Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

Suraj Mapa

වැටුණු තැන් සහ පැරදුණු තැන් වලින් පාඩම් ඉගෙන ගෙන මගේ ගමන පුරුදු පරිදි නිදහසේ හෙමින් සීරුවේ යන්න බලාපොරොත්තු වෙනවා.

පුංචි තිරයෙහි අති සාර්ථක ලෙස විකාශනය වු ඕලූ, පුජා වැනි ටෙලිනාට්‍යය තුලින් ප්‍රේක්ෂක සිත් තුල අමතක නොවන මතක සටහන් එකතු කල ඔහු රිදි තිරයද සාර්ථකව ස්පර්ශ කල දක්ෂ රංගන ශිල්පයෙකු වනවා. ලතින් ඇමරිකානු නර්තනය සම්ප්‍රදාය සහ උඩරට නර්තන සම්ප්‍රදාය ඉතා හොදින් ප්‍රගුණ කල ඔහු විවිධ නර්තනය තරග නියෝජනය කර ජයග්‍රහණය ලබන්නට වාසනාවන්ත වුනා. විලාසිතා නිරූපණයට මෙන්ම නොනිමි වැනි උසස් ඝණයේ නිර්මාණය අධක්ෂණයටද ඔහු උපන් හපනෙකු ලෙස හදුන්වා දිය හැකිය. තවද ව්‍යාපාර කලමනාකාරණය පිළිබදව දැනුමින් පෝසත් වු ඔහුට වර්තමානයේ Elsa සහ Veer සන්නාම තුලින් ව්‍යාපාර ක්ශේත්‍රයට සාර්ථකව එලබෙන්නට හැකි වුනා. මෙකි වතගොත තවත් දැන ගන්නට සුරාජ් මාපා නම් වු දශක ගණනාවක පුංචි තිරයේ ප්‍රේමවන්තයාව සමග කෙරුණු සාකච්ඡාව කියවන්නට අපි Magazine පාඨක ඔබටයි මේ ආරාධනය…

1)සුරාජ්, 2024 අලුත් අවුරුද්දේ අලුත් විස්තර මොනවද?

Covid වසංගතය සහ රටේ ආර්ථික අස්ථාවරත්වය වැනි විවිධ හේතුන් නිසා පහුගිය අවුරුදු කිහිපයේදි සැලසුමකට අනුකූලව වැඩ කිරිමේ හැකියාවක් තිබුනේ නැහැ නමුත් 2024 වසර සැලසුමකට අනුව
වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම වසරේදි මගේ මීලග ටෙලිනාට්‍යය අධක්ෂණය සදහා සුදානම් වෙනවා. දැනට රංගන දායකත්වය ලබා දෙන සුසුම් රස්තියාදුවක්, සර්කස්කාරයෝ සහ උන්මාදිනි
ටෙලිනාට්‍යය තුන සදහා මෙම දිනවල රූපගත කිරිම්වලට සහභාගි වෙනවා. ඉදිරියේදි විදේශ සංචාර කිහිපයක් සදහා කාලය වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. එමෙන්ම නර්තන ප්‍රසංගයක් පැවැත්විමට වැඩ කටයුතු සැලසුම් කරගෙන යනවා. ඊට අමතරව මගේ ව්‍යාපාර කටයුතු සැලසුම් කරගත් ආකාරයට සාර්ථකව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

2)මෙම දිනවල පුංචි තිරයෙහි අති සාර්ථකව විකාශනය වන සුසුම් රස්තියාදුවක්, සර්කස්කාරයෝ සහ උන්මාදිනි ටෙලිනාට්‍යය ත්‍රිත්වය පිළිබදව ඔබේ අදහස සහ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබදව කියමුද?

මම සාමාන්‍යයෙන් ලැබෙන හැම නිර්මාණයම භාර ගන්න පුද්ගලයෙක් නෙවෙයි. නිර්මාණයක් භාර ගැනිමේදි පිටපත් රචනය, අධක්ෂණය, ‍නිර්මාණයෙන් සමාජයට දෙන පණිවිඩය, අභියෝගාත්මක චරිත තුලින් ලැබෙන ආත්ම තෘප්තිය වැනි කරුණු පිළිබදව විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා.

උන්මාදිනි ටෙලිනාට්‍යයෙහි මම පෙනි සිටින්නේ ඉතාම අඩු කොටස් ප්‍රමාණයක වුවත් එම චරිතය මුලු නාට්‍යය පුරාම දිවෙනවා. එම චරිතය තුල වෙනස් වු ආකාරයේ චරිත රග දක්වන්නට මට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම සුසුම් රස්තියාදුවක් සහ සර්කස්කාරයෝ ටෙලිනාට්‍යය ද්ව්ත්වයත් මම ඉතාමත් කැමැත්තෙන් භාර ගත් අපූරු පිටපත් රචනයන් සහිත, දක්ෂ කලාකරුවන් රංගන දායකත්වය ලබා දෙන, අති දක්ෂ අධක්ෂකවරුන් දෙපලක් විසින් නිර්මාණය කරන, සමාජයට යහපත් පණිවිඩයක් ලබාදෙන ටෙලිනාට්‍යය ලෙස හදුන්වන්න පුලුවන්. මෙම ටෙලිනාට්‍යය ත්‍රිත්වයම සදහාම මා වටා එකතුවෙලා ඉන්න මට ආදරය කරන බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම ඉහල ප්‍රතිචාර ලැබෙනවා.

3)ප්‍රේක්ෂක ජනදරය ඉතා ඉහලින් දිනු නොනිමි ටෙලිනාට්‍යයෙන් පසුව අධක්ෂණකවරයෙකු හැටියට ඔබේ ඊලග පියවර කුමක්ද?

කුඩා දරුවන් සම්බන්ධයෙන් වැඩිහිටියන්ට වැදගත් වු පණිවිඩයක් ලබා දෙන්න උත්සාහ කරන මගේ මීලග ටෙලිනාට්‍යය සදහා මෙම දිනවල පිටපත සුදානම් වෙමින් පවතිනවා. පිටපත සම්පුර්ණ වුවාට පසු රූපගත කිරිම් පිළිබදව සැලසුම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම ටෙලිනාට්‍යය විශේෂ වෙනස් විදියේ අත්දැකිමක් ලබා දෙන්න පුලුවන් නිර්මාණයක් වෙයි කියලා මම හිතනවා.

4)සුරාජ්ගේ වැඩි කැමැත්ත රංගනයටද, නර්තනයටද, අධක්ෂණයටද?

මෙම අංශ තුනටම මම එක ලෙස ගරු කරනවා සහ ආදරය කරනවා. රංගනය තුලින් ජිවිතය සහ සමාජය පිළිබදව, නර්තනය තුලින් ස්භාවධර්මයෙහි රිද්මය පිළිබදව මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එමෙන්ම
අධක්ෂණය කියන්නේ හොයාගෙන යන දෙයක් කියලා මම හිතනවා. ඉතින් එක අංශයකට කොටු නොවි හැකි අයුරින් සියලු අංශ ඉදිරියේදි නියෝජනය කරමින් ප්‍රේක්ෂක රසවින්දනය වෙනුවෙන් අර්ථවත් නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

5)සුරාජ් ඔබ ප්‍රේක්ෂක සිත් දිනාගත් කලා කලාකරුවෙකු මෙන්ම දක්ෂ ව්‍යාපාරිකයකුද වෙනවා. ඔබේ ඇගළුම් ව්‍යාපාර කටයුතු පිළිබදව කියමුද?

මම පොඩිකාලේ ඉදලාම විලාසිතා සදහා වැඩි කැමත්තක් දක්වනවා. විලාසිතා නිරූපණ ශිල්පයෙකු වශයෙන් කාලයක් විවිධ සන්නාම නියෝජනය කලා. Elsa සහ veer සන්නාම දෙක යටතේ පිරිමි සහ කාන්තා ඇගළුම් ODEL ආයතනය සදහා මම නිෂ්පාදනය කරනවා. මෙම සන්නාම දෙක ඉදිරියේදි පියවරින් පියවර ඉදිරියට ගොඩ නගා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම ඉදිරියේදි කෘෂි කර්මාන්ත කටයුතු සදහා යොමුවිමට බලාපොරොත්තුවක් තියනවා. Ravan නමින් මම පවත්වාගෙන යන නිෂ්පාදනය ආයතනය මගින් ටෙලිනාට්‍යය සහ ච්ත්‍රපට නිෂ්පාදනය කටයුතු කරන්න සැලසුම් කරගෙන යනවා. කලා කටයුතුවල නියැලෙන ගමන් ව්‍යාපාර කටයුතු සමබරව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

6)ව්‍යායාම කටයුතු කිරිම, පෝෂ්‍යදායක ආහාරපාන ගැනිම වැනි නිරෝගි ජිවන රටාවකට අවශ්‍ය මූලික කරුණු පිළිබදව ඔබ වැඩි උනන්දුවක් දක්වනවා නේද?

වෘත්තීය කලා ශිල්පියෙකු සහ ව්‍යාපාරිකයෙකු වශයෙන් අනාගතයේදි එම කටයුතුවල නොනවත්වා නිරතවන්න සෞඛ්‍ය තත්වය හොදින් පවත්වාගෙන යාම ඉතාම වැදගත් වෙනවා. මහන්සි වෙලා රැකියාවන්වල නිරත වෙන නමුත් ශරීර සෞඛ්‍ය පිළිබදව අවධානය යොමු කරන්නට කාලය කලමනාකාරණය කර ගැනිමට නොහැකිවිමෙන් ලෙඩ රෝග නිසා පීඩා විදින බොහෝ දෙනෙක් මම දැකලා තියනවා. අනාගතයේදි මගේ සෞඛ්‍ය මට්ටමෙහි මොන මොන වෙනස්කම් වෙයිද කියලා කියන්න දන්නේ නැහැ නමුත් ව්‍යායාම කටයුතු කිරිම, පෝෂ්‍යදායක ආහාරපාන ගැනිම මෙන්ම ලැබුන ජිවිතය සතුටින් රස විදිමින්, සැහැල්ලු මානසික සෞඛ්‍යය තත්වයක් පවත්වාගෙන යෑමට මම නිතරම උත්සාහ කරනවා.

7)සුරාජ් වඩා කැමති තනිකඩ ජිවිතයද? ආදරය ගැන ඔබේ අදහස…

බොහෝ දෙනා විවාහ වෙන්නේ ආදරය නිසාද නැතිනම් විවාහ විය යුතුය යන සමාජ මතය නිසාද? යන්න ප්‍රශ්නාර්ථයක් වෙනවා. මගේ අදහස විවාහ නොවි තනිකඩව ඉන්න හෝ ඉක්මනින් විවාහ වෙන්න ඕනේ කියන එක නෙවෙයි. සමාජය අහන ප්‍රශ්නවලට පිළිතුරක් ලබා දෙන්න ඕනේ නිසා මම විවාහ වෙන්න සුදානම් නැහැ. ආදරය දැනෙන, ගැලපෙන කෙනෙක් තෝර ගන්න මට අයිතියක් තියනවා. මගේ ජිවිතය සතුටින් ගත කරන්න සහ ආදරය කියන සුන්දර දෙය විදින්න මම කැමතියි නමුත් මට ගැළපෙන කෙනෙක් ලැබෙයිද නොලැබෙයිද කියලා මම දන්නේ නැහැ. විවාහ ජිවිතය තුල සතුටින් ජිවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් ලැබුනොත් නිවැරැදි තීරණයක් ගන්න මම බලාපොරොත්තු වෙනවා.

8)ඔබව ඉදිරියේදි ප්‍රේක්ෂක අපට දකින්නට ලැබෙන කලා කටයුතු මොනවාද?

මාව පහු කරගෙන ගියපු අය සහ මම පහු කරගෙන ආපු කිසිම කෙනෙක් එක්ක මට තරගයක් නැහැ. වෙනදා වගේම කරන දෙය හරියට කරගෙන වැටුණු තැන් සහ පැරදුණු තැන් වලින් පාඩම් ඉගෙන ගෙන මගේ ගමන නිදහසේ හෙමින් සීරුවේ ඉදිරියේදිත් යමින් ප්‍රේක්ෂක රසාස්වාදය සහ බුද්ධි මට්ටම වැඩි කිරිම වෙනුවෙන් කලා කටයුතුවල නිරත වෙන්න, උසස් තත්වයේ නිර්මාණ සමග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

අමා නාකන්දලගේ

Sign up for our newsletter