Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

2024 – Jan – 10

ලෝකයේ කාලීන  පුවත් එසැනින් අකුරු කරන, කටකාර තරුණයා 

THILAN JAYASEKARA

තිලාන් ගෙ නම ගම පවුලේ විස්තර ටිකක් කිව්වොත්?

 මගේ සම්පූර්ණ නම තිලාන් දර්ශන ජයසේකර. පවුලේ විස්තර විදියට කියන්න තියෙන්නේ මම එංගලන්තයේ ජීවත් වෙන්නේ මගේ බිරිඳත් එක්ක. ඒ වගේම ලංකාවේ මගේ අම්මා තාත්තා එකම සහෝදරයා ජීවත් වෙනවා. මම එක්සත් රාජධානියට සංක්‍රමණය වෙලා ටික කාලයක් වෙනවා. ඉතිං ඒ විදියට තමයි මගේ පවුලේ විස්තර 

ඔබ ජනමාද්‍යවේදීයෙක්. මේ ගමන්මඟේ ඇරඹුම කොහොමද සිද්ධ වුණේ ?

ඒක නම් කොහොම කොතනදි ආරම්භ උනාද කියන්න හරියටම දන්නේ නෑ. මම කැම්පස් කාලේ ඉඳලම මාධ්‍ය වලට සම්බන්ධ වෙලා කටයුතු කරා. විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍යත් එක්ක. පස්සේ අමාත්‍යාංශයකට සම්බන්ධව මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම්වරයෙක් විදියට කටයුතු කරන්න ලැබුනා. දැන් නම් ඉතිං නිදහස් මාධ්‍යවේදියෙක් විදියට ලංකාවේ මාධ්‍ය ආයතන කිහිපයක් සමඟත් සමාජ මාධ්‍ය වලත් වැඩ කරමින් ඉන්නවා.

තිලාන් ලංකාවෙන් පිට ඉන්න ජනමාද්‍යවේදීයෙක් විදියට, ලියන්න සහ අදහස් පළකරන්න  තියෙන නිදහස ගැන කොහොමද දැනෙන්නේ ?

ඒක නම් අති විශිෂ්ඨයි. විශේෂයෙන්ම මම ලංකාවේ වගේම එංගලන්තයේත් දේශපාලනය ගැන, තත්කාලීන වෙනස්කම් ගැන නිතරම ලියන කෙනෙක් විදියට හරිම නිදහසක් මට දැනෙනවා ඕනි දෙයක් බය නැතුව ලියන්න පුළුවන් වීම ගැන. අපි දන්නවා ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න ලියන්න තියන නිදහසට පවතින සීමාවන් ගැන. ඒත් එක්සත් රාජධානිය වගේ රටක ඉද්දි අපිට ඇත්ත තොරතුරු ඒ විදියටම ලියන්න අවශ්‍ය වටපිටාව හොඳටම නිර්මාණය වෙලා තියෙනවා.

ඒ වගේම විදෙස් මාධ්‍ය ගත්තත. ලංකාවේ මාධ්‍ය සමඟ සංසංදනය කරනකොට මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය සැහෙන්‍න දුරට රකිනවා කියන එක පේනවා. තව මට කියන්න තියෙන්නේ එංගලන්තය වගේ රටවල මාධ්‍ය හැසිරීම සහ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම ඉතාම ඉහළ මට්ටමක තියනවා.

 මාධ්‍ය කලාවේ ඔබේ පසුබිම සහ අත්දැකීම් ගැන අපට කියන්න පුළුවන්ද ?

මම කලින් කිව්වා වගේම මගේ අධ්‍යාපනික පසුබිම මාධ්‍යයට කිසිම සම්බන්ධයක් නෑ. මගේ අධ්‍යාපන පසුබිම වගේම වෘත්තීය වෙන්නේ ගණකාධිකරණය. ඒත් මට අවස්ථාව ලැබුනා මම දන්න දේ සහ මම සොයාගන්න දේ රටට මිනිස්සුන්ට කියන්න සහ ලියන්න. ඒ දේ මම දැනටත් කරමින් ඉන්නවා. මම ලියන දේවල් කියවන පිරිස සහ ඒවායින් ප්‍රයෝජන ගන්න පිරිස ඉතා විශාලයි කියලා මට දැනිලා තියනවා. මට කියපු අය ඉන්නවා. ඉතිං ඒ අත්දැකීම් මට විශාල සතුටක් මේ මාධ්‍යකරනය ඉස්සරහට කරගෙන යන්න.

ඔබ ලංකාවෙ දේශපාලනය ගැන වැඩි උනන්දුවක් තියෙනවා කියලා කිව්වොත්  ? 

ඔව්. මම විශ්වාස කරනවා සෑම මිනිසෙක්ම දේශපාලන සත්වයෙක් කියන එක. ඒ වගේම පුරවැසියන් විදියට අපි හැමෝම දේශපාලනය ගැන උනන්දු වෙන්නම ඕනි. මිනිස්සු එහෙම නොවී ‘අපි හම්බකරොත් අපි කනවා’ කියන විකාරයක් ඔළුවට දාගෙන රටේ දේශපාලනය ගැන උනන්දුවක් නොදක්වන නිසාම තමයි අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ.

මම ලංකාවේ ඉන්න කාලේ දේශපාලනයට සම්බන්ධව ක්‍රියාකාරීව වැඩ කරා. ඉතිං ඒ උනන්දුව එක්සත් රාජධානියට ආවා කියලත් අඩු වෙලා නෑ. ලංකාවේ දේශපාලකයන්, ලංකාවේ දේශපාලන පක්ෂ එක්ක සම්බන්ධ වෙලා වැඩ කරමින් අපේ ලංකාව කොතනදි හෝ හරි මාර්ගයකට ගන්න පුළුවන් වෙයි කියන උවමනාවෙන් අපි තවම වැඩ කරමින් ඉන්නවා. මාධ්‍යවේදියෙක් විදියටත්, පුරවැසියෙක් විදියටත් අපිට ඒ වගකීමෙන් මිදෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් වඩා යහපත් රටක් බිහිකරීමේ අරමුණින් තවමත් අත නොහැර වැඩ කරනවා.

 ඔබේ වාර්තාකරණයේ නිරවද්‍යතාවය  ඔබ සහතික කරන්නේ කෙසේද?

සාවද්‍ය වාරතාකරණය හෝ ඕපදූප වාර්තාකරණය මාධ්‍යකරුවෙකුගේ වගේම මාධ්‍ය ආයතන වලත් ජීවිත කාලය ඉතා ඉක්මනින් අවසන් කරනවා. මම කියන්නේ මාධ්‍ය ජීවිතය .ඒ නිසා සෑම විටම නිවරදිම මාධ්‍යකරනයට මාධ්‍යවේදීන් හුරුවිය යුතුමයි. පෞද්ගලිකව මම ලියන අකුරු වලට මම වගකියන මිනිහෙක්. විශේෂයෙන්ම තත්කාලීන සිදුවීම් වාර්තා කරන කෙනෙක් විදියට පුළුවන් තරම් මූලාශ්‍ර එකතු කරගෙන තමයි මම දේවල් ලියන්නේ. විශේෂයෙන්ම විදෙස් මාධ්‍ය වල ඉංග්‍රීසි භාෂාවෙන් වාර්තා වන ඒත් ලංකාවේ මාධ්‍ය වාර්තා නොකරන ඒ වගේම ලංකාවේ මිනිස්සු දැනගත යුතුයි කියලා හිතෙන හැම දෙයක්ම වගේ මම ලියනවා. එතකොට ඒ ගැන පලවෙච්ච මාධ්‍ය වාර්තා කිහිපයක්ම පරිශීලනය කරලා තමයි ඒ ගැන ලියන්න මම කටයුතු කරන්නේ.

තාක්‍ෂණය සහ සමාජ මාධ්‍ය අද පුවත්පත් කලාවේ ඉටු කරන කාර්යභාරය කුමක්ද?

මේ වෙනකොට මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමේ හැකියාව අසීමිත වෙලා තියනවා. ඒකට ප්‍රධාන හේතුව තාක්ෂණය. තාක්ෂණය කියන්නේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය. ශ්‍රව්‍ය දෘෂ්‍ය සංකලනයන් විදියට පවතින සමාජ මාධ්‍ය හේතුවෙන් සමාජයේ ඕනෑම මට්ටමක පුද්ගලයෙකුට මොන විදියකින් හරි ලෝකය පුරාම සිදුවන තොරතුරු ගලාගෙන එනවා. එතකොට මිනිස්‍සු සංස්කරණය කරලා තෝරාගත් තොරතුරු පමණක් බෙදාහරින සාම්ප්‍රදායික මාධ්‍ය කෙරෙහි තියන අවධානය අඩු වෙනවා. ඒක පුවත්පතටත් පොදු ඉරණමක්. ඉතා වේගයෙන් ලෝකයේ පුවත්පත් අළෙවිය පහත වැරටනවා. මිනිස්සු ඒ වෙනුවට විවිධ කියවීමේ මාර්ග වෙත ආකර්ෂණය වෙනවා. 

තිලාන්ගෙ මතය අනුව, පුවත්පත් කලාව සමාජය තුළ ඉටු කරන කාර්යභාරය කුමක්ද?

ඒක ලෝකයේ රටින් රටට වෙනස් වෙනවා කියන එකයි මගේ අදහස. අපිට පුරුදු ලංකාවේ තවමත් එක පරම්පරාවක් අත පුවත්පත තාම රැඳෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වලට හුරු නොවුනු අපේ තාත්තලාගේ පරම්පරාව. ඉතිං ඒ නිසා පුවත්පතට තවමත් අත්හැරිය නොහැකි වගකීමක් හා කාර්‍ය්භාරයක් තියනවා ඒ පරම්පරාව තොරතුරු වලින් දැනුවත් කිරීමට. ඒ වගේම අපි ගත්තොත් රටක කලාවට, සංස්කෘතියට සහ අධ්‍යාපනයට සේවයක් කරන්න තවමත් පුවත්පතට ඉඩ වෙන්වෙලා තියනවා. ඒ ඉඩ ලංකාවේද එංගලන්තයේද කියලා සීමාවක් නෑ. ඒක මම හිතන්නෑ දැන් අපි කතා කරන ලියන සමාජ මාධ්‍ය වලට විතරක් කරන්න පුළුවන් දෙයක් කියලා.

කවදා හරි දේශපාලනට එකතු වෙන්න අදහසක් තියනවාද?

ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම කවදා හරි සම්බන්ධ වෙන්න නෙමෙයි මම කලිනුත් කිව්වා වගේම අපි මේ වෙනකොටත් දේශපාලනය කරමින් තමයි ඉන්නේ. මම විශ්වාස කරන්නේ දේශපාලනයට සම්බන්ධ වෙනවා කියන්නේ මැතිවරණයකට ඉදිරිපත් වීමම නෙමෙයි. ලංකාවේ දේශපාලන දිශානතිය තීරණය කරන්න ක්‍රියාකාරීව මැදිහත් වෙනවා කියන්නෙම දේශපාලනය කරනවා කියන එක තමයි. දේශපාලනය කරනවා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ ඡන්දෙ ඉල්ලනවා කියන එක නම්, කාලයකදි මම ඇත්තටම එහෙම අදහසක හිටියා නමුත් මේ වෙනකොට අපේ රටෙ මිනිස්සු මේ දේශපාළඥයන්ට වෛර කරන විදියට ඔබ හිතනවද සිහියක් තියන මිනිහෙක් මැතිවරණයකට ඉදිරිපත් වෙයි කියලා.

අපි මැගසින් එකත් එක්ක සම්බන්දවීම සහ මැගසින් එක ගැන හිතෙන දේ කිව්වොත්

අපි මැගසින් එකට සම්බන්ධ වෙන්න මෙච්ච ප්‍රමාද වීම ගැන තමයි මට තියන කණගාටුව. මේ වෙනකොට පුරා වසර 4ක් විදේශගතව ඉන්න ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් සාර්ථක මෙහෙවරක යෙදෙන අපි මැගසින් එකට මම මීට වසරකට පමණ කලින් සම්බන්ධ වෙන්නේ ගයාන්ගේ ආරාධනාවක් මත. මම හරි සතුටින් ඒ ආරාධනාව බාරගෙන හැම කලාපයකටම මගේ අදහසක් මම අපි මැගසින් එකට එකතු කරනවා. මම විශ්වාස කරනවා තව දීර්ඝ කාලයක් මේ ඊ සඟරාව එක්සත් රාජධානිය ඇතුළු රටවල වෙසෙන ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් සේවය කරයි කියලා. මම කලින් තැනක කිව්වා වගේ පුවත්පතේ කාර්‍ය්භාරය හීන වෙමින් යන යුගයක පුවත්පතේ කාර්‍ය්ත් නූතන මාධ්‍ය කාර්‍ය්ත් එකට ඉටු කරන අපි මැගසින් එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Sign up for our newsletter