Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

තාලපුර්ණයෙන් හැඩවන LIVERPOOL 

ශ්‍රී ලාංකේය අභිමානවත් සංස්කෘතිය පෝෂණය කිරීමෙහිලා නර්තන කලාව ඉටු කරන්නෙ සුවිශාල වූ මෙහෙවරකි. වසර 2500 කටත් එපිට ඓතිහාසික යුග වල දී පවා ශ්‍රී ලාංකේය නර්තන කලාව ප්‍රශස්ථ මට්ටමක පැවති බවට ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි සපයයි. විජය කුමරුන් ලංකාවට පැමිණෙන විටත් ශ්‍රී ලංකාවේ ඉතා දියුණු සංස්කෘතියක් පැවති බවටත්, ඉතා ප්‍රශස්ථ මට්ටමේ ගායන, වාදන නර්තන කලාවක් පැවති බවටත් ඓතිහාසික තොරතුරු අධ්‍යනය කිරීමේදී ගම්‍යමාන වේ. රන් හා ලෝහමය බෙර තිබූ බවටත් සිය ගණනක් වූ වාද්‍ය භාණ්ඩ තිබු බවටත් රාජ්‍ය අනුග්‍රහය සහිතව මාස් පතා වැටුප් ලබමින් නර්තනය කළ ශිල්පීන් සිටි බවටත් අනුරාධපුර, පොළොන්නරු හා කුරුණෑගල ආදී ඓතිහාසික යුග අධ්‍යනයේ දී තොරතුරු හමුවේ. කෙසේ වෙතත් ශ්‍රී ලාංකේය නර්තන කලාව නර්තනය, ගායනය හා වාදනය පමණක් නොව බොහෝ අනු කලාවන්ගෙන් පෝෂණය වූ ඉතා විචිත්‍රවත් වූ අංග සම්පූර්ණ කලාවක් ලෙස තිබූ බව පෙනී යන්නේ එය අදටත් ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ සිත් වසග කර අමන්දානන්දයට පත් කිරීමේ විස්මිත හැකියාවෙන් හා විවිධත්වයන් තුළින් පෝෂණය වීමේ සජීවී ගුණය හේතුවෙනි.

ඒ අනුව “තාලපූර්ණ” නම් රංගායතනය පූර්ණිමා රංග ශිල්පායතනය ලෙස 2000 වර්ෂයේ දී කලඑළි බසින්නේ නර්තනය පිළිබදව පිපාසාවෙන් පෙළෙන සුවහසක් ලාංකේය දුවා දරුවන්ට නර්තන අධ්‍යාපනය, රිද්මයේ අවකාශය හා ජීවන රිද්මය සොයා යාම වෙනුවෙනි. දරුවන් කිහිප දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම ආයතනය පසුව දහස් ගණනක් වූ දරුවන්ට නර්තන අධ්‍යාපනය ලබා දෙන ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ අයතනයක් බවට පත් වන්නේ කාගෙත් ගෞරවාදරය දිනා ගනිමිනි. උඩරට, පහතරට, සබරගමු, භරත නාට්‍යම්, බෙර වාදනය, අංග රචනය, රංග වස්ත්‍ර නිර්මාණය, කැටයම් කලාව, ඡායාරූපකරණය හා අලෝකකරණය ආදී නර්තනය හා බැදි බොහෝ අනුෂාංගික කලාවන් පිළිබද දැනුමද දරුවන් වෙත ගෙන යනු ලබන්නේ නර්තනය පිළිබදව මනා අවබෝධයකින් හෙබි අභිමානනීය නර්තකයෙකු බිහි කරවීමේ අධිෂ්ඨානය ඇතිවය. තාලපූර්ණ රග පෙළහර 1,2,3,4 ලෙස දරුවන්ගේ කලඑළි මංගල්‍යය හා නර්තන ප්‍රසංග පවත්වමින් දරුවන්ගේ දක්ෂතා සමාජය වෙත ගෙන ගියේ විෂය ක්ෂේත්‍රයේ විදත් පිරිසගේ ඇගයුමට හා පැසසුමට ලක් වෙමිනි. වසර 22 කට ආසන්න කාලයක් ලාංකේය දරු දැරියන්ට නර්තනය පිළිබදව පමනක් නොව ජීවිතයට අවශ්‍ය රිද්මීය ජීවන කුසලතා ඉහළ නංවමින් උසස් අධ්‍යාපනය ක‍රා දරුවන් යොමු කරමින් එහිදී ද විද්‍යාර්ථීන් ලෙස ද ඔවුන් තව තවත් ඔසවා තැබීමට අමතක නොකොට ඇත.

2023 වර්ෂයේ එක්සත් රාජධානියේ ලිවර්පූල් නගරයේහී ශ්‍රී සම්බුද්ධ විහාරයේ දී පුණ්‍ය ආයතනයක් වශයෙන් තාලපූර්ණ ශ්‍රී ලාංකික නර්තන පාසල පිහිටවනු ලබන්නේ සංස්කෘතිය කෙරෙහි වූ ලබැදියාව නතර කරනු නොහැකි බවට නිදසුන් සපයමිනි. තම සංස්කෘතිය මිනිසුන්ගේ ලේ ධාතුවටම මුසු වී ඇති බව නොරහසක් වන්නේ ඒ පිට දේශයක වුව ද මතු වීමට පොර බදන නිසාය. තම මවු බිම හා සංස්කෘතිය කෙරෙහි උපන් ගෞරවය සෙනෙහස හා සෞන්දර්‍යාත්මක ලබැදියාව සනිටුහන් කරමින් තාලපූර්ණ දිගුව ලිවර්පූල් හැඩ කරන්නට විණි.

ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ජන විඥානය එකලස් කිරීමේ දී පන්සල ඉටු කරන්නේ සුළු පටු කාර්‍ය්‍යක් නොවේ. මිනිසුන් එකාවන්ව එක් රැස් කිරීමේ ගෞරවය පන්සල සතුය. පන්සල යනු සංස්කෘතික කේන්ද්‍රස්ථානයකි. එය ලොව ඕනෑම තැනක සත්‍ය්‍යයක් බවට පත්ව ඇත. ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරය ලාංකේය ජන ප්‍රජාව ඒකරාශී කෙරෙන සංස්කෘතික මධ්‍යස්ථානයකි. සීමා මායිම් නැති ආගමික සංස්කෘතික විවිධත්වය හා අසමානතා ඒකරාශී කර එකදු පහදු කරනා ස්ථානයකි.

ශ්‍රී ලාංකේය සංස්කෘතික බීජයන් රෝපණය කරනුවස් තාලපූර්ණ ශ්‍රී ලාංකික නර්තන පාසල පිහිටුවීමේහිලා ලිවර්පුල් සම්බුද්ධ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයට හා විහාරස්ථ දායක සභාව විසින් ඉටු කරනු ලබන අනගිභවනීය මෙහෙවර ගෞරවණීයව සිහිපත් කරන්නෙමු.

පූර්නිමා රත්නායක සහ ප්‍රභාෂ් නිරංග යන ආචාර්‍ය දෙපළ යටතේ ශ්‍රී ලාංකේය දරු දැරියන් 40කට ආසන්න ප්‍රමාණයක් අද වන විට තාලපූර්ණයෙන් හැඩවේ. ඔවුන්ගේ ජිවීත වලට සංස්කෘතිකමයවූ අපේකම බිදෙන් බිද එක් වෙමින් මව් භාෂාවේ අරුමය කියාපාන්නේ ඔවුන්ටත් නොදැනීමය. ශ්‍රී ලාංකේය නර්තන කලාවන් හා වාදනය, ගායනය, ජන නැටුම, ජන සංස්කෘතිය ආදී බොහෝ කලාවන් හබා යන්නට අද ඔවුන් දක්ෂයෝය. පූර්ව ළමා වියේ පසුවන දරුවන්ගේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් තෙක් සීමාන්තික නොවී නර්තනයේ නර්තන කලාවේ සුවපහස විදින්නේ තමන් තුළ අති රස වින්දන කුසලතාවය ද ඔප්නංවමිනි.

ශරීරය මාධ්‍ය කොටගත් නර්තන කලාව කිසි විටකත් නර්තකයාගේ අකමැත්තෙන් සිදු කළ නොහැක්කකි. ඒ සදහා නර්තකයා තුළ ශාරීරික මෙන්ම මානසික එළඹුමක් ද තිබිය යුතුමය. සුසමාහිත පෞර්ෂයකින් හෙබි දරුවන් බිහි කිරීමේහිලා නර්තන කලාව නිරායාසයෙන් පෙරමුණ ගන්නේ බොහෝ අනුශාංගික කලාවන්ගේ සුසං‍යෝගයෙන් ද සුපෝෂනය වී ඇති මහා වෘක්ෂයක් වීම හේතුවෙනි.

දරුවන්ට මානසික උත්තේජනයක් හා සංස්කෘතික ලක්ෂණ ලොවට පළදායී ලෙස කාන්දු කිරීමේ ප්‍රයත්නයේ අභියෝගය තාලපූර්ණයෙන් පටන්ගෙන අවසානය. එංගලන්තයේ ජීවත් වන හා මෙරට ඉපදී හැදී වැඩෙන දරුවන් තුළ තම මවු දේශයට හා සංස්කෘතියට ලොබ බැදීමට දරුවන් නිවැරදි ලෙස යොමු කරවන ශ්‍රී ලාංකේය මා පිය ප්‍රජාව විසින් සිදු කෙරෙන මහගු මෙහෙවර ප්‍රශස්තය. මෙම තාලපූර්ණ නර්තන පාසල දරුවන්ගේ ජාතික, සංස්කෘතික ආගමික හා භාෂාමය හර පද්ධතීන් මෙන්ම ශාරීරික හා මානසික වශයෙන් වූ විවිධ සෞඛ්‍ය සම්පන්නතා හදුනාගනිමින් ඒවා නර්තනය නම් වූ පොදු සාධකය තුළ ලඝු කිරීමේ මෙහෙවරෙහි නිරතව සිටී. 

තවද විශේෂකොටගෙන සදහන් කලයුත්තක්මැ වන්නේ, තාලපූර්ණ ශ්‍රී ලාංකික නර්තන පාසලේ 

දරු දැරියන්ගේ හා මා පිය ප්‍රජාවගේ අප්‍රතිහත ධෛර්යයේ මේ වන් තෙක් ඔවුන් කැටි කොට ගත් සංස්කෘතික රිද්මයේ දිගුවක් ලිවර්පූල් හී පෙළහර පෑමට වස්තු බීජයන් ඇති බවයි.

ප්ප්ඔප්එම සංස්කෘතික බීජ රෝපණයේ කූටප්‍රාප්තියක් ලෙස දරුවන්ගේ සමාජීය වගකීම් ඔවුනට කුඩා කල සිටම කා වැදීද්මේ අරමුණින් පුණ්‍යාතනයක් වූ තාලපූර්ණ නර්තන පාසලේ අරමුණ තීව්‍ර කරමින් තවත් පියවරක් ඉදිරියෙන් ඔසවා තැබීමට ඔවුන් සූදානම් වේ. ඒ තාලපූර්ණ නර්තන පාසල, ලිවර්පූල් ඇල්ඩර් හේ ළමා රෝහල හා අත්වැල් බැද ගනිමිනි. “Little hands – Big Hearts” නමින්, තම වයසේම දරුවන්ගේ හුස්මට සවියක් වෙමින් තාලපූර්ණ 2024 UK ප්‍රසංගය ඔවුන්ගේ සංස්කෘතික කළඑලි මංගල්‍යයක් මේ වසරේ පැවැත්වීමට සැලසුම් පෙරදැරි කරගෙන සිටී. ශ්‍රී ලාංකේය සංස්කෘතියෙන් උරුම වූ අනෙකා වෙනුවෙන් කැපවීමේ මහගු සිතිවිල්ල පෙරදැරි කරගෙන ඔවුන්ගේ මෙම පියවර ඔබ සියල්ලටම ඉතා විචිත්‍රවත් වූ ශ්‍රී ලාංකේය සංස්කෘතික මංගල්‍යයක් ලෙස පෙළහර පෑමට නුදුරේම නියමිතය.

✍️ රීනා ද සිල්වා

📸 ඡායාරූප – අනුරුද්ධ ලොකුහපුආරච්චි

Sign up for our newsletter