Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Russell’s viper

Daboia russelii (Shaw & Nodder, 1797) තිත් පොළඟා / සොහොන් පොළඟා / දාර පොළඟා

ශ්‍රී ලංකාවේ හමුවන සර්ප විශේෂ අතුරින් උග්‍ර විෂ සහිත ලැයිස්තුවේ කිරුළ දරමින් ලංකාවේ සිදුවන සර්ප දෂ්ඨන හේතුවෙන් සිදු වන්නාවූ මිනිස් මරණ ලැයිස්තුවේ වැඩිම මරණ ප්‍රතිශතයකට වග කිව යුතු සර්ප විශේෂය ලෙස තිත් පොළඟා හැඳින්විය හැකිය.

මොවුන්ගෙන් සිදුවන මරණ ප්‍රමාණය ඉහළ වීමට බලපාන ප්‍රධානතම හේතු කාරණා කිහිපයක් වේ.

01 . දිවයින පුරා මිනිස් වාසස්ථාන අවට සහ කෘෂිකාර්මික ගොවිබිම් අවට පුළුල් ව්‍යාප්තියක් සහිත සර්ප විශේෂයක් වීම.

* මොවුන්ගේ පුළුල් ව්‍යාප්තියක් මිනිසුන් නිතර ගැවසෙන ප්‍රදේශ වල ඉහළ වීම නිසාවෙන් සහ  මිනිසුන්ගේ අපරික්ෂාකාරී හැසිරීම් නිසාවෙන් තිත් පොළඟුන්ගෙන් සිදුවන දෂ්ඨන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට සඳහන් කල යුතුමයි.

02. ඉක්මනික් කෝපයට පත්වන සර්ප විශේෂයක් වන අතරම ඉතාමත්ම අවිශ්වාස සහගත හැසිරීම් රටා පෙන්නුම් කරනු කිරීම සහ දෂ්ඨනයක් සිදු කිරීමේ යාන්ත්‍රික කාර්යක්ෂමතාව ඉතාම ඉහල සර්ප විශේෂයක් වීම.

* තිත් පොළඟුන් සහ viperidae කුලයට අයත් සර්ප විශේෂ පොදුවේ ගත් කල අනෙක් සර්ප විශේෂ වලට සාපේක්ෂව ආවේගශීලී සතුන් ලෙස හැඳින්විය හැක එමෙන්ම, මොවුන්ගේ හැසිරීම් රටාද ඉතාම අවිනිශ්චිත බවකින් යුතු අතර පෙර අනතුරු ඇඟවීමක් ලෙස ඉතාම ශබ්ධයෙන් පිඹීම ( ලෝකයේ වැඩිම ශබ්ධයක් ඇති වන අයුරින් පිඹින සර්පයාද තිත් පොළඟා ලෙස හඳුන්වනු ලබයි) ඇතැම් අවස්ථා වල සිදු කලද කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ඉදිරියට පැන දෂ්ඨ කරන අවස්ථාද සුලබයි.

ඒ වගේම තිත් පොළඟා මළ රංගනය සිදු කිරීම/ මැරුණු සර්පයෙකු ලෙස රඟපෑම කිරීමේ ඉතාම දක්ෂ සතෙකු නිසාවෙන් හඳුනාගැනීමට අපහසු ආකාරයට දෂ්ඨ කුරීමක් සිදු කිරීමේ හැකියාව පවතී. මෙම ඡායාරූපයද එසේ මළ රංගනය සිදු කරන අවස්ථාවකදී ගන්නා ලද එකකි.

තිත් පොළඟුන්ගේ දෂ්ඨනයක යාන්ත්‍රික කාර්යක්ෂමතාව එනම් සාර්ථක දෂ්ඨනයක් දෂ්ඨ කිරීමේදී සිදු විය හැකි හැකියාව ඉතාමත්ම ඉහල හෙයින් බොහෝවිට තිත් පොළොන් දෂ්ඨන වලඳී සංස්ථානික රෝග ලක්ෂණ නිතැතින්ම පෙන්නුම් කරනු ලබන අතර මොවුන්ගේ චලනය කල හැකි solenoglyphous වර්ගයේ විෂ දළ යුගල සාර්ථක දෂ්ඨනයක් සිදු කිරීමට ඔවුන්ට ලැබී ඇති තවත් අමතර උපාංගයක් ලෙස හැඳින්විය හැක.

03. මිනිස් ශරීරයේ ප්‍රධාන පද්ධති කිහිපයකටම එකවර බලපෑම් එල්ල කිරීමට හැකියාව සහිත විෂ මිශ්‍රණයක් අඩංගු වීම.

* තිත් පොළඟුන්ගේ විෂෙහි අඩංගු ප්‍රධානතම විෂ ලෙස රුධිර සංසරණ පද්ධතිය කෙරෙහි බලපාන රුධිර විෂ / Haematotoxins අඩංගු වන අතරම එමඟින් මිනිස් රුධිරයේ අඩංගු වන රුධිර කැටිකාරක / blood clotting factors අධිභාවිතයක් සිදු වනු ලබන අතර ඉන්පසුව ශරීරයේ අභ්‍යන්තර අවයව වලට රුධිරය වහනය වීම , මූත්‍රා , ඇස් ,විදුරුමස් හරහා රුධිරය වහනය වීම සිදු වේ. එමෙන්ම මොවුන්ගේ විෂෙහි ස්නායු පද්ධතිය කෙරෙහි බලපාන ස්නායුක විෂ/ neurotoxin විශේෂයක් අඩංගු වන අතර මෙම ස්නායුක විෂ විශේෂය U1-viperitoxinDr1a ලෙස නම් කර අත. මීට අමතරව මොවුන්ගේ විෂෙහි වකුගඩු වලට බලපෑම් ඇති කරනු ලබන Nephrotoxin , හෘදයට බලපාන cardiotoxin සහ මාංශපේෂි වලට බලපාන myotoxin අඩංගු වේ.

විවිධ පද්ධතීන් කිහිපයකට දරුණු ලෙස බලපෑම් ඇති කිරීමට තිබෙන්නාවූ ප්‍රභල හැකියාව හේතුවෙන් බොහෝවිට නිසි අවස්ථාවේදී නිවැරදි ප්‍රතිකාර බලා නොදුනහොත් රෝගීන් මරණයට පත්වීම සිදු විය හැකි නිසාවෙන් සෑමවිටෙකම කුමන සර්පයෙකුගේ දෂ්ඨනයක් සිදු වූවද හැකි ඉක්මනින් නිවැරදි ප්‍රථමාධාර ක්‍රම අනුගමනය කරමින් රෝගියා රෝහල්ගත කිරීම ඉතාම වැදගත්.

හඳුනාගැමේ ලක්ෂණ.

මොවුන්ගේ පැහැය කහ සහ දුඹුරු පැහැති වන අතර ඉතා ක්‍රමවත් දම්වැලක් මෙන් පුල්ලි රටාවක් සහිත වන අතර දේහය කෙටි සහ සිලින්ඩරාකාර ස්වරූපයක් ගනී.පැහැදිලි ගෙලක් සහ ත්‍රිකෝණාකාර හිසක් සහිතය.ශරීරයේ දිගු අතට විහිදෙන දම්වැලක ආකාර පුල්ලි පේලි තුනක් සහිත වන අතර එම පුල්ලි වල මායිම තද දුඹුරු හෝ කළු පැහැති වර්ණයෙන් මායින් වේ. මොවුන්ගේ හැසිරීම් රටා ප්‍රධානවම දිවාචර වූවත් රාත්‍රී කාලයේදීද සංචරණය කරනු දැකගත හැකි වේ. වරකට පැටවුන් 5 – 30 ක් පමණ දමනු ලබන බව වාර්තා වේ.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

Sign up for our newsletter