ගැහැණු පිරිමි භේදයෙන් තොරව වැළදෙන ‘අර්ශස්’


වර්තමාන සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝගයක්. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව, ලොකු කුඩා භේදයෙන් තොරව ඇති වන්නක්. බොහෝ දෙනෙක් මෙය මුල් කාලයේදී නොසලකා හරින නිසා ඉතා පීඩාකාරී තත්ත්වයක් තෙක් වර්ධනය වෙන්නත් පුළුවන්. එහෙත් ඔබ මෙය නිවැරදිව හදුනා ගෙන, ප්‍රතිකාර කොට සුවය ලැබිය හැකි රෝගයක්. 

ආයුර්වේදීය මූල ග්‍රන්ථ වල සදහන් ආකාරයට ‘අර්ශස්’ යන්නෙහි සරලම තේරුම වන්නේ සතුරෙකු මෙන් ශරීරය පෙළන රෝගයක් බවයි. ඔබ දැනටමත් මේ රෝගයෙන් පෙළෙන්නෙක් නම් මෙහිවූ වේදනාත්මක බව අත්විද ඇති. අර්ශස් ගුද මාර්ගයේ අවසාන කොටසේ, එනම් මහාන්ත්‍රයේ අවසාන කෙළවරේ සිට අගල් 5-6ක් අතර සංවරණී, විසර්ජණී හා ප්‍රවාහිණී යන ගුදවලි තුනෙහි හට ගන්නාවූ රෝගයක්. මිනිස් සිරුර ඉතා පීඩාවට පත් කරන්නාවූ මේ රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ මලබද්ධ තත්ත්වයයි. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම, කෘත්‍රිම ආහාර රටාවන්ට යොමුවීම, කෙදි සහිත ආහාර නොගැනීම, මළ මූත්‍ර පිට කිරීමේ අවශ්‍යතාව දැනුණු විට පිට නොකර සිටීම, අධිකව නිදි වැරීම, එකදිගට හිදගෙන හෝ සිටගෙන සිටීම, බර ඉසිලීම, අධික ලෙස මත්පැන් පානය, උෂ්ණාධික ආහාර එනම්; ඉස්සො, දැල්ලො, බලමාළු, අන්නාසි, අච්චාරු, තක්කාලි ආදිය අධිකව ආහාරයට ගැනීම, අපිරිසිදු බව, පණු රෝග දීර්ඝකාලීනව පැවතීම, මානසික ආතතිය අධික වීම ආදිය මේ රෝගය සදහා හේතූන් වේ. 

අර්ශස් රෝගය ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුලුවන්. ඒ අභ්‍යන්තර අර්ශස් හා බාහිර අර්ශස් ලෙසයි. අභ්‍යන්තර අර්ශස් තත්ත්වය ඔබට පිටතින් දැකගන්නට බෑ. මෙහිදී ඔබට සාමාන්‍යයෙන් වේදනාවක් නොදැනුනත්, මලපහ කිරීමේදී රුධිරය පිටවීමක් දකින්නට පුලුවන්. මෙය ඉතා වැඩිවූ අවස්ථාවක් නම් අර්ශස් ගෙඩි විශාලවී ගුද මාර්ගයෙන් පිටතට ඇවිත් වේදනාවක් ගෙන දෙන්නටත් පුලුවන්. බාහිර අර්ශස් තත්ත්වයේදී සිරුර අභ්‍යන්තරයේ සිට ඇතිවන මාංශපේශි ඉදිමුම ගෙඩි මෙන් ගුදය වසා විසිර තිබෙනවා. බහුලවම පවතින්නේ මේ තත්ත්වයයි. 

අර්ශස් තත්ත්වයක් ඇත්නම් එවැනි රෝගියෙක් පහත ලක්ෂණ පෙන්වනවා. මූලිකවම මලබද්ධය හා බඩ පුරවා දැමීමත්, ගුද මාර්ගයෙන් ලේ ගැලීම, සැරව ගැලීම, සීදන් යාම, දණහිස් වේදනාව, මූත්‍ර අඩස්සිය, නොසන්සුන් බව, අධිකව තරහ යාම, හිසේ බර ගතිය ආදියයි. ඔබටත් මේ රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් ඇත්නම් අනිවාර්‍යයෙන්ම ඔබේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කර ප්‍රතිකාරයට යොමු විය යුතුයි. 

අර්ශස් රෝගය සදහා ප්‍රතිකාරයේදී මුලින්ම ආහාර පිළිබද සැලකිලිමත්විය යුතුයි. කෙදි සහිත ආහාර වැඩිපුර ගැනීමත්, ජලය වැඩියෙන් පානයට යොමු වීමත් ඒ අතරින් ප්‍රධානයි. මලපහ තද ගතියෙන් තිබීම අර්ශස් උත්සන්න කරන අතර, ඒ සදහා මලපහ මෘදු කරන ඖෂධ ඉතාමත් යෝග්‍යයි. ඉතා උත්සන්නවූ අවස්ථාවක් නම් මද රස්නය සහිත ලුණු මිශ්‍ර  ජලයෙහි විනාඩි 15- 20ක් පමණ වාඩිවීසිටීමෙන් ක්ෂණික සහනයක් ලැබේ. ජලය ලීටරයට ලුණු හැදි 2- 3ක් පමණ එකතු කල යුතුයි. දිනකට මෙය දෙතුන් වරක් කිරීමෙන් අර්ශස් තත්ත්වය උත්සන්න වීම වලක්වා ගන්න පුලුවන්. තවද නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග Chemotherapy, Rubber band ligation, Heat coagulation, Hemorrhoidectomy වැනි ආකාර වලින් අර්ශස් අංකුර ඉවත් කිරීමටද දැන් හැකියාවක් ඇත. අර්ශස් තත්ත්වය සදහා ආයුර්වේදීයව විශේෂ ප්‍රතිකාර පද්ධතියක් ඇත. එහිදී බාහිර මෙන්ම අභ්‍යන්තරවද ඖෂධ ලබා දෙන අතරම, අග්නි කර්ම ආදී ප්‍රතිකාර මගින් අර්ශස් රෝගය මනාව ක්‍රමානුකූලව සුව කර ගත හැක.


වෛද්‍ය ආර්. චන්ද්‍රිකා රාජපක්ෂ

BAMS ( කොළඹ විශ්වවිද්‍යාලය )

M. Sc. Ph. B. ( පේරාදෙණිය විශ්වවිද්‍යාලය )

Ad. Dip. in Psychotherapy & Dip. in Counselling Psychology (MHF- SL)

CCHRM (IPM- SL)

නිර්වාණය


නිර්වාණය වනාහි ආර්යයන් ගේ පරම විශුද්ධ ලෝකෝත්තර ඥානයට මිස සෙස්සන් ගේ දුබල ඥානයට හොඳින් අසු නොවන්නා වූ ඇති වීමක් නැතිව ඇත්තා වූ, නො දිරන්නා වූ, නොබිඳෙන්නා වූ, සෑම කල්හි ම පවත්නා වූ, අනන්තාපරිමාණ ගුණයන් ගෙන් යුක්ත වූ, පරම සූක්ෂම වූ පරම ගම්භීර වූ එක්තරා සුඛස්වභාවයෙකි. ආගම් අදහන්නවුන් විසින් ඒ ඒ ආගමට අනුව පිළිපැදීමෙන් බලාපොරොත්තු වන්නා වූ ඉතා උසස් දෙයක් සෑම දෙනාට ම ඇත්තේ ය. බුද්ධාගම ඇදහීමෙන් බෞද්ධයන් විසින් බලාපොරොත්තු වන ඉතා ම උසස් දෙය මේ නිර්වාණය ය. බුදුන් වහන්සේ කේවට්ට නම් ගෘහපතියාට නිවන හඳුන්වනු පිණිස මේ ගාථා දෙක වදාළ සේක.

“විඤ්ඤාණං අනිදස්සනං – අනන්තං සබ්බතො පහං

එත්ථ ආපො ච පඨවි – තෙජො වායො න ගාධති,

එත්ථ දීඝඤ්ච රස්සඤ්ච – අණුං ථූලං සුභාසුභං

එත්ථ නාමඤ්ච රූපඤ්ච – අසෙසං උපරුජ්ඣති.

විඤ්ඤාණස්ස නිරෝධෙන – එත්ථෙතං උපරුජ්ඣති.”

“පටන් ගැනීම, අවසන් වීම් ආදි කොන් නැත්තා වූ හැම කර්මස්ථාන මාර්ගයකින් ම යා හැකි බැවින් හැම පැත්තෙන් ම බැස ගැනීමට තොට ඇත්තා වූ ඇසට නො පෙනෙන්නා වූ ඥානයෙන් ම දත යුතු වූ තැනක් ඇත. හැම තැනම ඇත්තා වූ ආපෝ පඨවි තේජෝ වායෝ යන මේ ධාතූහු එහි නැත. හැම තැනම ඇත්තා වූ ද දික් වූ ද කොට වූ ද කුඩා වූ ද මහත් වූ ද හොඳ වූ ද නොහොඳ වූ ද වස්තූහු එහි නැත. එයට පැමිණ නාම රූප දෙක ඉතුරු නැතිව ම නිරුද්ධ වේ. අන්තිම විඥානයාගේ නිරෝධයෙන් නොහොත් කර්ම විඥානයාගේ නිරෝධයෙන් එයට පැමිණ නාම රූප සියල්ල ම නිරුද්ධ වේ ය” යනු එහි තේරුම යි.

මේ දේශනයෙහි “විඤ්ඤාණ” යන වචනය දෙතැනක යෙදී තිබේ. එයින් අගට යෙදී තිබෙන විඤ්ඤාණ යන්නෙන් කියැවෙන්නේ සිත ය. මුල යෙදී තිබෙන විඤ්ඤාණ යන වචනයෙන් කියැවෙන්නේ නිවන ය. ඇතැම්හු මෙය තේරුම් නො ගෙන නිවනෙහි විඤ්ඤාණයක් ඇත ය කියා හෝ විඤ්ඤාණය ම නිවන ය කියා හෝ වරදවා ගනිති. එය බුද්ධ මතයට විරුද්ධ බව දෙ වන ගාථාවේ “එත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති” යනුවෙන් හොඳට ම පැහැදිලිය. සිත නම් නාමයෙකි. නාම රූප දෙක ම ඉතිරි නොව ම නිරුද්ධ වන තැන යයි දැක්වුණ නිවනෙහි තවත් විඤ්ඤාණයක් කොයින් ඉතිරි වේ ද? දුඃඛයෙන් අමිශ්‍ර‍ වූ ශුද්ධ විඤ්ඤාණය ම නිවනය යි කියත හොත් සතර වන පරමාර්ථය නැති වී පරමාර්ථ තුනක් පමණක් වීමෙන් ධර්ම විරෝධයක් වන්නේ ය. එබැවින් එසේ ගැනීම ද නො මැනවි.

මෙහි චිත්තය කියැවෙන විඤ්ඤාණ පදය “විජානාතීති විඤ්ඤාණං” යි කර්තෘ සාධන වශයෙන් ද “විජානාති එතෙනාති විඤ්ඤාණං” යි කරණ සාධන වශයෙන් ද, “විජානනං විඤ්ඤාණං” යි භාව සාධන වශයෙන් ද විග්‍ර‍හ කරනු ලැබේ. නිර්වාණය කියැවෙන විඤ්ඤාණ යන්න “විජානිතබ්බන්ති විඤ්ඤාණං” යි කර්ම සාධන වශයෙන් විග්‍ර‍හ කළ යුතුය. එහි යු ප්‍ර‍ත්‍යය කර්මාර්ථයෙහි ය. පාන භෝජන යනාදි වචනයන්හි මෙනි.

පළමුවන ගයෙහි “අනිදස්සනං” යනුවෙන් නිර්වාණ ධාතුව ඇසට නොපෙනෙන බව දක්වන ලදී. ඇසට නො පෙනෙන නමුත් එය ඤාණයෙන් දැකිය හැකි බව “විඤ්ඤාණං” යන වචනයෙන් දක්වන ලදී. “අනන්තං” යන වචනයෙන් නිර්වාණයා ගේ සර්වකාලිකත්වය හා සර්වව්‍යාපිකත්වය දක්වන ලදී. සංස්කාරයෝ වනාහි පෙර නො තිබී ඉපද ඉපද බිඳී යන්නෝ ය. එබැවින් ඒවාට පටන් ගැනීම වූ මුල් කොන ද ඇත්තේ ය. අවසාන වූ අන්තිම කොන ද ඇත්තේ ය. හාත්පස පරිච්ඡේදය වූ පරිච්ඡේදාන්තය ද ඇත්තේ ය. පරම්පරාවන් ගේ කෙළවර වූ සන්තත්‍යන්තය ද ඇත්තේ ය. “අසවල් කාලයෙන් පෙර නිවන නො පැවැත්තේය. එය ඇත්තේ අසවල් කාලයේ පටන්ය” යි දැක්වීමට නිවනට පටන් ගැනීම වූ පූර්වාන්තය ද නැත. එය කිසි කලෙක දිරා බිඳී අතුරුදහන් නොවන බැවින් එයට අවසාන කොන වූ අපරාන්තය ද නැත්තේය. යමක ඒ කොන් දෙක නො ලැබේ නම් එය සර්වකාලික ය. නිවනෙහි ඒ දෙක නො ලැබෙන බැවින් එය සර්වකාලික ය. සංස්කාරයන්ට පර්යන්ත පරිච්ඡේදයක් ඇත්තේ ය. හැම සංස්කාරයක් ම පවත්නේ තම තමාට අයත් වූ ඒ පර්යන්ත පරිච්ඡේදය තුළ ය. ඒ පරිච්ඡේදයෙන් ඔබ ඒවා නැත. නිවනට එබඳු පර්යන්ත පරිච්ඡේදයක් නැත. එබැවින් එය සැම තන්හි ම ඇතියකැ යි කීම යුතුය. නිවන ඇතත් එය ද්‍ර‍ව්‍යයක් නොවන බව හා එහි සටහනක් නො ලැබෙන බවද “එත්ථ දීඝඤ්ච රස්සඤ්ච අණුං ථූලං සුභාසුභං” යනුවෙන් දක්වන ලදී. කියන ලද දේශනයෙන් දැක්වෙන සැටියට නිවන ඇසට නො පෙනෙන නුවණට පමණක් ඇති බව දැනෙන සටහන් නැත්තා වූ හැම තන්හි ම ලැබෙන්නා වූ ඉපදීමක් බිඳීමක් නැත්තා වූ සර්වකාලික වූ දුරනුබෝධ සූක්ෂ්ම ධර්මයක් බව කිය යුතුය. එය ලෞකික ඤාණයට දැනෙන්නේ ද අනුමාන වශයෙනි.


දළදා පෙරහැර මංගල්‍යය….


හිතුනා මා දැනගත්දේ මෙලෙස ඔබ දැනුවත් කරන්න…. 

ඇසල පෙරහැර සංකේතවත් වන්නේ වර්ෂාවට….. වර්ෂාව කරන ආරාධනාවක්…. එ පිළිබදව ඔබ දැන සිටියාද?….. පෙරහැර ආරමිභයේ සිට අවසානය දක්වා එහි ඇතුලත් සියල්ලම සංකේතවත් වන්නේ වර්ෂාවට….. දිය කැපිමෙි මංගල්‍යයේ සිට නැකැත් චාරිත්‍රානුකූලව සිදුවෙන සියල්ල එසෙයි….. 

පෙර සිට සිංහල බෞද්ධයන් විස්වාස කරන දෙයක් තමයි දළදා වහන්සෙට වැස්ස වස්සන්න පුළුවන් කියන එක….. එ බව සනාථ කරමින් පෙරහැර ආරම්භයෙදිම වැස්ස පටන් ගන්නවා…..  

මං මට ලියන්න තෙරෙන විදිහට මෙහෙම ලියන්නමි….. දළදා පෙරහැර ඇතුලත් සියළු අංගයන්ගෙන් වර්ෂාව සංකේතවත් වන බවයි දැනගන්නට ලැබුණේ….. වර්ෂාවක් ඇතිවන්නට ⁣ප්‍රථම අවට පරිසරයේ ඇති වෙන වෙනස්වීමි දිහා බලන්න…. අහස ගොරවනවා අකුණු විදුලි කොටනවා වැහි ළිහිනියන් පියාබනවා අහසේ කළු වළාකුල් පිරිලා යනවා… හුළං හමනවා ….. එ වගේම වැහි බිංදු එකින් එක පොළොවට පතිතවෙන්න පටන් ගන්නවා….. 

දැන් පෙරහැර දෙසට හැරෙමු…..

දළදා පෙරහැරෙන් වර්ෂව සංකේතවත් වන්නේ මෙි හින්දයි…. වර්ෂාවක් ලං වෙද්දිම අපිට ඇහෙනවා ගොරවනවා අකුණු විදුලි කොටනවා…. ඉතිං එ සිදුවිමි සංකේතවත් වන්නයි පෙරහැර ආරමිභයේම කස හඬ වගේම ගිණි කැරකවිම පන්දන් එළි වලින් පෙන්නුමි කරන්නේ… හරියට වැස්සක් ලග එන බව ගොරවන හඬින් අපි දැනගන්නාවා වගේයි කස පුපුරණ හඬින් පෙරහැර ලග එන බව දැනගන්නේ…. එ වගේමයි…. නයිඅඩි නටන ⁣උඩරට නැටුමි සමිප්‍රදායට අයත් අපේ නර්ථන සමිප්‍රදායේ අභිමානය වන වෙස් නැටිටුවාගේ නර්තනයේ සිටන් සෑම නර්තනයකින්ම පෙන්නුමි කරන්නේ වර්ෂාව…. (වර්ෂාව ලග එන විට සුළග වෙිගවත් එ වෙිගයට නටන ගස් කොලන් ).. එ වගේමයි අහසේ කළු වැහි වළාකුළු සංකේතවත් කරන්න තමයි පෙරහැරට අලි ඇතුන් ඇතුලත් කරගන්නේ…. එක ඇතෙක් නොවෙයි අලි ඇතුන් සියයක් පමණ යොදාගත් අවස්ථාවන් තියනවානේ…. එ කළු වැහි වළාකුළු සංකේතවත් කරන්න.. එක වළාකුලකින් වැස්ස වැටෙන්නේ නැ ….. වැහි වලාකුළු ගොඩක් එකතුවෙලා අකුණු විදුලි කෙටෙලා හෙණ පුපුරලා හුලං හමලා තමයි වැස්ස ඇද හැලෙන්නේ…. ඉතිං පෙරහැරත් එ වගේමයි… එ සියල්ලම සංකේතවත් වෙනවා…. 

වළාකුල් ගොඩක් එකට එකතුවෙලා ජලවාශ්ප එකතු කරගෙන සිහින් සිරිපොද පොළොවෙට පතිත⁣ වෙන්නේ හරියට එ වැහි බිදු වළාකුල් අතර හිරවෙලා තියනවා වගේ.. ඉතිං එ හිරවෙලා තියන වළාකුළු දෙකට කපන්න ඔින වතුර පොළොවට වැටෙන්න… ඉතිං ⁣මහා පොළොවෙි ඉන්න මිනිසාට හැකියාවක් නෑ ඉහල අහසේ වළාකුල් දෙකට කපන්න…. අන්න එක සංකේතවත් කරන්න තමයි පෙරහැර අවසානයේ දියකැපිමෙි මංගල්‍යය සිදු කරන්නේ….. එ වගේමයි ඉතිං පෙරහැර පටන්ගත්තා වගේමයි අවසන් වන විටත් කන්ද උඩරටට නමි හොදටම වහිනවා….. 

තව දෙයක් කියන්න ඔින දළදා වහන්සේ සංකේතවත් වෙන්න තමයි දළදා කරඩුව වෙනුවට පෙරහැර කරඩුව පෙරහැරේ වඩමිමන්නේ… කවදාවත් දළදා වහන්සේ පෙරහැරේ වඩමිමන්නේ නෑ… එ වගේමයි දියවඩන නිලමෙි තුමා ගැනත් කියන්න ඔින… දිය කැපිමෙි මංගල්‍යයට පුමුඛම කෙනා එ…. රටෙි රජතුමා සංකේතවත් කරන්නයි දියවඩන නිලමෙි තුමා පෙරහැරට එකතු වෙන්නේ….. 

ඉතිං තව නෙදෙන්න කොයිතරමි දේවල් තියනවාද… මෙච්චර දවස් පෙරහැරේ විසිතුරු දිහා පමණක් බලන් සිටි අයට මෙි විස්තර වැදගත් වෙයි කියලා හිතෙනවා…. තව ගොඩක් දෙවල් එතුමා පැවසූවා… නමුත් මට මතක නැනේ 😁….. මට මෙි දෙවල් එතුමාගෙන් දැනගන්න ලැබුණේ අහමිබෙන්…. 

ඉතිං ඔයාලා හැමොටම දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏 

මම 


නිසංසලා රණසිංහ

ගැහැණු තව දුර‍ටත් හුරතල් වෙන්න ඕනේ නැහැ


පුංචි දේටත් ඇස් රතු කරගෙන අඬන, බෝනික්කි පැටව් තුරුල් කරගෙන නිදාගන්න, සුන්දර ගැහැණු ළමයින්ම කවියෝ උපමා කරන්නෙ ලස්සනම ලස්සන මල් වලට,එහෙම නැත්තම් පුංචි සුරංගනාවියන්ට.

පුංචි කාලෙ කොහෙන්දෝ ඔලුවට ආපු ඒ සුරංගනා හැඟීම, ළමා විය ඉක්මවා හිරිමල් අවධියට පය ගැහුවට පස්සේ උනත් ගෑණු හිත් වලින් තුරන් වෙනවා අඩුයි.

සැබෑ ජීවිතේ ඉෂ්ට කරගන්න පුළුවන් උනත් බැරි උනත් හැම කෙල්ලෙක්ම හැම දුවෙක්ම, හැම ගැහැණු ළමයෙක්ම සිහිනයකහරි සුරංගනාවියක් වෙලානම් තියනවා.

ඒ වගේම ජීවිතේ පුරාවටම සුරංගනාවියක් වගේ සුන්දරව ජීවත් වෙන්න හීන මවාගෙන ඒ හීනවලම ජීවත්වෙන අයත් ඉන්නවා.

හැබැයි ඇසූ දුටු බහුතරයක් කථාවල හිටපු කුමරයෝ, එක එක විදිහේ සුන්දර, අති සුන්දර

සුරංගනා ලෝක මවා පෙන්නුවට, ඒ සුරංගනා වියෝ කැන්දන් යන්න, අශ්වයෝ පිටින්  ඇවිත් තිබුනේ නම් නැහැ.

ඒ නිසා ඒ කාලෙ කෙසේ වෙතත්, වර්තමානයේ නම් ගැහැණු ළමයි, එල්සා, සින්ඩරෙල්ලලා, රපන්සල් නෙමෙයි, ඒ කිසිම විදිහේ ලඳ බොළඳ සුකුමාල, ලේසියෙන් අහුවෙන සුරංගනාවියක්‌ නම් විය යුතු නැහැ.

 ගැහැණු විදිහට හෝ ගැහැණු ළමයින්ගේ දෙමව්පියෝ විදිහට අපි අපේ කෙල්ලෝ ඕනවට වඩා බොළඳ කුමාරිකාවෝ කරන්න හිතන්නවත් හොඳ නෑ .

මගේ දියණිය පමණක් නොව හෙට පිබිදෙන්න ඉන්න කිසිම දියණියක් සුරංගනාවියක් වෙන්න හීන දැකිය යුතු නැහැ.කාගෙ  හෝ රැජිනක් වීමට එහා ගිය, ස්වාදීන,නිවහල්, නිදහස්, සිහින ලෝක පසුපස අපේ දූවරු සිය ගමන බුද්ධියෙන් යුතුව ආරම්භ  කල යුතුය.

අතීතයේ රුව ඇති දුවයි කට ඇති පුතයි කිව්වට, අද රුව කෙසේවෙතත් කට නැතුව නම් ගැහැණුන්ට ගෞරවණීය ලෙස සමාජ ගත වීම නම් ලේසි වැඩක් නෙමෙයි.

බස් එකේදී, ඔෆිස් එකේදී, සමාජයේදී,අපිට පය ගහන්න වෙලා තියෙන්නේ අවිහිංසක, සුකුමාල, අති සුන්දර සමාජ වටපිටාවක  නෙමෙයි,

ලොව වැඩිම ස්ත්‍රී දුෂණ සහිත රටක, ලොව වැඩිම කාන්තා හිංසනයයන්ගෙන් ගෘහස්ථ හිංසනයනගෙන් පිරුණු සමාජ වටපිටාවක,කාන්තාවක වීමට නම් රුව ඇතුව හෝ නැතුව උවද “කට “නම් තිබිය යුතුමය.

මොන තරම් උගත් වුවත්,මොන තරම් බුද්ධිමත් වුවත්, මොන තරමේ දාර්ශනික චරිතයක් වුවත්, ප්‍රේමය ඉදිරියේ, ආදරණීය වචන ඉදිරියේ, සුන්දර හීන වැල් ඉදිරියේ,බොහෝවිට කාන්තාවන්ගේ හැඟීම්වල සීමාව බුද්ධියේ සීමාවට වඩා බොහෝ ඉදිරියෙන් ක්‍රියාත්මක වෙනවා.

අනේ මැණික, මගෙ පණ කියපු ගමන් හැඳි වත උනා ජීවිතේ වටිනාකම රුපියල් දාහට දෙදහට තැන් තැන්වල දිය වුන කථා නම් කී දාහක්ද?

එකම වරද දෙතුන් සැරයක් කරලත් මට්ටු නොවී ආයෙත් වරක් ඒකටම රැවටෙන බොහො ගැහැණු නූගත්, සමාජ ආශ්‍රයක් නැති අයම පමණක් නොවේ.

එනිසා, වගේ පවතින සමාජයේ කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් විදිහේ දූවරුයි අපට අවශ්‍ය.

ජීවිතේ සෑම අවස්ථාවකම පුර්ණ සත්‍යවාදී වීම,100%  අවංක වීම, අසාමාන්‍ය කැපවීම, ප්‍රේමය අති උත්තරීතර බව දිවි නොතකා රැක ගැනීම ඉතා හොඳ ගුණයන් වූවාට, වර්තමාන සමාජ හැඩටට සමගාමිව බලන විට මේ කරුණු වලට කලින් තවත් බොහෝ කරණු දූවරු න්ගේ මනසේ තැන්පත් කල යුතුව ඇත.

ප්‍රේමය උත්තම ලෙස හිස මුදුනේ තබා ගෙන පුද පුජා කරන සදාතනික ප්‍රේමවන්තයෝ බෙහෙතකටවත් මේ කාලේ නැත ,හිටියත් ඔබට එවැනි අයෙකු හමුවේ දැයි නිශ්චිත කල නොහැක , ඒ නිසා පණ නොතකා පිරිමියෙක් වෙනුවෙන් කැප වීමට ඔබ හදිස්සි විය යුතු නැත. මගදී අතහරින , රිද්දවල සතුටුවෙන ප්‍රේම කතා ඉදිරියේ කඳුළු නොසලා සමුදීමට තරම් ඔබ ශක්තිමත් විය යුතුය.

කිසි දෙයක් ස්ථිර නැති ලෝකේ ස්ථිර ආදරේ හොයා හොයා දඟලනාවට වඩා සතුටෙන් සිටීමට තව ඕනෑ තරම් දේවල් තියන බව ගැහැණු ඔබට ඉගනගන්නට ඇත.

කිසිවෙකුටත් කලින් තමාට ආදරේ කිරීමටත් හදවත අඩුවෙන් පාවිච්චි කරලා බුද්ධිය වැඩිපුර පාවිච්චි කරන්නටත් ඔබ ප්‍රැක්ටිස් කල යුතුය .

princess ලගේ කතාවල් වල වගේ ඇත්ත ජීවිතේ සියල්ල අතට පයට හම්බෙලා ලස්සන ඇඳුම් ආයිත්තම් වලින් සැරසිලා ජීවිතේ පුරාවටම ඉන්න ලැබෙන්නේ නැත , දෙමව්පියන්  ඔබ වෙනුවෙන් යමක් එකතු කරලා දුන්නත් නැතත්,නුඹ වෙනුවෙන් මන්දිර , යාන වාහන නුඹම උපයා ගත යුතුය , දාසියක ලෙස අනුන්ගේ මැදුරක ඔබ ලැගුම් ගත යුතු නැත.

princess ලට වගේ නුඹට හැමදාම හිනාවෙන්නටම නොහැක .සියලු වේදනා  කඳු වල ගුලිකර හැර , පර්වතයක් වගේ වේදනා දරන්නට ඔබ ඉගන ගත යුතුය .

රජ මදුරු වල වගේ කඳුළු පිසීමට පරිවාරයෝ නුඹේ ජීවිතයේ නැත ,ඒ වෙනුවට හිතවත්, අහිතවත්  සියල්ලෝ කටු වලින් අනිමින් මග හරස් කරමින් , බොරු වලවල් කපන පිරිසකට ඔබ මුහුණ දිය යුතුය .ඉතින් නුඹ පුර්ණ සත්‍යවාදී විය යුතුද නැත .තැනේ හැටියට ඇනේ ගැසීමේ කළාව ගැහැණු ඔබ හොඳින්ම ප්‍රගුණ කල යුතුව ඇත .

සුන්දර සිහින ලෝකවල හැම කතාවෙම අවසානේ වගේ ඔබේ කතාව අවසානයේ  Live happily ever after, ලෙස නොවිය හැකිය .

එනිසා ජීවිතය පුරාවට ඔබ සමග කව්රු හිටියත් කවුරු නොසිටියත් ”Everything goes on with you or without you ” ක්‍රමවේදයට හැම ගැහැණු ළමයෙක්ම හුරුවිය යුතුය.

තනිවෙන, විඳවන, දුක්වෙන ගැහැණු ඒ තත්වයට පත් වූ හැටි අසා දුක් වෙනවා වෙනුවට, ඔබ‍ ඒ තත්වයට පත් නොවන්නේ කෙසේද කියා ඉගනගත් දාට, ගැහැණු දුර්වලයි, ගැහැණු බොළඳයි, ගැහැණුන්ගේ නුවණ හැඳි මිටයි කියපු සියල්ලන්ටම කථා කිරීමට අළුත් මාතෘකාවක් සොයා ගන්නට වේවී.

අන්න ඒ දවස හැකි ඉක්මනින් උදා කරලීමට නම්, ගැහැණු අපි සහ අපෙන් පසු පරපුර, තව දුරටත් බොළඳ නොවිය යුතුය,ජීවිතයේ එකම අරමුණ ප්‍රේමය යයි සිතා ප්‍රේමය ඉදිරියේ ජීවිත පරිත්‍යාග කරන්නන් නොවිය යුතුය, යපෙන්නෙක් නොවිය යුතුය, කශේරුකාවක් ඇති, තමා වෙනුවෙන් කවුරු හිටියත් නොහිටියත් තනියම ජීවිත ගමන යා හැකි, වචන ඉදිරියේ නොරැවටෙන, හැඟීම් පසෙකලා බුද්ධිය මෙහෙයවිය හැකි 

“වතුර උතුරන තරමටම හයිය වෙන බිත්තර” වගේ ගැහැණු විය යුතුය.


අනීෂා ජයකොඩි

ජීවන කුසළතා හා පෞරුෂ වර්ධන උපදේශිකා

කළු කුහරයක ප්‍රථම ඡායාරූපය


2019 වර්ෂය තාරකා විද්‍යාවේ අපූරු සන්ධිස්ථානයක් සනිටුහන් කරන වර්ෂයක්. ඒ තමයි, කළු කුහකරයක ප්‍රථම දුරේක්ෂය ඡායාරූප (telescopic photograph) ලබා ගැනීමට හැකි වීම.

ඇත්ත වශයෙන්ම, කළු කුහර ගැන ඕනෑතරම් විස්තර අපි අහල තිබුනත් කිසි දවසක කළු කුහරයක් මොන වගේද කියා අපි හරියටම දැනගෙන සිටියේ නැහැ මොකද කිසි දවසක කළු කුහරයක ස්වභාවය පෙන්නුම් කරන ඡායාරූපයක් ලබාගෙන තිබුනේ නැහැ. මෙහෙම ඡායාරුපයක් නොතිබෙන්න හේතුව බොහොම සරළයි. කළු කුහරයක් කියන්නේ ආලෝකය පවා තමන් තුලට උරාගෙන ආලෝකයටවත් ගැලවී යන්නට ඉඩ නොදෙන වස්තුවක්. අපිට ඕනෙම වස්තුවක් ඡායාරූපගත කරන්න නම් එම වස්තුවේ සිට ආලෝක කදම්බයක් කැමරාව වෙතට එන්න ඕනේ. අපිට කට්ට කළුවර තියන රාත්‍රියක අඳුරේ ඡායාරූප ගත්තට කවුරුවත් පෙන්නේ නැත්තේ එකයි. (දැන් අහන්න එපා night vision කැමරාවලින් ගන්න පුළුවන් නේද කියල. Night vision කැමරාවක් වැඩ කරන්නත් ආලෝකය අවශ්‍යයි. හැබැයි ඒ ආලෝකය අපේ පියවි ඇසට පෙනෙන ආලෝකය නෙමෙයි.)

එතකොට කොහොමද ආලෝකයටවත් ගැලවෙන්නට නොදෙන අති විශාලය ගුරුත්වයක් තියෙන කළු කුහරයක් ඡායාරූපගත කලේ? මෙතැනදී ඇත්තටම කරලා තියෙන්නේ කළු කුහරය ඡායාරූපගත කිරීම නෙමෙයි. කළු කුහරයේ පිටත සීමාව ඡායාරූපගත කිරීම. ඕනම වස්තුවක පිටත සිමාව හඳුනාගත්තා කියන්නේ එම වස්තුවේ හැඩය දැනගත්තා කියන දෙයමනේ. අන්න එහෙමයි කළු කුහරයේ හැඩයත් අපි මේ පින්තුරයෙන් හඳුනාගන්නේ.

කළු කුහරයේ සීමාව හඳුන්වන්නේ event horizon කියල. මේ සිමාව තමයි ආලෝකයට ගැලවී යන්න අවසරය තියෙන අවසාන සිමාව. මෙතනින් එහාට ආලෝකයට වත් ගැලවී යන්න බැහැ, ඒ කියන්නේ, කළු කුහරයේ ආරම්භය. කළු කුහරය ඡායාරූපගත කරපු කැමරා වලට Event Horizon Telescope (EHT)කියල නම තියල තියෙන්නේ මෙන්න මේ event horizon එක ඡායාරූපගත කරපු නිසයි.

මේ ලබා ගත්ත පින්තුරයත් අපි ගන්න පින්තුර වගේ එකවර කැමරාවේ සටහන් වුන පින්තුරයක් නෙමෙයි. පෘථිවියේ ස්ථාන 8 ක සවිකර තිබු EHT දුරේක්ෂ 8 කින් ලබාගත් අති විශාල දත්ත සම්භාරයක් සුපිරි පරිගණක ජාලයක් හරහා ප්‍රතිනිර්මාණය කිරීම මගින් නිර්මාණය කරන ලද ඡායාරූපයක්.


ඔබේ ආරක්ෂාව වෙනුවෙන්


මේ ගෙවීයන කාලය ලෝකයේ බොහෝ රටවල මිනිසුන්ට බොහෝ පීඩාකාරී බව සියලු දෙනා දන්නා කාරනාවක් ,ඒ අතරිනුත් දියුණු වෙමින් පවතින රටක් වගේම අඩු පහසුකම් සහිත රටක් නිසාත් ලංකාවේ ජීවත් වෙන අපිට මේක බොහෝ පීඩනයක් සහිත මෙන්ම තීරණාත්මක කාලයක් .

කෙසේවෙතත් මේ කාලය තම තමන් ඉතාමත් වගකීම් සහගත ලෙස මෙන්ම බුද්ධිමත්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහිත කාලයක් ,

තමන් මෙන්ම තම ආදරණීයයන්ගේ ජීවිත ආරක්ෂාව සදහා තම යුතුකම සහ වගකීම ඇත්තේ තමන් සතුව බව ඔබ තේරුම් ගන්නේනම්, ඔබට ස්වයං විනයක් සාදාගතහැකිනම්,තවත් පාර්ෂවයක් අපව නීතිවලින් නතර කර තබනතුරු සිටීමට අවශ්‍ය නැති වනුඇති.

මන්ද ,

දැන් රටතුළ පවතින තත්වය මත ඔබට ඔබේ ආරක්ෂාව ගැන වැඩි වගකීමක් ගැනීමට අවශ්‍යයි.

එලෙසම ඔබට ලැබෙන පළමුඅවස්ථාවේදීම කොවිඩ් මර්ධන එන්නත ළබාගැනීමත් ඉතාමත් වැදගත් , 

එහෙත් එය පමණක් ප්‍රමාණවත් යැයි සිතන්න එපා ,

ඔබ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තත් කොවිඩ් රෝගය සෑදෙන්නට හැකියි.

එන්නත් ළබාගත්තත් ශරීරයේ ප්‍රතිශක්තිය නියම ප්‍රමාණයට ගොඩනැගුණු නැති  නිසා හෝ එම ප්‍රතිදේහ ක්‍රියා නොකරන වෙනත් කොවිඩ් ප්‍රභේදයක් ශරීර ගත වීම නිසා ඔබ ආසාධිතයෙක් විය හැකී.

ඔබ කොවිඩ් රෝගය සෑදුණු  අයෙකුට වුවද මේ හේතුව නිසාම නැවත කොවිඩ් ආසාදනය විය හැක.

තමන්ගේ ශරීරයේ අවශ්‍ය පමණ කොවිඩ් ප්‍රතිදේහ තිබෙනවාද කියා මැන බලන රුධිර පරීක්ෂණයක් පුද්ගලික රෝහලක හෝ තෝරාගත් අයට රජයේ රෝහල් වලදිත් සිදුකර ගත හැක.

Covid IgG Antibody test  යනු එම පරීක්ෂණයයි. මෙය ඕනෑම කෙනෙකුට සිදු කර ගත හැක.

කොවිඩ් රෝගය සෑදුනු අය, පූර්ණ එන්නත් කරණයට ලක්වූ අය, පලමු මාත්‍රාව ලබා දෙවෙනි  මාත්‍රාව පමා වූඅය, මෙන්ම තමන් නොදැනීම කොවිඩ් සෑදී සුව වුණාද බලා ගන්නත්  කැමැති ඕනෑම කෙනෙකුට මෙම පරීක්ෂාව සිදුකර ගත හැක.

ඔබට දැනට ඇති විශ්වාස නීයම දෙයනම් එන්නත් ලබාගැනීම වන අතර එයින් ශරීරයේ  ඇතිවන  ප්‍රතිදේහ  නිර්මාණය මගින්  ආරක්ෂාව අතින්  ඔබ බොහෝ සුරක්ෂිතය. 

 තවද , පූර්ණ එන්නත් කරනයට ලක්වූ බහුතරයකට පූර්ණ ආරක්ෂාව ලැබෙන අතර , 

තවත් සුලු පිරිසකට වයස,ඔබට ඇති නිධන්ගත රෝගී ත්ත්වයන්, මත මෙම ප්‍රතිදේහ නිර්මාණය වෙනස්විය හැකියි  මෙන්ම 

විවිධ එන්නත්වල ඵලදායිතාව හා සාර්ථක භාවය වෙනස් වීමද මෙයට යම් ආකාරයක බලපෑමක් ඇත.

සෞඛ්‍ය නීති රීති නිසිලෙස  පිළිනොපැදීමත්  මෙසේ ආසාධිත වීමට ඇති  ප්‍රධානම කාරණයක්  විය හැකිය. එම නිසා කලින් කොවිඩ් සෑදී තිබුනත්, පූර්ණ එන්නත් කරණය ලබා තිබුනත්,  සෞඛ්‍ය  නීති රීති  නිසිලෙස පිළිපැදීම තමන් ආසාධිත නොවී සිටීමට සේම තමන් නිසා තවත් අයෙකු ආසාධිත නොවීමට ඉතාමත් වැදගත් .

එසේ නැතිනම් ඔබට කොරෝනා නව ප්‍රභේදයක් සෑදීමට ඉඩ තිබෙනවා සේම එන්නත් ලබා සිටියත් එන්නත් ලබා නැති අනෙක් අය ඔබ නිසා ආසාධිත විය හැක.

පූර්ණ එන්නත් කරණය ලබා සිටින අයට හෝ කලින් කොවිඩ් සෑදී  නැවත රෝගය සෑදුන අයගේ රෝග තත්වය භයානක වීමත්, අසාධ්‍ය වීමත් අඩුවන අතර දැඩි සත්කාර ඒකක වලට ඇතුලු කිරීමේ අවශ්‍ය තාවයද අඩුබව වෛද්‍යවරුන් පවසයි

එම නිසා එන්නත් කරණයත් සෞඛ්‍ය නීති රීති නිසිලෙස  පිළිපැදීමත්  අපසතු වගකීමක් බව නිතරම මතක තබාගන්න,ඔබට ලැබෙන පලමු අවස්ථාවේදීම කොවිඩ් මර්ධන එනන්ත ලබාගෙන ඔබේ මෙන්ම අන් අයගේත් ජීවිත අවදානමෙන් මිදීම සදහා වගකීමෙන් කටයුතු කරන්න


නිශා