පෞරුෂ සංවර්ධනයෙහි නියමත්‍රය
ලොව පහළ වූ අද්විතීය මනෝවිශ්ලේශක වූ බුදුරජාණන්වහන්සේ විසින් පෞරුෂ සංවර්ධනය (personality development) පිළිබඳව කළ දේශනා අතර අංගුත්තර නිකායේ තික නිපාතයෙහි දී දෙසූ නියමයන් (governing principles) තුන බොහෝ මනෝවිශ්ලේෂකයන්ගේ සහ ආචාර්‍යවිද්‍යා ප්‍රවීණයන්ගේ පැසසුමට ලක්වී තිබේ.
කාලයාගේ ඇවෑමෙන් බුදුදහම දර්ශනයක් සහ ආගමක් ලෙස වර්ධනය වී තිබුණද එය මිනිසා ඇතුළු ජීවීන්ගේ සහ ස්වභාවික ලෝකයේ පැවැත්ම සහ නැවැත්ම පිළිබඳ හේතුඵලවාදි විද්‍යාත්මක විග්‍රහයකි.
ලෝකයේ කොටසක් ලෙස තමන්ගේත් සමාජයේත් සාමකාමී පැවැත්ම සඳහා මනා පෞරුෂයක් අපට අවශ්‍ය ය. එය ඉබේ නොලැබෙන සචේතනිකව ලබාගත යුතුය. ඒ සඳහා පිටුබලයක් වන, ඉහත කී අංගුත්තර නිකායේ සඳහන් නියමයන් තුන නම් ආත්මාධිපත්‍යය, ලෝකාධිපත්‍යය සහ ධර්‍මාධිපත්‍යයි.
ආත්මාධිපත්‍යය (පාලි: අත‍්තාධිපතෙය්‍යං) යනු තමන්ගේම සිහිනුවණ නියමයක් (self-awareness as a governing principle) ලෙස භාවිත කිරීමයි. එය චරිත සංවර්ධන නියමයක් ලෙස බුදුරජාණන්වහන්සේ විසින් වදාරා ඇත්තේ දෙවියන්ටද නැති ස්වච්ඡන්දතා හැකියාව (ability of free will) මිනිසාට ඇති නිසාය. එහෙත් මෙම නියමය භාවිත කිරීමේදී උද්ධච්ච නොවී අනතිමානීව වැරදි නිවැරදි කරගැනීමේ කැපවීමෙන් පුද්ගලයා යුක්ත විය යුතුය.
ලෝකාධිපත්‍යය (පාලි: ලොකාධිපතෙය්‍යං) යනු සමාජ සම්මතයන් නියමයක් (social norms as a governing principle) ලෙස භාවිත කිරීමයි. සෑම සමාජ සම්මතකයකටම අවනත වීම මෙයින් අදහස් නොවේ. ලොව පිළිගත් නෛතික (legal) සහ සදාචාරාත්මක (ethical) සීමාවන් (boundaries) සැළකිල්ලට ගැනීම මෙයින් අදහස් කෙරේ.
ධර්‍මාධිපත්‍යය (පාලි: ධම‍්මාධිපතෙය්‍යං) යනු හේතුඵලවාදි ප්‍රවේශය (cause and effect approach) භාවිත කිරීමයි. ධර්මය දැකීම යනු කුමක්දැයි විස්තර කිරීමේදී බුදුරජාණන්වහන්සේගේ වදාළේ පටිච්වසමුප්පාද හෙවත් හේතුඵලවාදය දැකීම ධර්මය දැකීම යනු යි. අද බොහෝ ක්ෂේත්‍රවල හේතුඵලවාදි ප්‍රවේශය භාවිත කෙරේ. ප්‍රශ්න නිරාකරණය (problem-solving) පෞරුෂ සංවර්ධනයට අත්‍යවශ්‍ය වන අතර එය සාර්ථක වන්නේ හේතුඵලවාදි ප්‍රවේශයෙනි.
මෙම නියමයන් තුන භාවිතයෙන් නිසැකවම ස්ථාවර සහ ආකර්ෂණීය පෞරුෂ සංවර්ධනයක් ලබා ගත හැකිය.
– ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි