කවුළුවෙන් එහා – කෙටිකතාව.   

මහන්සියටම මම ඇඳෙන් වාඩි වුනා. තාමත් අස් කරලා නැති බඩු පෙට්ටි දකිනකොට මගේ හිතේ මහන්සිය දෙගුණ තෙගුණ වෙනවා. ඒත්, මේ හැමදේම හෙටට කල් දාන්න බෑ. එතකොට දවසින් දවස කල් යනවා. සිය දහස් වෙනි වතාවටත් අස් කරන්න තියෙන ඇඳුම් බෑග් දකිනකොට මට තනියම හීල්ලුනා. මේ දුක් කන්දරාව තව කී දවසක් නම් විදින්නද? ඒත් කොළඹ පරිසරයෙන් ඈත් වෙලා මම ත්‍රිකුණාමලයට ආවේ හිත හදාගන්න නෙවෙයිද කියන ප්‍රශ්නේ මම මගෙන්ම අහුවා..උත්තරයක් නෑ. ඒ වෙනුවට මම ආයෙත් හැඩි වෙලා තියෙන කාමරේ අස් කරන්න ගත්තා. ඇත්තටම හැඩිවෙලා තියෙන්නෙ මගෙ හිතද මගේ අළුත් නවාතැනද? ඒ ප්‍රශ්නය මගේ හ්ෘද සාක්ෂිය මගෙන් අහද්දි මම ආයෙමත් ගොළු වුනා.   

පැය පහ හයකට පස්සේ මම මගේ අළුත් නවාතැන සම්පූර්ණයෙන්ම අස් කරලා අහවර කලා. හිතට දැනෙන නිදහස යටින් මගේ ගෙවුනු අතීතයේ දුක අළුත් වෙනවා. මම දන්නවා හරි ලේසියෙන් ඒ දුක අමතක කරන්න බැරි බව. ඒත් ඒක කොහොමහරි කරන්නම වෙනවා. නැත්නම් මම දන්නවා මගේ ජීවිතේ හොඳම කාලේ මට නැත්තටම නැති වෙන බව.  

‘මහත්තයා අළුත් ගෙදරට කැමතිද? දොස්තර මහත්තයා කිව්වේ මුහුද විතරක් පේන්න තියෙන තැනක් හොයලා දෙන්න කියලා..  

‘අහ්..ඔව්.ඔව් පියදාස. මම හරි කැමතියි… 

‘කවදා ඉදන්ද මහත්තයා ඉස්කෝලේ වැඩට යන්නේ ඉතින්?  

‘ලබන සතියේ ඉදන් පියදාස..   

‘ඒක හොඳයි. මෙහේ ඉන්නෙ ගොඩාක් දෙමළ මිනිස්සු තමයි. හැබැයි හරි හොඳයි. තිරිකුණාමලේ ලොකු ඉස්කෝලේ පත්වීම් ලැබෙන නිසා මහත්තයාට දුරක් ඇවිදින්න ඕන වෙන්නෙ නෑ..   

‘හ්ම්ම්….  

පියදාසට මම උත්තර දුන්නෙ හරිම කෙටියෙන්. ඇත්තටම මට පියදාස ඉන්න එක හරි වදයක් බව මම හැසිරීමෙන් ඇඟෙව්වා. මට උවමනා වුනා තනි වෙන්න. සඳහටම කොළඹ කියන නඟරය හිතෙන් මකලා දාන්න. මම මුහුඳු හුළං විදගන්නත් එක්ක බැල්කනියට ආවා. බැහැගෙන යන ඉර අව්වත් එක්ක ත්‍රිකුණාමලේ මුහුදේ අමුතුම සුන්දරත්වයක් මම දැක්කා. ඒ තරම් ලස්සනට ඉර බැහැගෙන යනවා මම කොළඹඳි කවදාවත් දැකලා නෑ. ඒ නිසාම මම එතනම තිබුනු හාන්සි පුටුවේ වාඩි වුනා. මුහුඳු හුළං වදිනකොට තියෙන සනීපෙට මම යන්තමින් ඇස් දෙක පියාගත්තා.   

‘හසිත… මට සමාවෙන්න.. මට බෑ ඔයා එක්ක ඇවිත් දුක් විදින්න. බලන්න අපි දෙගොල්ලොම එකම පන්තියෙ. එකම දුක විදින්නේ.. මට සමාවෙන්න හසිත. අපි අතරේ සිද්ද වුනු හැමදෙයක්ම එහෙමම අමතක කරන්න. මට වෙනුරව බැදලා රටින් යන්න දෙන්න. ඔයා ඇත්තටම මට ආදරේ කලා නම් මාව අමතක කරන්න හසිත. මට බෑ හිඟන ගුරුවරයෙක් එක්ක මේ තට්ටු ගෙවල් වල ඉන්න’

මම තවත් ඇස් දෙක තද කරගත්තා. මේ වචන ඇහෙන්නෙ අතීතයෙන්. අතීතෙන් කිව්වට හරියටම මාසෙකට කලින්. ඒ විදියට වචන වලින් මගේ පපුවට පිහියෙන් ඇන්නේ මම අවුරුදු හතක් පිස්සුවෙන් වගේ ආදරේ කරපු පූර්වි.ගෙවුනු මාසයක් පුරාවට මගේ ඇස් කඳුලු වලින් පිරුනේ නැති දවසක් නැති තරම්. ඒ තරමට ඒ වෙන්වීම මගේ හිත රිද්දුවා. කමක් නෑ පූර්වි..මේ හිඟන ඉස්කෝලේ ගුරුවරයා කොහොමහරි නැගිටිනවා කියලා හිත හදාගෙන ත්‍රිකුණාමලේට ආවත් තාමත් ඒ වචන මගේ කන් දෙක ඇතුලේ දෝංකාර දෙනවා.   

මම ඉපදුනේ කොළඹ. කොළඹ කිව්වට කුරුඳු වත්තේ නෙවෙයි. අමු ගෙන්දගම් පොළවේ. නාරාහේන්පිට මහල් නිවාස වල තිබුනු පුංචිම පුංචි තට්ටු ගෙදරක මම බාලයා විදියට ඉපදුනා. මට හිටියේ අයියා විතරයි. අයියා ඉගෙන ගන්න දක්ෂයි. ඒනිසාම අයියා ශිෂ්‍යත්වෙන් කොළඹ රෝයල් එකට ඇතුලත් වුනත් මම උසස්පෙළ වෙනකම්ම ඉගෙන ගත්තේ බොරැල්ලෙ තිබුනු පුංචි ඉස්කෝලෙක. මට ඉගෙන ගන්න උවමනා වුනත් අයියා වගේ තරඟකාරී කෙනෙක් වෙන්න උවමනාවක් නොතිබුනු නිසා වෙන්න ඇති අයියා දොස්තර කෙනෙක් වෙලා මම රජයේ ඉස්කෝලෙක ගුරුවරයෙක් වුනේ. අයියා දොස්තර කෙනෙක් වෙලා එයාගේ තත්වෙටම ගැලපෙන කෙනෙක් එක්ක විවාහ වුනා. එයා නෝනාගෙ කීමට සෑහෙන්න වෙනස් වුනා. මේ අතරෙදි අවුරුදු ගානක් බයිසිකලේ පාඟලා ලියුම් බෙදපු තාත්තා එකපාරම හ්ෘද්‍යාබාධයක් හැඳිලා නිදි ඇඳේදිම අපිව දාලා ගියා. එදා ඉදන් මමයි අම්මයි තනි වුනා. මහා ලොකු සල්ලියක් නැත්තත් අපි දෙන්නා අපේ පාඩුවේ කාටවත් අත නොපා ජීවත් වුනා. මගේ හිතේ තිබුනේ එකම එක ඉලක්කයයි. ඒ තමයි අම්මවත් බලාගෙන පාඩුවේ ජීවත් වෙන්න. ඉරෝමි නිසා අයියාගෙ වෙනස් වීම හින්දම මම මගේ හඳවතේ ආදරය කියන වචනය තහනම් වචනයක් කරලයි තිබුනේ.  

මේ හැම ප්‍රතිපත්තියක්ම බිඳුනේ එකම එක රූපයක් අපේ මහල් නිවාස සංකීර්ණයේ දැකපු දවසෙයි. අපේ පුංචි ගෙදර ඉස්සරහින් තියෙන අනිත් බිල්ඩින් එකෙන් එකපාරම මතු වුනු ඒ රූපය මාව එදා සෑහෙන්න තිගැස්සුවා. ඊටපස්සෙ නිතර නිතරම මම ඒ රූපේ හොයන්න ගත්තා. ඒ රූපේ අයිතිකාරි තමයි පූර්වි. එදා මම ඒ රූපේ කොයිතරම් නම් රසවින්දද? ඒත් අද වෙද්දි මම ප්‍රාර්ථනා කරන්නේ ඒ රූපේ ආයෙත් කිසිම ආත්මෙකදි මගේ ඇස් ඉස්සරහට මුණගැහෙන්නවත්, ඇය ඉපදෙන රටක මම උපදින්නටවත් එපා කියායි.   

මගේ ඇස් පූර්විට දැනෙන්නට හොයන්න ගත්තේ ඇය කවුද වග දැනගත් දවසෙමයි. විශ්වාස කරන්න පුලුවන්ද ඇය කොළඹට අළුත්. මම උගන්වන පාසලේ අලුත්ම විද්‍යා ගුරුවරියන්ගෙන් කෙනෙක් තමයි පූර්වි. ගමෙන් කොළඹ ආව පූර්වි තට්ටු නිවාසෙ නතර වෙන්නෙ නැන්දා නිසායි. මේ හැමදෙයක්ම පූර්වි අපේ ඉස්කෝලෙට ආව දවසෙම මම දැනගත්තේ ඒ තරමටම මම ඒ රූපයට ආදරේ කරපු නිසයි.   

හැමදාම උදේට එකට බස් එකට නගින අපි දෙන්නා ආයෙත් ඉස්කෝලෙන් එකටම බස් එකේ නැගලා ගෙදර එන එක පුරුද්දක් වුනා. එහෙම ඇවිත් හවස් වරුව ඉස්කෝලේ වැඩ වලට වෙන කරලා රෑ වෙද්දි පුංචි බැල්කනියට එන්නේ මූණ දිහා බලාගෙන දුරකථනෙන් කතා කරන්න. ඒ කතාව අපිටත් නොදැනීම ආදර කතාවක් වුනා. රෑ නිදි මරාගෙන අපි කතා කලා. ආදරේ හෝඬිපොත මම මුලින්ම කියෙව්වෙ පූර්විගෙන්. දෙන්නම ගුරුවරු නිසා අපිට ගෙවල් වලින් කැමත්ත ලැබුනා. මම කුරුල්ලෙක් වගේ අවුරුදු හය හමාරක් ජීවිතේ වින්දා. විහාරමහා දේවි උද්‍යානය, ගෝල්ගෆේස් බංකු අපි දෙන්නගේ ආදර සැමරුම් තියෙන තැන්. ඒ තැන් වල නම් මතක් කරද්දිත් මගේ පපුව හිර වෙනවා වගෙයි.   

‘මහත්තයට තේ ගේන්නද? කොළඹ දොස්තර මහත්තයා කතා කලා දැන්. බෙහෙත් ටික වෙලාවට බොන්න කියන්න කීවා…   

‘හා.. පියදාස යන්න.. මට තේ එපා. ටිකක් පාඩුවෙ ඉන්න දෙන්න. මම මේ හිත හදාගන්න ආව ගමනක්. දෙවතාවක් මැරෙන්න ගිය මිනිහෙක්. අයියා තමයි මාව බේරුවේ.. එහෙම නොවෙන්න මම මැරුනු තැන් වල ගසුත් පැළවෙලා.  

හිතේ තිබුනු ආවේගය මම පියදාසගෙ පිටින් යැව්වේ ඒ විදියට. දුප්පත් මිනිහා පුදුමයෙන් වගේ මගේ දිහා බලන් ඉදලා යන්න ගියා. ඇත්තමයි මට ඇඬුනා. මම මගේ තාත්තගෙ වයසේ මිනිහට කෑගැහුවේ මොන තරම් සවුත්තු විදියටද? පූර්වි ගියෙ මගේ ජීවිතේම අපායක් කරලද? 

මම සෙරෙප්පු දෙකක් දාගෙන පියදාස හොයාගෙන ගියත් ඔහු පේන්න නොහිටි නිසා ආයෙත් කාමරේට ආවා. ඒත් එක්කම නාද වෙන දුරකථනය මම එහෙමම කනේ තියාගත්තා.   

‘මල්ලිට ඔහේ කොහොමද?’  

‘මෙහේ හොඳයි අයියේ. මම ආසයි…  

‘පියදාසට කෑගහන්න එපා. මිනිහාට ප්‍රෙශර් තියෙනවා. මල්ලි පූර්විව අමතක කරලා ජීවිතේ හදාගන්න බලන්න. වැරදි ගෑනු ලැබුනම ජීවිතේම අපායක් වෙනවා. මටත් ඒක වුනා මල්ලිටත් ඒක වුනා. ඒත් අපි දෙන්නට අපි ඉන්නවා.ඒ මදිද බං?’  

අයියාගෙ වචන ඇත්තටම මට අමුතුම හයියක් වුනා. ඒ වචන ඕන තරම් කොළඹඳි ඇහුවත් හිතට වැදුනේ අද. මම අලුතින් ඉපදුනා වගේ හැඟීමක් මගේ හිතට දැනුනා. අවුරුදු ගානක් ආදරේ කරලා, කසාදත් බැදලා කාලයක් යද්දි නොගැලපීම් නිසා අයියයි ඉරෝමි අක්කයි අළුත්කඩේ උසාවියේදි නීතියේ බැඳීම් වලින් නිදහස් වෙලා දැන් මාස දෙකක් ඇති. ආයෙමත් මට උසස්පෙළ කරන කාලේ උන්නු අයියා ලැබෙන්නෙ ඉරෝමි අපේ ජීවිත වලින් ඈත් වුනු නිසයි.   එක්තරා කාලයකදී හදවතේ බැදීමකට විතරක් යටවුනු මට ඒ කාලපරිඡේදය අමතක කරන්න අපහසු හඳවතේ බැදීම් නීතියේ බැඳීම් වලට වඩා හයිය නිසයි. ඒත් හඳවතේ බැඳීම් හරි ලේසියෙන් අතහැරලා යන අය වෙනුවෙන් මම මගේ ජීවිතේ නැති නාස්ති කරන එක ගැන ආයෙත් හිතන්න පටන්ගත්තේ ටිකකට කලින් අයියගෙ වචන ආයේ ආයෙත් මගේ හිතේ හොල්මන් කරපු නිසයි.   

‘ කවුරු නැතත් අපිට අපි ඉන්නවා මල්ලි ‘   

අයියා එහෙම කියද්දි, මගේ ඉස්සරහා ඉදන් ඇය ඉල්ලුවේ,  

‘මට වෙනුර එක්ක යන්න දෙන්න හසිත…’   

පූර්වි අවුරුදු ගානක ආදරේ හෑල්ලු කලේ මෑතකදි කොහෙදෝ තිබුනු පාටියකදි මුණගැහුනු වෙනුර කෙනෙක් නිසයි. වෙනුරගේ දිස්නය මට වඩා වැඩියි. ස්ථිර පදිංචිය ඕස්ට්‍රේලියාවේ.මම වගේ නිකම්ම නිකම් ගුරුවරයෙක් නෙවෙයි විශ්ව විද්‍යාල කතිකාචාර්‍ය කෙනෙක්. තවත් මොනවදෝ මට නැති වෙනුරට තියෙන වට්ටෝරුවක් පූර්වි කියාගෙන ගියත් මට මතක ඔච්චරයි. ඒත් පූර්වි දන්නෙ නෑ මම දුන්නු ආදරේ, කැපකිරීම් මහ ගොඩක් එක්ක වෙනුරට හැරෙන්නවත් බැරි වග. ආදරේ ඉස්සරහා වෙනුර කියන්නෙ රොබෝ කෙනෙක්. ඒත් පූර්විට ඒක ප්‍රශ්නයක් වුනේ නෑ.   

මගේ ආදරේ, අවුරුදු හතක කාලයකට ඇය පයට පෑගෙන දූවිල්ලක තරම් වත් වටිනාකමක් නුදුන්නා නම් මම තව දුරටත් ඇය වෙනුවෙන් විදවීම පලක් නැති වග තේරුම් ගන්න මට ත්‍රිකුණාමලේටම එන්න වුනා. ගෙවුනු කාලෙදි ජීවිතය නැති කරගන්න මම උත්සහ කරපු හැටි, අම්මගෙ වගේම අයියගෙත් සැනසීම මම නිසා නැති වුනු හැටි මම මුල ඉදන් කල්පනා කලා. එක පිළිවෙලට හිතද්දි මට මම ගැනම කේන්තියක් ආවා. ඒත් හැමදේම සිද්ද වෙලා ඉවරයි. අවුරුදු විසි පහේ ඉදන් තිස් දෙක වෙනකම් ආදරේ නිසා නාස්ති වුනු ජීවිතේ ආයෙත් මුල ඉදන් පටන්ගන්න කාලය හරි..   

ඈත අහසේ පියාසර කරන ගුවන් යානයක් මම දැක්කෙ අහම්බෙන්. මේ වගේම ගුවන් යානයක නැඟලා පූර්විත් යයි. මාව සඳහටම අමතක කරලා ඇය කොහොමත් සුපිරි ජීවිතයක් ගෙවෙයි. ඒ මතක එක්ක මම ජීවිතේ කාලකණ්ණි කරගන්න එක මගේ අම්මට, තාත්තට කරන ලොකු අසාධාරණයක්.   

මම කාලෙකට පස්සේ හිනාවුනා. ඉස්සර අපේ තට්ටු ගෙදර ඉස්සරහා තිබුනු ගෙදර දිහා බලාලා හිනාවෙන මම අද මුහුද දිහා බලාගෙන හිනාවුනා. අලුත් නවාතැනේ කිසිම ජනේලයක් තවත් ගෙදරක් නොපෙනෙන විදියට පිහිටලා තිබුනු එක ගැන මම දස දහස් වතාවක් සතුටු වුනා.   

මුහුඳ සිපගෙන ගොඩබිමට හමාඑන කරදිය හුළඟ එක්ක, අව් රශ්මියෙන් නෑවුනු පරිසරයත් එක්ක ආයෙමත් අලුත් හසිත කෙනෙක් උපද්දවන බලාපොරොත්තුවෙන් මම දෑස් වසාගත්තා.. 

එතකොට පූර්වි? 

පූර්වි කියන්නේ අතීතය.. ඒක කාලයක් දැකපු හීනයක්… එච්චරයි..   

තක්ෂිලා ඒකනායක.