යාපන කටයුතුවලට මෙන්ම සංගීතය, ක්‍රීඩාව වැනි හැමදේටම දක්ෂ දරුවෙක්. අපේ දරුවෝ දෙන්නම සංගීතය හදාරලා තියනවා. ඔවුන්ට සංගීත හැකියාව පිහිටලා තියනවා නමුත් අපි කවදාවත් කිසිම දෙයකට බලපෑම කරන්නේ නැහැ. ඉතින් එයාලා තෘප්තිමත් අංශයකට ඉදිරියේදි යොමු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

▪️ වර්තමාන සමාජයේ දෙමව්පියන් සහ දරුවන් අතර සම්බන්ධ ගිලිහි ගිය බොහෝ අවස්ථාව බහුලව දකින්නට ලැබෙනවා. තරුණ දුවක් සහ පුතෙක් සමග ඉතා සමීපව ඉන්න අම්මා කෙනෙක් විදියට මේ පිළිබදව ඔබේ අදහස මොකක්ද?

මගේ දරුවෝ දෙන්නම මට ගොඩක් කිට්ටුයි. මම හිතන්නේ අම්මා කෙනෙක් කෙතරම් කාර්යබහුලත්වය වුනත් දරුවන්ට ආදරය කරන්න, දරුවන්ට ඇහුම්කන් දෙන්න කාලය වෙන්කර ගන්න ඕනේ. අම්මා දරුවන්ගේ හොදම යාළුවා වුනාම, අම්මා සමග දරුවෝ හැමදේම කතා කරන තත්වයට හුරු කර ගත්තාම එයාලා අතින් වැරදි සිද්ධ වෙන්න තියන අවස්ථාව බොහෝ දුරට අඩු වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්. මගේ දරුවෝ දෙන්නා මාව ගොඩක් තේරුම් අරගෙන තියනවා. අපි හරිම සතුටින් ජිවිතේ ගෙවනවා.

▪️ඔබ දකින්නට ප්‍රිය රූමත් කාන්තාවක්, ඔබ රූපලාවණ්‍යය සහ විලාසිතාවන් ගැන සැලකිලිමත් වෙනවාද?

මම ඇත්තටම රූපය වෙනුවෙන් ගොඩක් දේවල් කරන කෙනෙක් නෙවෙයි. මම හිතන්නේ පිටතින් කරන සියලු සත්කාර තාවකාලිකයි. රූපයේ ප්‍රසන්න බව තියෙන්නේ හදවත තුලයි. හිත පිරිසිදුව, සැහැල්ලුවෙන්, හිනාවෙලා ඉන්න මම කැමතියි. මට පුළුවන් අයුරින් සියළු දෙනාට උදව් කරගෙන ඒ අයගේ සතුට බලලා සතුටු වෙන හිතක් මට තියෙන්නේ. ඉතින් රූපලාවණ්‍යය වෙනුවෙන් මම විශේෂ දෙයක් කරන්නේ නැහැ. නැවුම් පලතුරු සහ එලවළු සලාද කන්න මම හරිම ප්‍රියයි. පැණි රස කෑම නම් කන්නෙම නැහැ.

මම ලස්සනට ඉන්නවට මගේ දරුවෝ දෙන්නා හරිම කැමතියි. ගොඩාක් අය අම්මලා වුනාම ලස්සනට ඉන්න විලාසිතා කරන්න කැමති නැහැ. තව කෙනෙක්ගේ ඇස පිනවීම පිනක්. මම හිතන්නේ තමන්ට ගැලපෙන, තැනට සුදුසු විලාසිතා කිරිමේ වැරැද්දක් නැහැ කියලා. විශේෂයෙන් ඉන්දියානු විලාසිතා සහ මට ගැලපෙන විදියට විලාසිතා කරන්න මම කැමතියි.

▪️දෙරණ නාලිකාවෙහි විකාශනය වන 60 plus තරගයෙහි ඔබ විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් වනවා. එම විශේෂ තරගය ගැන ඔබේ අදහස මොකක්ද?

දෙරණ නාලිකාව විසින් පවත්වනු ලබන 60 plus තරගයෙහි Season 4 සමග සම්බන්ධ වි මම හරිම කැමත්තෙන් වැඩ කටයුතු කලා. මෙය වැඩිහිටි අම්මලා තාත්තලා වෙනුවෙන් ලංකාවේ හැදුන පළවෙනි විශේෂ වැඩසටහන වශයෙන් හදුන්වන්න පුළුවනි.

විවිධ අරමුණු වෙනුවෙන් ජිවිතයේ සෑහෙන කාලයක් වැය කර සැදෑ සමය ගෙවන ඔවුන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති කරපු සහ ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කරපු තරගයක් ලෙස මෙම වැඩසටහන නම් කල හැකියි. සංගීතය ජීවිත තරුණ කරනවා කියලා මම හිතනවා. මෙවැනි වැඩසටහන් පැවැත්විම පිං කටයුත්තක් ලෙසත් හදුන්වන්න පුළුවන්. තරගයට සහභාගි වෙන වැඩිහිටි පිරිසගේ දක්ෂකම් ගැන කියන්න වචන නැහැ. 60 plus Season 4 වැඩසටහන පසුගිය වකවානුවේදි සම්මානයෙන් පිදුම් ලැබිම ඉමහත් සතුටක් වනවා.

▪️ඔබගේ මව සමග ගායනා කල “සිනා මල් ගොඩක්” ගීතය ප්‍රති නිර්මාණය කිරිමට අදහසක් තියනවාද? අපිට ඉදිරියේදි දකින්නට ලැබෙන ඔබගේ නිර්මාණය මොනවාද?

මගේ අම්මා සමග “සිනා මල් ගොඩක්” ගීතය ගායනා කරලා දැනට අවුරුදු 30 ක පමණ කාලයක් ගත වී තිබුනත් තාමත් එම ගීතයේ ජනප්‍රියත්වයට නොවෙනස්ව පැවතිම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක්. සිනා මල් ගොඩක් ගීතය

වර්තමාන පරපුර ගායන කරන බොහෝ අවස්ථාවන් සමාජය මාධ්‍යයන් ඔස්සේ අපි දැකලා තියෙනවා. එවැනි අවස්ථාවන් දැකලා අම්මයි මමයි හදවතින්ම සතුටු වෙනවා. මෙම ගීතය සංගීත විෂය නිර්දේශයට ඇතුලත් කර තිබිම ඉමහත් සතුටට කාරණයක් වෙනවා. සිනා මල් ගොඩක් ගීතය ප්‍රිති නිර්මාණය කිරිමට අදහස් නම් නැහැ. ඉදිරි කාලයේදි ගීත කිහිපයක් නිර්මාණය කිරිමට සැලසුම් කරගෙන ඉන්නවා.
අමා නාකන්දලගේ

Sign up for our newsletter