Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

2024-Feb-03

චිත්තධර්ම-2024 #2 – නොහික්මුණු අශ්වාරෝහකයා – (Undisciplined charioteer)

ක්ෂණික කෝපය නිසා තත්ත්වයෙන් පිරිහුනු ලෝක නායකයක් ආගමික නායකයන් සමාජ ක්‍රියාකාරීන් ව්‍යාපාරිකයන් මව්පියන් ආදි විවිධ පුද්ගලයන් ගැන ඔබ අසා ඇත. කෙනෙකු ඒ තත්ත්වයට පත් වන්නේ තිබිය යුතුම දෙයක් නොතිබීම නිසාය. එනම් තරහව පාලනය කර ගැනීමේ හැකියාවයි. එය සුවිශේෂී කුසලතාවක් (extraordinary skill) ලෙස ධර්මයේ ඉගැන්වේ. 

තරහව විවිධ ප්‍රභේදවලින් යුක්තය. ඒ සියළු ප්‍රභේද ඇතිවන්නේ අප උපතින්ම උරුම කරගත් හෙවත් සහජ නාස්තික මානසික ප්‍රවණතා ඇති කරන මූල (innate drives of negative mental mental tendencies) තුනෙන් එකක් වන දෝසමූල (drive of anger) තුළිනි. තමන්ටත් තේරුම්ගත නොහැකි තරමට සියුම් තරහව පටිඝ සඤ්ඤා (sense of resistance) ලෙස හැඳින්වේ. සාමාන්‍ය තරහව ( normal anger) දෛනික ජීවිතයේදී කාටත් ඇතිවිය හැකිය. වෛරය (hatred) සසර බොහෝ කාලයක් සතුරන් සම්බන්ධයෙන් පවතින තරහව යි. අනුන් විනාශ වේවා යැයි පැතීම ව්‍යාපාද (ill-will) ය. මේ හැම තරහ ප්‍රභේදයකටම වඩා විනාශකාරි වන්නේ කෝධ/ක්‍රෝධ හෙවත් ක්ෂණිකව ඇතිවන තරහව (sudden burst of anger) ය. 

බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයේ 222 වෙනි ගාථාවට අනුව සමාජශීලී සත්ත්වයන් වන අප වඩාත්ම කල්පනාකාරී විය යුත්තේ ක්‍රෝධය පිළිබඳවය. ක්‍රෝධය එම ගාථාවේදි බුදුරජාණන්වහන්සේ සසඳන්නේ අශ්වාරෝහකයෙකුටය. එම ගාථාව මෙසේය.

යෝ වේ උප්පතිතං කෝධං

රථං භන්තං ව ධාරයේ

තම’හං සාරථිං බෲමි

රස්මිග්ගහො ඉතරෝ ජනෝ

අශ්ව කරත්තයේ වේගය සහ සමබරතාව පාලනය කරගැනිමට සමත් අශ්වාරෝහකයා (සාරථී) සැබෑ දක්ෂයෙකි. ක්‍රෝධය පාලනය කරගැනීමට සමත් පුද්ගලයා එවන් අශ්වාරෝහකයෙක් වැනිය. කරත්තයේ තත්ත්වය සහ අශ්වයාගේ තත්ත්වය මැනවින් තේරුම් ගෙන ධාවනය කිරීම දක්ෂ අශ්වාරෝහකයාගේ ලක්ෂණයි. එය ඔහුට ලැබෙන්නේ හික්මීම (training) තුළිනි. හික්මීම නොලැබූ අශ්වාරෝහකයන් හුදෙක් තෝන් ලනුව (reins) අල්ලාවෙන සිටීමට පමණක් දන්නා අය වේ. නොහික්මුණු අශ්වාරෝහකයා නිසා තමන්ද අශ්වයාද කරත්තයද විනාශය කරා ගෙනයාමට ඉඩ තිබේ. මෙම අශ්වාරෝහක උපමිතිය (charioteer analogy) අප ජීවන ගමන තුළ තිබිය යුතු සමබරතාවට හානි කරන ක්‍රෝධය ගැන ය. 

ලොව පුරා සිදුවන අපරාධ බොහෝමයක් ක්‍රෝධය මුල් වීමෙනි. කොතරම් කාර්‍යබහුල වුවත් තමන්ගේ සිතේ සාමය වෙනුවෙන් දෛනිකව කාලය වෙන් කරගෙන සමාධිගත වීම සහ කතාව අඩුකර තමන් ආශ්‍රය කරන්නවුන්ට සවන් දීමට ඉගෙන ගැනීම ඔබව දක්ෂ අශ්වාරෝහකයකු බවට පත් කරයි.

-ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Sign up for our newsletter