Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

2024-Feb-26

චාල්ස් රජුගේ පිළිකාව සහ එක්සත් රාජධානියේ මහජන සෞඛ්‍ය 

බ්‍රිතාන්‍යයේ III වන චාල්ස් රජතුමාට පිළිකාවක් වැලඳී ඇති බව වාර්තා වීමත් සමඟ එක්සත් රාජධානියේ ජනතාව මහත් කැළඹීමට පත් උනා. පිළිකාව පිළිබඳව ජනතාව තුල පවතින අසුභ අදහස් සහ අත්දැකීම් එක්ක මේ පුවත බ්‍රිතාන්‍යයේ ජනතාවට මෙන්ම ලොව පුරා වෙසෙන රාජකීය පවුලට ආදරය කරන හැමෝටමත් ඉතා කණගාටුවක් ඇති කරන සිදුවීමක් උනා.

රජතුමා ගැන පමණක් නොව බ්‍රිතාන්‍යය රාජකීය පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු පිලිබඳවම පසුගිය දින වල කණගාටුදායක පුවත් අසන්න ලැබුනි. ඒ අතරින් පළමු පුවත ලෙස කේට් කුමරිය බරපතල සැත්කමකට මුහුණ දුන් බවත් ඒ හේතුවෙන් ඇය මාස කිහිපයක් රාජකාරි වලින් බැහැරව විවේක ලබන බවත් බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර තිබුනා. එදිනම පස්වරුවේ බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් III වන චාල්ස් රජතුමන් “පුරස්ථි ග්‍රන්ති විශාල වීමේ” රෝගයකට ප්‍රතිකාර ලැබීමට නියමිත බැවින් සති කිහිපයක් නිළ රාජකාරි වලින් ඉවත් වන බව ප්‍රකාශ කලා. තවත් දින කිහිපයකට පසුව යෝර්ක් හී ආදිපාදවර සාරා කුමරියට දෙවන වරටත් පිළිකාවක් වැලඳී ඇති බව බ්‍රිතාන්‍යයේ මාධ්‍ය රැසක් වාර්තා පලකර තිබුනා.

ඒ සියළු සිදුවීම් වලින් අනතුරුව චාල්ස් රජතුමාටද පිළිකාවක් වැලඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කර තිබූ අතර ලියුම්කරු මෙම සටහන තබන අවස්ථාව වන විටත් එය කුමන වර්ගයේ පිළිකාවක්ද යන්න හෝ එය කුමන මට්ටමේ පවතීද යන්න අනාවරණය කර නොතිබූ අතර රජතුමන් පිළිකාව සඳහා අවශ්‍ය මූලික ප්‍රතිකාර ආරම්භ කර තිබුනි. කෙසේ වෙතත් රජු තමන් සුව වීම පිලිබඳව බලාපොරොත්තුවෙන් සහ ධනාත්මකව සිටින බව ප්‍රකාශ කර තිබූ අතර වෛද්‍ය උපදෙස් ලැබෙන්නේ නම් මිස ව්‍යවස්ථාපිත රාජකාරි පවා සිදුකරගෙන යාමට අදහස් කරගෙන සිටින බව නිවේදනය කර තිබුනි.

රජුගේ රෝගී තත්වය අනාවරණය වීමත් සමඟ බ්‍රිතාන්‍යයේ පිළිකා රෝගය පිළිබඳව නැවත කතාබහක් ඇතිවී ඇති අතර රජුගේ රෝගී තත්වය පිලිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව දැනුවත් කිරීමේ බලාපොරොත්තුව වී ඇත්තේද අවධානම් සහිත පුද්ගලයන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වී පිළිකා පිලිබඳව පරික්ෂා කරගැනීමට උනන්දු කිරීම වේ. සාමාන්‍යයෙන් රජුගේ සෞඛ්‍ය ගැටළු පිලිබඳව අනාවරණය නොකරන අතර එහෙත් චාල්ස් රජතුමා නිතරම සිය සෞඛ්‍ය ගැටළු පිලිබඳව මහජනයාට දැනුම් දෙමින් ජනතාව සෞඛ්‍ය පරික්ෂාවන් හා ප්‍රථිකාර කෙරෙහි උනන්දු කරවීමට කටයුතු කරයි.

බ්‍රිතාන්‍යය රජයේ සෞඛ්‍ය සේවයේ දත්තයක්ට අනුව එරට ජනගහනයෙන් සෑම පුද්ගලයන් දෙදෙනෙකුගෙන්ම එක් අයෙක් සිය ජීවිත කාලය තුලදී පිළිකාවට මුහුණ දිය හැකි වේ. NHS වෙබ් අඩවියට අනුව මේ වන විට බ්‍රිතාන්‍යයේ පිළිකා වර්ග 200 කි පමණ හඳුනාගෙන ඇති අතර ඒ අතරින් වඩාත් සුලභ ඒවා ලෙස පියයුරු, පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය සහ බඩවැල් ආශ්‍රිත පිළිකා හඳුනාගෙන ඇත.

රජුගේ පුරස්ථි ග්‍රන්ති විශාල විමේ රෝගයට ප්‍රතිකාර කරන අතර තුර සිදුකල පරීක්ෂණ වල ප්‍රථිපලයක් ලෙස ඔහුට වැලඳී ඇති පිළිකා තත්වය හඳුනා ගෙන ඇති අතර බ්‍රිතාන්‍යයේදී බොහෝ පිළිකා රෝගීන් හඳුනා ගන්නේ එසේ වෙනත් රෝගයක් සඳහා ප්‍රථිකාර කරන අතරතුරදී වීම විශේෂත්වයක් වේ. එලෙස වෙනත් ප්‍රථිකාර මැද හඳුනා ගන්නා රෝගීන් සංඛාව මුළු පිළිකා රෝගීන්ගෙන් පහෙන් එකක් පමණ වේ. පසුගිය මාස 12ට පමණක් වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර කරන අතර තුර හඳුනා ගත් රෝගීන්ගේ සංඛාව 66,000 පමණ වේ.

තත්වය එසේ උවද බ්‍රිතාන්‍යයේදී පිළිකාවක් වැලඳී ඇතැයි හඳුනාගන්නා මහජනතාව මුහුණ දෙන තත්වය රජු මුහුණ දෙන තත්වයට වඩා වෙනස් වේ. චාල්ස් රජුගේ රෝගය සඳහා හඳුනාගත් වහාම ප්‍රථිකාර ආරම්භ කලද සාමාන්‍ය ජනතාවට සැලකිය යුතු කාලයක් ප්‍රථිකාර ලැබීම සඳහා බලා සිටීමට සිදුවේ. පිළිකාවක් හඳුනා ගන්නා රෝගියෙකුට දින 62 ක් ඇතුලත ප්‍රථිකාර ආරම්භ කිරීම NHS හී ඉලක්කය උවද පසුගිය වසරේ පිළිකා ලෙස හඳුනාගත් සෑම රෝගීන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් ඊට වඩා වැඩි දින ගණනක් ප්‍රථිකාර ලැබීම සඳහා පොරොත්තු ලේඛන වල කල්ගත කර ඇත.

පසුගිය දශකයක පමණ කාලය තුළ පොරොත්තු ලේඛන වල ගතකරන කාලය ක්‍රමයෙන් දිගු වී ඇත. එයට හේතුව ලෙස සෞඛ්‍ය සේවක හිඟය, උපකරණ හිඟය සහ රජය ප්‍රමාණවත් ලෙස ඒ වෙත දිගුකාලීනව ආයෝජනය නොකිරීම වැනි දෑ දැක්විය හැක. උදාහරණයක් ලෙස ජර්මනියට සාපේක්ෂව බ්‍රිතාන්‍යයේ පවතින පිළිකා හඳුනා ගත හැකි ස්කෑන් යන්ත්‍ර සංඛාව හතර ගුණයකින් අඩුය. මේ හේතුවෙන් බ්‍රිතාන්‍යයේදී උවද එකම රෝගයක්  සම්බන්ධයෙන් උවත් මහජනතාව මුහුණ දෙන තත්වය රජු මුහුණ දෙන තත්වයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වේ.

තිලාන් ජයසේකර 

Sign up for our newsletter