Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
previous arrow
next arrow

24-06-03

මුළු ලෝකයම බලාගෙන ඉන්න බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය.

ලෝකයේ ප්‍රබලතම රටවල් පහ අතර ඉන්න ඒ වගේම ලෝක බලවතුන් පස්දෙනා අතරින් කෙනෙකු වන බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරලා තියනවා. 2024 වසර පුරාවටම ලෝකය පුරාම ප්‍රබල රටවල් රැසක තීරණාත්මක මහ මැතිවරණ හා ජනාධිපතිවරණ කිහිපයක්ම පැවැත්වෙන අතරේ ඒ අතරින් එක තීරණාත්මක මැතිවරණයක් තමයි බ්‍රිතාන්‍යය මහ මැතිවරණය.

පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් පවතින බ්‍රිතාන්‍යය වගේ රටක රාජ්‍ය නායකයා විදියට රජතුමා කටයුතු කලත් ප්‍රායෝගිකව සියළු බලතල හිමිවෙන්නේ අග්‍රාමාත්‍යවරයාට. ඒ නිසා ලෝකයේ සිදුවන ඕනෑම ආකාරයේ ගැටළුවකදි හෝ ලෝකයටම බලපාන තීරණයකදී බ්‍රිතාන්‍යයත් එම අවස්ථාවේ ඉතා තීරණාත්මක කාර්‍ය්භාරයක් ඉටු කරන නිසා බ්‍රිතාන්‍යයේ පාලකයා විදියට පත් වෙන්නේ කවුද කියන එක එක්සත් රාජධානියට වගේම ලෝකයේ හැම රටකටම වගේ එක ලෙස වැදගත් වෙනවා.

මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තියෙන්නේ ජූලි 4 වෙනිදා. ඒ කියන්නේ ඔබ ඊළඟ ‘ අපි Magazine’ කලාපය කියවන කොට බ්‍රිතාන්‍යයේ තියෙන්නේ අළුත් රජයක්. ලෝකයේ ප්‍රධාන පෙලේ රටවල් කිහිපයක මේ වසරේ මෙතෙක් පැවති මැතිවරණ වලදී ගොඩක් වෙලාවට තිබුණු පාලනය පෙරලිලා නව පාළනයක් බිහි උනා. එහෙමත් නැත්තම් තියන පාලනයට ඡන්ද ප්‍රතිඵල ප්‍රබල පණිවිඩයක් ගෙන ගියා. හොඳම උදාහරණය උනේ පසුගියදා අවසන් උනු ඉන්දියානු මහ මැතිවරණයේ ප්‍රථිපල අනුව හිටපු අග්‍රාමාත්‍ය මෝදි ම නැවත බලයට පත් උනත් ඔහුට ලබාගන්න පුළුවන් උනේ සුළු බහුතරයක් විතරයි. ඔහු බලාපොරොත්තු උන ජයග්‍රහණය අහලකටවත් එන්න මෝදිට පුළුවන් උනේ නෑ.

ඒ වගේම බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයේදීත් බල පෙරලියක් වෙයි කියලා ගොඩක් දේශපාලන විචාරකයන් මත පලකරනවා. ඒ කියන්නේ පවතින කොන්සර්වේටිව් පාලනය පෙරලලා කම්කරු පක්ෂය බලයට පත්වෙයි කියලා තමයි බලාපොරොත්තුව තියෙන්නේ. මේ වන විට කොන්සර්වේටිව් පක්ෂය අග්‍රාමාත්‍යවරුන් පස් දෙනෙකු යටතේ අඛණ්ඩව වසර 14 ක් එක්සති රාජධානිය පාලනය කරලා තියනවා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත්, කොරෝනා වසංගතයත් මෙන්ම රුසියානු යුක්රේන යුද්ධයත් එක පිට එක සිදු උන නිසා කොන්සර්වේටිව් රජයට අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු උනා.

පසුගිය වසර කිහිපය තුල බ්‍රිතාන්‍යයේ ආර්ථිකය කඩාගෙන වැටිලා ආර්ථික අවපාතයකට පවා රට මුහුණ දෙද්දි මෙරට ජනතාවට පවතින පාළණය ගැන සෑහෙන්න දුරට කලකිරීමක් ආවා. ඒ වගේම තමයි විශාල ප්‍රමාණයන්ගෙන් මෙරටට පැමිණි සංක්‍රමණත් මෙරට ජනතාවට පවතින පාලනය ගැන වන අකමැත්ත වැඩෙන්න හේතුවක් උනා. ඒ නිසාම පසුගිය මාසයේ පැවති බ්‍රිතාන්‍යයේ පලාත් පාළන මැතිවරණයේදීත් බ්‍රිතාන්‍යය ජනතාව කොන්සර්වේටිව් පක්ෂයට එරෙහිව ඡන්දය පාවිච්චි කරා.

බ්‍රිතාන්‍යයේ ජීවත්‍ වන ශ්‍රි ලාංකිකයන් විදියට අපිටත් මෙවර මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්න පුළුවන්. සංචාරක වීසා මත හැරෙන්න වෙනත් ඕනෑම දිගුකාලීන වීසා එකක් මත බ්‍රිතාන්‍යයේ ජීවති වන ලංකාවේ පුද්ගලයන්ට ඡන්දය සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි වෙන්න තියන අවසාන දිනය ජුනි 18. ඒ නිසා මෙතෙක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලියාපදිංචි නොවුනු සියළුම දෙනා හැකි ඉක්මනින් ඒ සඳහා වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වෙන්න.

ඒ වගේම මේ වෙනකොට මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වෙලා තියනවා. රැස්වීම්, වාද විවාද සහ රූපවාහිනී වැඩසටහන් වගේ දේවල් හරහා ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු අනෙකුත් සියළුම පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති හා වැඩසටහන් අපිට ඉදිරිපත් කරනවා. ඡන්දය භාවිතා කරන්න ඉන්න පුද්ගලයන් විදියට ඒ ගැනත් අවධානය යොමු කරන්න. ලංකාවේදි වගේ නෙමෙයි බ්‍රිතාන්‍යයේදී පක්ෂ විසින් ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉටු කිරීම සඳහා පක්ෂ සියල්ලම වගකීමට බැඳී සිටිනවා. ඒ නිසා ඒ ගැන අවබෝධයෙන් ඉන්න එක ඡන්දදායකයන් විදියට හැමෝටම හරිම වැදගත් වේවි.

තිලාන් ජයසේකර 

Sign up for our newsletter