Api-Slide-53-1
Api-Slide-53-2
previous arrow
next arrow

24-05-02

චිත්තධර්ම 2024 

රෝගයක අනවශ්‍ය වේදනාව නසන අයුරු:

(How to remove the unnecessary pain of a disease)

මෙම මනෝ විග්‍රහය කිරීමට තීරණය කළේ රටවල් ගණනාවක විවිධ රෝගීන්ට ලබාදුන් බෞද්ධ සාර්ව මනෝවිද්‍යාත්මක විසඳුම් (Buddhist holistic psychological remedies) පාදක කරගෙන ය. රෝගය කුමක් වුවත් එය ඇතිබව පිළිගැනීම බුදුදහම ලබාදෙන විසඳුමේ මුල්ම පියවරයි. එය self-acceptance හෙවත් තමන්ගේ පවතින තත්ත්වයෙහි ස්වභාවය පිළිගැනීමයි.   තව දුරටත් පැහැදිලි කරන්නේ නම් එය පාලි භාෂාවෙන් ‘අභිණ්හ පච්චවෙක්ඛණ’ හෙවත් ‘නිරන්තර ආත්ම ආවර්ජනය’ (constant self-reflection) ලෙස හැඳින්වේ. 

රෝගයක අනවශ්‍ය වේදනාව යනුවෙන් දෙයක් නැතිබව කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් සැබවින්ම එබන්දක් තිබේ. අපට ස්වභායෙන්ම උරුම වූ මගේ යැයි අල්ලාගැනීමේ සහජ ප්‍රවණතාව (innate subjective tendency) නිසා අප කරන්නේ සුන්දර දේ මෙන්ම අසුන්දර දේ ද මුලින්ම අල්ලා ගැනීමයි. උදෑසනම අසූචි ගොඩක් දුටුවිට දවස පුරාම ඒ ගැන සිතන්නේ දොස් නගන්නේ අසුන්දර දේ සම්බන්ධයෙන්ද මුලින්ම සිදුකරන්නේ අල්ලා ගැනීම නිසාය. අල්ලා ගත්විට එයින් මිදීමට අමාරුය. රෝග ගැනද කිවයුත්තේ එයයි.

ලෙඩවීම ස්වභාවිකය. එහෙත් තමන් කෙරෙහි තමන් තුළ ඇති ගැඹුරු බැඳීම නිසා ලෙඩ වුවද ලෙඩක් නැතිබව අනුන්ට මෙන්ම තමන්ටද ඒත්තු ගැන්වීමට බොහෝදෙනා උත්සාහ කරති. එම උත්සාහය තමන් තුළ ප්‍රතිරෝධයක් හෙවත් self-resistance (ආත්ම ප්‍රතිරෝධය) නිර්මාණය කරයි. මුලින් කී self-acceptance බුදුරජාණන්වහන්සේ විසින් අනුදැන වදාළේ ඒ තුළින් ආත්ම ප්‍රතිරෝධය බිඳ දැමිය හැකි නිසාය. තමන්ට අසනීපයක් වූ විට මුලින්ම ඇතිවන්නේ බියකි. දෙවනුව තරහකි. බිය සහ තරහ දෙකම අපේ සිතේ එක් මූලයක් (drive) වන ද්වේෂ මූලය (drive of anger) තුළින් හටගනී. බිය සහ තරහව තම රෝගය ගැන වේදනාවක් ඇතිකරයි. එම වේදනාව සැබෑ රෝගයේ කොටසක් නොව චිත්තවේගාත්මක එකතුකිරීමක් හෙවත් emotional addition ය. මාතෘකාවේදී අනවශ්‍ය වේදනාව යනුවෙන් අප අදහස් කළේ එම චිත්තවේගාත්මක එකතුකිරීමයි. 

කෙලෙස් සපුරා ස්ථිරවම නැති කළ බුදු, පසේබුදු, මහ රහතුන්ගේ කය ලෙඩ වේ. ඒ ලෙඩ නිසා වේදනාව දැනේ. එහෙත් උන්වහන්සේලා ඒ පිළිබඳව සිදුකරන ප්‍රකාශය ඉතා සුන්දරය. එනම් ‘කය දුකෙහි ය, හිත සමාධියෙහි ය (The body is suffering, but the mind is at peace). ඒ උන්වහන්සේලා සැබෑ රෝගයද සිතින් අල්ලා නොගත් නිසාය. එනිසා අප මෙහි සඳහන් කරන emotional addition උන්වහන්සේලාට අදාළම නොවේ. සැබෑ රෝගයේ වේදනාව උන්වහන්සේලාගේ සමාධියට සමාන්තරව පවතින අතර එයින් සමාධියට බාධා නොවේ. 

පෘථග්ජන අපට පෙර කී emotional addition වළක්වා ගැනීමට ලොකු ආධ්‍යාත්මික ශක්තියක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ලෙඩ වූ විට ලෙඩ බව පිළිගෙන එයට පිළියම් කිරීමය. රෝගය සම්පූර්ණයෙන්ම සුව වුවද තවමත් ඒ ගැන හිතෙන් දුක්වන බොහෝ අය මට හමුවී තිබේ. එහිදි එය සැබෑ රෝගයක් නොව සුවවූ රෝගය පදනම් කරගෙන මනෝමය ලෙස ඇතිකර ගත් අනවශ්‍ය දෙයකි. රෝගයක් පවතින අවස්ථාවේදීත් එය සුවවූ පසුවත් චිත්තවේගාත්මකම ඒ පිළිබඳව දොම්නස් වීම අනවශ්‍ය බැඳීම් ය. 

ඉහත කී ආත්ම ප්‍රතිරෝධය පාලි භාෂාවෙන් ‘පටිඝ,’ ‘පටිඝ සඤ්ඤා’ ලෙස හැඳින්වේ. එය තරහවේ සියුම්ම ප්‍රභේදයයි. බොහෝ අය ජීවිතයේ ප්‍රතිපත්තිය කරගෙන ඇත්තේ පටිඝය යි.

ලෙඩ වූ විට ඒ බව පිළිගන්න. සුවපත් වෙන්න. සියල්ලම අස්ථිර බව දැනගෙන සතුටින් ජීවත් වෙන්න.

-ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Sign up for our newsletter